මුම්බායේ රවුමක් යමු

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව මුම්බාය ඉන්දියාව තුළ වැඩිම ජනගහණයක් සහිත දෙවන නගරය වනවා (පළමු නගරයේ වන්නේ දිල්ලියයි). එසේම ලෝකයේ වැඩිම ජනගහණයක් සහිත හත්වන නගරය වන්නේද මුම්බායයි. කෙසේ නමුත් ඇතැම් ඉන්දීය වාර්තාවලට අනුව ඉන්දියාව තුළ වැඩිම ජනගහණයට සෙවණ දෙන නගර අතර පළමු තැන මුම්බාය හිමිකරගෙන තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ ආර්ථිකය තුළ මුම්බාය යෝධයෙකු සේ නැගී සිටිනවා. ඉන්දියාවේ නගර අතරින් මිලියනපතියන් සහ බිලියනපතියන් වැඩිම පිරිසක් වාසය කරන්නේ මුම්බාය තුළයි. මේ නිසාම වර්තමාන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනගරය වන මුම්බාය ඉන්දියාවේ ආර්ථික, මූල්‍යමය සහ විනෝදාස්වාද අගනගරය ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මේ නිසා අපි හිතුවා අපිට ඉතා ආසන්නයෙන්ම තියන මේ ධනවත් නගරය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. මුම්බායේ නම 

මුම්බා එහෙමත් නැත්නම් මහා අම්බා කියලා හඳුන්වන්නේ වර්තමාන මුම්බාය ආශ්‍රිත ප්‍රදේශවල බලය පතුරවාගෙන සිටි  කෝලි නම් ජනවර්ගයේ කුල දේවතාවියගේ නමයි. පෘතුගීසි පාලන සමයේදී මෙම ප්‍රදේශයට බොම්බාය යන නම භාවිතා වන්නට පටන් ගත් අතර ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් පසුව බොම්බාය යළිත් සිය නගරයේ මුල් නම වන මුම්බාය භාවිතා කිරීමට පටන් ගනු ලැබුවා.

 

 

2. දෑවැද්දට දුන් බොම්බාය

බොම්බායේ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී හමුවන සුවිශේෂී සිදුවීමක් වන්නේ එම ප්‍රදේශය දෑවැද්දක් ලෙස පිරිනැමී තිබීමයි. මුල් කාලයේදී පෘතුගීසීන් විසින් අත්පත් කරගනු ලැබූ මෙම ප්‍රදේශය පෘතුගීසි රජ කුමරියක වන කැතරින් බගැන්සා කුමරිය එංගලන්තයේ දෙවැනි චාල්ස් රජු සමඟ විවාහ වීමේදී ඇගේ දෑවැද්දේ කොටසක් ලෙස එංගලන්තයට පවරනු ලැබුවා. මේ නිසා ඉන්දියාව තුළ ඉංග්‍රීසින් සතු වූ මුල්  බිමක් විදිහට මුම්බාය හඳුන්වන්න පුළුවන්. ඒ වන විට මුම්බාය නගරය ගොඩනැගී නොතිබුණු අතර එම ප්‍රදේශය දූපත් හතකින් සමන්විත වුණු නොදියුණු ප්‍රදේශයක්ව පැවතුණා.

 

 

3. ලෝකයේ මිල අධිකතම නිවස 

කලින් අපි සඳහන් කළා වගේම මුම්බාය තුළ ලෝකයේ ප්‍රබල ධනවතුන් ජීවත් වනවා. ලෝකයේ ධනකුවේරයන් අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා මුකේෂ් අම්බානි, සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇන්ටිලා ලෙස හැඳින්වෙන නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේද මුම්බාය තුළයි. මීටර 173 ක උසින් යුතු මෙම ගොඩනැගිල්ල තට්ටු 27කින් සමන්විත වෙනවා.

 

 

4. මුම්බායේ ගමන් බිමන්

ලෝකයේ අති කාර්යබහුල නගරයක් වන මුම්බාය තුළ ගමනාගමනය සඳහා අති දියුණු ක්‍රමෝපායන්ගෙන් පටන් රික්ෂෝ වැනි නොදියුණු ක්‍රමද භාවිතා වනවා. දුම්රිය සේවය මුම්බායේ ගමනාගමන පද්ධතිය තුළ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන අතර ඉන්දියාව තුළ පළමු දුම්රිය ගමන සිදුවී ඇත්තේද මුම්බාය ගමනාන්තයක් කරගනිමිනුයි.

 

 

5. මුම්බායට එන ආගන්තුකයෝ

බොහෝ දෙනෙක් මුම්බාය කියූ සැනින් සිතන්නේ අතිශයින්ම කාර්මීකරණයට ලක් වූ නගරයක් ගැනයි. නමුත් එහි ස්වභාව සෞන්දර්යය සම්පූර්ණයෙන්ම වියැකී නැහැ. උදාහරණයක් විදිහට වාර්ෂිකව ෆ්ලැමින්ගෝ පක්ෂීන් රංචු පිටින් මුම්බාය කරා ඇදී එනවා. ලොව පුරා කුරුල්ලන්ට ආදරය කරන පිරිස් මෙම දර්ශනය නැරඹීම සඳහාම මුම්බාය වෙත ඇදී එනවා.

 

 

6. එලිපැන්ටා ගුහා සංකීර්ණය

වර්තමානයේ මුම්බාය තුළ පිහිටා තිබෙන බොහෝ ගොඩනැගිලිවලට ඇත්තේ යටත් විජිත යුගය දක්වා දිවයන අතීතයක් පමණයි. ඊට පෙර සිදුකර තිබුණු නිර්මාණ යටත් විජිත සමයේ දී විනාශ වී හෝ ඒ මත තවත් ඉදිකිරීම් සිදුව පවතිනවා. නමුත් එලිපැන්ටා දූපත් ආශ්‍රිතව පිහිටා තිබෙන එලිපැන්ටා ගුහා සංකීර්ණය මුම්බායේ ඉතිහාසය පිළිබඳව සාක්කි සපයනවා. හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන මෙම ගුහා සංකීර්ණය තුළ පිහිටා තිබෙන අතර එහි අතීතය ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිව යන බවට  විශ්වාස කෙරෙනවා .

 

 

7. ඉන්දීය සිනමාවේ උපන් භූමිය 

මුම්බාය ලොව පුරා ප්‍රකට වීමට තවත් හේතුවක් වී තිබෙන්නේ ඉන්දීය සිනමාවේ උපත සිදු වූ නගරය ලෙසටයි. මේ නිසා අදටත් ඉන්දීය සිනමා කර්මාන්තයේ විශාල ආධිපත්‍යයක් මුම්බාය විසින් උසුලනු ලබනවා. බොහෝ චිත්‍රපටි නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් මුම්බාය නගරයේ වාසය කරනවා. සිනමා කර්මාන්තය මගින් ඉන්දීය ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙන බව විශේෂයෙන් කිවයුතු වන්නේ නැහැ .

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.