ඔබේ ආදරණීයයන්ගේ සාර්ථකත්වය පසුපස රැඳි හේතුවක් බවට පත් වෙන්න!

සෑම සාර්ථක මිනිසෙක් පසුපසම ගැහැණියක් සිටී කියලා කියමනක් තියෙනවනේ. සමහරු කියන්නේ, ෂුවර් එකටම ඕක කියන්න ඇත්තේ ගැහැණියක්ම තමයි කියලා. හැබැයි ඉතින් ඕකම අනික් පැත්තටත් කියන්න පුලුවන්. සෑම සාර්ථක ගැහැණියක් පසුපසම මිනිහෙක් සිටී කියලත්. හැබැයි අපි හිතන්නේ ඇත්තටම කියන්න ඕන කතාව ඕක නෙවෙයි. හරිම කතාව වෙන්නේ ‘සෑම සාර්ථක පුද්ගලයෙකු පසුපසම, ඔහුගේ සාර්ථකත්වයට උර දෙන ආදරණීයයෙකු සිටිය යුතුයි’ කියන එක තමයි.

 

හරි. එතකොට දැන් අපි කොහොමද එහෙම අපේ ආදරණීයයෙක්ගේ ජීවිතේ සාර්ථකත්වයට උර දෙන, එයාගේ ජීවිතේ සාර්ථකත්වය පසුපස්සේ ඉන්න මහා බලවේගයක් වෙන්නේ? අන්න ඒ ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ.

 

01. ශක්‍යතාවය අවබෝධ කරලා දීම

දැන් සමහරු ඉන්නවා තමන්ට පුලුවන් දේවල්, බැරි දේවල් ගැන හොඳ අදහසක් තියෙනවා. ඒ නිසා ජීවිතේ තමන් යන්න ඕන තැන ගැනත් අදහසක් තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට එහෙම අදහසක් නැහැ තමන්ට ජීවිතේ වෙන්න ඕන කවුද, යන්න ඕන කොතනටද කියන දේවල් ගැන. සමහරුන්ට තමන්ට තියෙන හැකියාවන් මොනවද කියන එක ගැනවත් එහෙම අදහසක් නෑ. හැබැයි, එහෙම පාට්නර් කෙනෙක්ට වුණත්, තමන්ගේ තියෙන හැකියාව මොනවද, ජීවිතේ යන්න ඕන කොතනකටද කියන එක හොයාගන්න අපිට උදව් කරන්න පුලුවන්. හැබැයි විශේෂයෙන්ම මේ වගේ එයාගේ ශක්‍යතාවය අවබෝධ කරගන්න සහයෝගයක් දෙන්න නම්, ඔය විවාහ ජීවිතේදී එහෙම තියෙන ස්ටීරියෝටයිප් වලින් මිදිලා ඉන්න ඕන. ඒ කියන්නේ වයිෆ් තමයි ගෙදර උයන පිහන ගෙදර දොරේ වැඩ කරන්න ඕන, හස්බන්ඩ් තමයි ගෙදරට සල්ලි හොයන්න ඕන වගේ කතන්දර වලින් මිදෙන්න ඕන.

 

02. නිරන්තර, යතාර්ථවාදී දිරි ගැන්වීම

තමන්ගේ පාට්නර්ව සාර්ථකත්වය කරා ගෙනියන්න කරන්න ඕන පළවෙනිම දේ තමයි දිරි ගැන්වීම. ඒ කියන්නේ එයාට තමන්ගේ ඉලක්කයන් කරා යන්න මානසික ශක්තිය ලබාදෙන එක. අපි කලින් කිව්වනේ එයාගේ ශක්‍යතාවයන් හොයාගන්න උදව් කරන්න ඕන කියලා. අන්න එතන ඉඳන් තමයි මේ පාට්නර්ට තමන්ගේ ඉලක්කයන් කරා යන්න ශක්තිය ධෛර්යය ලබාදෙන්න ඕන. උදාහරණයක් විදියට, එයා මොකක් හරි ලොකු වැඩකට අත ගහලා ඉන්නකොට, එයාට ඒක කරන්න පුලුවන් කියන එක මතක් කරන්න ඕන. එයාගේ තියෙන හැකියාවන් ගැන එයාටම මතක් කරන්න ඕන. ඒ වගේම, එයාට යන්න පුලුවන් දුර ගැන සිහිපත් කරන්න ඕන. හැබැයි මේ දිරි ගැන්වීම් යතාර්ථවාදී ,ප්‍රායෝගික ඒවා වෙන්නත් ඕන. ඒ කියන්නේ, ඉංග්‍රීසි අකුරක්වත් බැරි පාට්නර්ව IELTS ක්ලාස් දාලා ඔයාට මාස දෙකෙන් ඕක පාස් වෙන්න පුලුවන් කියන එක ප්‍රායෝගික නෑ. හැබැයි මාස කීපයක් අරගෙන, පාට්නර්ගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න ඒ කාලේ ඇතුළත සම්පූර්ණ සහාය දීලා, ඊට පස්සේ IELTS පාස් වෙන්න දිරිගන්වන එක ප්‍රායෝගිකයි. ඒ ඇරෙන්න මොන දේකදී වුණත් එයා එක්ක අපි ඉන්නවා කියන එකත් එයාට නිරන්තරයෙන්ම මතක් කරන්නම ඕන!

03. පොදු සහ තනි තනි ප්‍රමුඛතා හඳුනා ගැනීම

දැන් ආදර සම්බන්ධතාවයක් හෝ ඊටත් වඩා විශේෂයෙන්ම එකට ජීවත් වීමක් හෝ විවාහයක් කියන්නෙම දෙන්නෙක් යම් යම් කැප කිරීම් සහිතව බැලන්ස් එකක් හොයාගෙන ගෙනියන ජීවිතයක්නේ. හැබැයි මෙතනදී දෙන්නා ෂෙයාර් කරගන්න ජීවිතයක් තියෙනවා වගේම, එකිනෙකාට වෙන් වුණු තනි තනි පුද්ගලික ජීවිත දෙකකුත් තියෙනවා. එතනදී දෙන්නට තනි තනි ප්‍රමුඛතාවයන් තියෙනවා වගේම, ෂෙයාර් කරගත්තු ජීවිතේ දෙන්නටම අදාළ ප්‍රමුඛතාවයනුත් තියෙනවා. උදාහරණ විදියට ගත්තොත්, දරුවෙක් හදනවා කියන්නේ ඒ විදියට දෙන්නටම පොදු ප්‍රමුඛතාවයක්. එතකොට එකිනෙකාගේ වෘත්තිය ජීවිත කියන්නේ තනි තනි ප්‍රමුඛතාවයන්. දැන් එතකොට, දෙන්නා එකිනෙකාගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා නම්, මෙන්න මේ ප්‍රමුඛතාවයන් හරි හැටි වටහා ගැනීම සහ ඒවා කොහොමද ජීවිතේ ඇතුළේ සෙට් කරගන්නේ කියන එක හදාගන්න ඕන. අන්න ඒකට හවුලේ වැඩ කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, පාට්නර්ගේ ජිවිතේ අතිශයින්ම තීරණාත්මක අවුරුදු දෙකක් නම් ඉස්සරහට එන්නේ, ඒ අවුරුදු දෙක ඇතුළතදී දරුවෙක් හදන්නම ඕන කියන තීරණයේ ඉන්න එක ආත්මාර්ථකාමී වෙන්න පුලුවන්. පාට්නර් තමන්ගේ වෘත්තිය ජීවිතයේ අතිශයින්ම තීරණාත්මක, කාර්යබහුල කාලයක් ගෙවන මොහොතේදී, එයා කාර්යබහුල වීම ගැන කන්කෙඳිරි ගෑම නැතිනම් එයාට ගෙදර නවතින්න කියන එක අතිශයින්ම ආත්මාර්ථකාමී වෙන්න පුලුවන්.

 

04. සවන් දීම සහ ගැටළු නිරාකරණය

මේ සවන් දීම කියන්නේ ගොඩක් අයට නැති, හැබැයි අනිවාර්යයෙන්ම තිබිය යුතු කුසලතාවයක් කියලා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම තමන්ගේ ආදරණීයයන්ට සවන් දෙන එක ගොඩක් අය නොකරන, හැබැයි අපි එකිනෙකා කරන්නම ඕන සහාය දීමක්. දැන් සාර්ථකත්වය කරා යනවා කියන එක ලේසි ගමනක් නෙවෙයි. ඒ ගමනෙදී දුක් කම්කටොළු මතුවෙන්න පුලුවන්. අසීරු අවස්ථාවන්, බාධක මතුවෙන්න පුලුවන්. එතකොට ඔෆිස් එකේ බොහොම අමාරු දවසකට පස්සේ ගෙදර ඇවිත් වයිෆ් ඒ ගැන කතා කරනකොට, එයා ගාවට වෙලා ඒක සක්‍රියව අහගෙන ඉන්න පුලුවන් නම් ඒකත් ලොකු සහායක්. සමහර විට එයාගේ ඒ දවසට අදාළ ගැටළුවක් දෙකක් නිරාකරණය කරගන්න අපිට සහාය ලබාදෙන්න සිද්ධ වෙන්න පුලුවන්. හැබැයි ඉවසිල්ලෙන් ඇහුම්කන් දෙන්නෙ නැතුව ගැටළු විසඳන්න යන එක නම් මෝඩ වැඩක්. මේ දෙක කරන්න ඕන හරි වෙලාව තේරුම් ගන්න එකත් මෙතනදී වැදගත්.

 

05. සානුකම්පිතව ඇත්ත කීම

දැන් අපේ ආදරණීයයාව සාර්ථකත්වයට යෑම සඳහා දිරි ගැන්වීම කියන්නේ, එයාගේ කිසිම වැරැද්දක්, දුර්වලකමක් ගැන වචනයක්වත් කියන්නෙ නැතුව නිකම්ම ඔයාට පුලුවන්, ඔයා තමයි නම්බර් වන් කියන එක නෙවෙයි. ඒක ඇත්තටම සාර්ථකත්වයට දිරි දීමක් නෙවෙයි, අසාර්ථකත්වයට දිරි දීමක්. අපිට පුලුවන් වෙන්න ඕන අපේ පාට්නර් තමන්ගේ සාර්ථකත්වය කරා යන ගමනේදී කරන වැරදි, එයාගේ ජීවිතයේ තියෙන වැරදි පුරුදු වගේ හැම දෙයක්ම දකින්න සහ ඒ දේවල් එහෙමයි කියලා එයාට කියන්න. හැබැයි ඉතින් ඒක අපි ඔහේ කණට ගැහුවා වගේ කියලා දානවා නම්, ඒකෙන් එයාට වැඩකුත් නෑ. ඒ වෙනුවට අපි කරන්න ඕන, සානුකම්පිතව එයාට වරදින්න පුලුවන් තැන් පෙන්වා දීම සහ එතනින් හරි ට්‍රැක් එකට එන්න සහාය ලබාදීම. උදාහරණයක් විදියට, එයා ප්‍රොෆෙෂනල් ජීවිතේ වැරැද්දක් කරනවා නම්, ඒක අපිට කියලා දෙන්න පුලුවන් ආදරයෙන්. “මෙහෙම නොකර, මේ විදියට කළොත්, ඔයාට සාර්ථක වෙන්න පුලුවන්, ප්‍රශ්න අඩු කරගන්න පුලුවන්” කියලා අපිට ඒ ගැන කියලා දෙන්න පුලුවන්. ආන්න ඒ විදියට සානුකම්පිතව ඇත්ත කියන එක ඉතාම වටිනවා.

 

06. වැඩෙන්නට තනි අවකාශයක්

සාමාන්‍යයෙන් ඔය විවාහයක් විතරක් නෙවෙයි, ආදර සම්බන්ධයක් වුණත් ආරම්භ කරනකොට ගොඩක් දෙනෙක් හිතනවා මේක දෙන්නා එක්කෙනෙක් වීමක් කියලා. අන්න ඒක වැරදි මතයක් කියන එක අපි ඕන තරම් කියලා ඇති. දැන් එකිනෙකාගේ සාර්ථකත්වය සඳහාත් අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි, දෙන්නට ස්වාධීනව වැඩෙන්න තනි තනි අවකාශයන්, ප්‍රමාණවත් අවකාශයන් තියෙන එක. විශේෂයෙන්ම දෙන්නම ඉන්නේ එකම ෆීල්ඩ් එකක නම්, මෙන්න මේ ප්‍රමාණවත්, ස්වාධීන අවකාශය කියන එක අත්‍යවශ්‍යයි. එහෙම නැතිනම් වෙන්නේ, පාට්නර් අර මහ ගහක හෙවණේ වැඩෙන කුඩා පැළයක් වගේ වෙන එක. අන්න ඒ නිසා, තමන් මත යැපෙන්නේ නැතුව තමන්ගේ ස්වාධීනත්වය හොයාගනිමින් වැඩෙන්න, සාර්ථක වෙන්න තමන්ගේ පාට්නර්ට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, තීරණ ගන්න තියෙන ශක්තිය හා විශ්වාසය ලබාදෙන්න ඕන.

 

07. එකිනෙකා මත නොයැපෙන සම්බන්ධතාවයක්

ගොඩක් වෙලාවට ආදර සම්බන්ධතා වලදිත්, ඊට වඩා විවාහ ජීවිතයේදීත් දෙන්නා එකිනෙකා මත යැපෙන අවස්ථාවන් තියෙනවා. උදාහරණයක් විදියට, එක්කෙනෙක් අසනීප වුණොත්, එයාට තමන්ගේ පාට්නර් ලඟින් ඉන්න එක අවශ්‍යයි. ආදරය, රැකවරණය වගේ කරුණු වලදිත් මේ එකිනෙකාගේ ආදරය, කරුණාව, රැකවරණය මත යැපෙන එක සම්බන්ධතාවයකදී තියෙන්න පුලුවන් දෙයක්. හැබැයි ඔතන තව කාරණයක් තියෙනවා. දැන් ගමනක් යන්නත් හස්බන්ඩ්ව ඕන නම්, කන්න කෑම එක හදාගන්නත් වයිෆ්ව ඕන නම්, ආන්න එතන ඒ එකිනෙකා මත යැපීමේ ගැටළුවක් තියෙනවා. උදාහරණ විදියට කිව්වොත්, වෙනත් ප්‍රායෝගික ගැටළුවක් නැති නම් වයිෆ්ට වුණත් වාහනයක් එළවන්න, තනියෙන් ගමනක් යන්න හැකියාව තියෙන්න ඕන. කෑම බීම හදාගන්න, ගෙදර දොරේ වැඩ කරන්න හස්බන්ඩ්ට වුණත් හැකියාව තියෙන්න ඕන. අන්න එතකොට, වයිෆ්ට හදිසි මීටින් එකක් නිසා රෑ වෙන්න වුණා කියලා හස්බන්ඩ්ට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ. වයිෆ්ටත් එක්කම කෑම හදලා තියන්න පුලුවන්. වයිෆ්ට තනියෙන් ගමනක් යන්න පුලුවන් නම්, හස්බන්ඩ්ට වැඩ වැටුණු නිසා වයිෆ්ට එයා අලුතින් යන ක්ලාස් එකට නොයා ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ, ආන්න ඒ විදියේ එකිනෙකා මත නොයැපෙන සම්බන්ධතාවයක් තරම්, එකිනෙකාගේ සාර්ථකත්වයට දිරි දෙන තවත් දෙයක් තියෙනවද?

 

08. රොමෑන්ටික් ලයිෆ් එකක්

මේක බොහොම සරල කාරණාවක්. තමන්ගේ පාට්නර්ට, තමන්ගේ ආදරණීයයාට දැනෙන්න, ඇති වෙන්න ආදරේ කරන්න. තමන් අතර තියෙන සම්බන්ධතාවය බොහොම සෞඛ්‍ය සම්පන්න, ආදරණීය එකක් කරගන්න. හොඳ ලිංගික ජීවිතයක් පවත්වා ගන්න. එහෙම ලස්සන සම්බන්ධයක් තියෙනකොට, ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඒක හොඳ උත්ප්‍රේරකයක්. එතකොට සාර්ථකත්වය කරා යන ගමනේදී අත්විඳින්න සිද්ධ වෙන සෘණාත්මක දේවල්, බාධක, හිත් වේදනාවන් වගේ දේවල් එක්ක සාර්ථකව කටයුතු කරලා, ධෛර්යයෙන් තමන්ගේ ගමන කඩා ගන්නෙ නැතුව දිගටම යන්න ඒක හොඳ දිරි ගැන්වීමක්. ආන්න ඒ නිසා, තමන්ගේ පාට්නර්ගේ සාර්ථකත්වය පසුපස්සේ පැවතීම වෙනුවෙන්, තමන්ගේ ආදර ජීවිතය ආදරණීයව, ලස්සනට ගෙනියන්නත් වග බලා ගන්න ඕන.

 

දැන් පැහැදිලියිනේ. මේ කියපු හැමදේම අපේ ආදරණීයයෙක් වෙනුවෙන් කරන්න නම් අපි හිතන පතන විදියේ, අපේ ආකල්ප වල ප්‍රගතිශීලී බවක් තියෙන්න ඕන. අපේ අභිමතාර්ථයන් වල පිරිසිදු, අවංක බවක් තියෙන්න ඕන. අපේ ආදරණීයයා ගැන හදවතින්ම ලැදියාවක් තියෙන්න ඕන. දැන් ඒ විදියට අපේ ආදරණීයයාගේ සාර්ථකත්වයේ හේතුව වෙන එකෙන් අපිට ලැබෙන්නේ මොනවද? ප්‍රධාන වශයෙන්ම තමන්ගේ කෙනාගේ සාර්ථකත්වය ගැන දැනෙන ආඩම්බරය, සතුට. මතක තියාගන්න, දෙන්නා එක ටීම් එකක්. එතකොට, එකිනෙකාගේ සාර්ථකත්වය පිටුපස්සේ එකිනෙකා ඉන්න එක තමයි හරි ටීම් වර්ක් එක.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *