ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නේ කොහොමද?

දරුවො කියන්නෙ දෙමව්පියන්ට සම්පතක් කියලනෙ අපි හැමදාමත් කියන්නෙ. හැබැයි ඉතින් හරියට බැලුවහම ඒක එහෙමමත් නැහැ. සම්පතක් වගේම දරුවෝ කියන්නෙ ලොකු වගකීමක්. හිසට ලොකු බරක්. ඒ දරුවන්ගෙ අනාගතය, ආරක්ෂාව වගේ දේවල් කියන්නෙ දෙමව්පියොන්ට මඟහරින්න බැරි යුතුකම්. ඒ යුතුකම් ලෙඩදුක්, මරණය වගේ කාරණා ඉස්සරහදිවත් වෙනස් වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ දෙමව්පියෝ මැරුණත් දරුවන්ගේ ආනාගතය සුරක්ෂිත කරන විදිහ, එයාලගේ ආරක්ෂාව තහවුරු කරන විදිහ ගැන එහෙම කටයුතු සකස් කරල තියෙන්න ඕන කලින්. නැත්තම් ඒක නරක විදිහට බලපාන්නෙ දරුවන්ටයි. විශේෂයෙන්ම අනාගතය තියා අද දවසවත් විශ්වාස නැති රෝ බිය පැතිරෙන මේ වගේ කාලෙක කතා බහ කරන්නම ඕන මාතෘකාවක් තමයි මේක. ඉතින් අපි අද හිතුවා දෙමව්පියෝ ජීවත් වෙලා හිටියත් නැතත් තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න අද දවසේ කරන්න පුළුවන්, කරන්න ඕන දේවල් මොනවද කියලා කතා කරන්න.

 

1. බබා පුංචිම කාලෙ ඉඳන්ම සැලසුම් කරන්න

ප​ළවෙනි කාරණය තමයි දරුවගේ අනාගතේ සැලසුම් කරන එක. මේක කරන්න ඕන කොයි කාලෙදිද කියන එක හුඟක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක්. උත්තරේ තමයි පුළුවන් තරම් ඉක්මනට, දරුවා පුංචිම කාලෙ ඉඳලම කියන එක. එහෙමත් නැත්තම් දරුව ඉපදෙන්න කලින් ඉඳලම කියන එක. ඒ කියන්නෙ දරුව ඉපදෙන රෝහලේ ඉඳලා ඒ දරුවගේ උසස් අධාපනය වගේ වැඩිදුර කාරණා වෙනකන්ම එයා ඉපදෙන්න කලින් ඉඳලම සැලසුම් කරල තියන එක තමයි කරන්න පුළුවන් හොඳම විදිහ. එහෙම නැතුව දැන් කල් වැඩියි, බබා ඉස්කෝලේ දාන කාලෙට ඒ ගැන හිතන්න පුළුවන් කියල හිතුවොත්නම් පස්සෙ කාලෙක පසුතැවෙන්න සිද්ධ වෙන්නත් බැරි නැහැ.

 

2. හොඳ අනාගත සැලසුමක්

ඊළඟ වැඩේ තමයි ඒ විදිහට බබා හුඟක්ම පුංචි කාලෙදි හෝ බබා ඉපදෙන්නත් කලින් ඉඳලම හදන සැලසුම එයාගෙ අනාගතයට හොඳම හොඳ සැලසුමක් වෙන එක. දැනට තියෙන තත්ත්වය වගේම අනාගතේ ගැනත් හිතල තීරණ ගන්න ඕන. ඒ වගේම අම්මා, තාත්තා හිටියත් නැතත් දරුවාගේ අනාගතේ හැමදේම හොඳම විදිහට සිද්ධ වෙන්න පුළුවන් විදිහේ සැලසුමක් හදන්නත් ඕන. ඒ කියන්නෙ ඒ දේවල් වලට අවශ්‍ය මුල්‍යමය වටපිටාව සහ හැමදේම සිද්ධ වෙන්න ඕන විදිහ මුල ඉඳලම සකස් කරන්න ඕන. 

 

3. ඒ වෙනුවෙන් ඉතිරි කිරීම්

ඊළඟට දරුවාගේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන එකත් එයා ගොඩක්ම පුංචිම කාලෙ ඉඳලම කරන්න ඕන වැඩක්. මෙහෙම ඉතුරු කරද්දිත් සලකා බලන්න ඕන කාරණා තියෙනවා. දැනට තියෙන මුල්‍යමය පසුබිම වගේම උද්ධමනයත් එක්ක අනාගතේ මේ දේවල් වලට වැයවෙන මුදලත් සලකා බලන්න ඕන. ඒ ඒ කාලෙට අවශ්‍ය මුදල් ලබාගන්න පහසු විදිහට ආයෝජනයක් හෝ ඉතිරියක් කරලා වෙන් කරන්න ඕන. මුදල් කියන කාරණාවත් ඒ වෙලාවට බලමු කියල හිටියොත් හිතේ තියෙන විදිහට හැමදෙයක්ම කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මුළු මුදලම බැරි උනත් අනාගතේ දරුවා වෙනුවෙන් පුංචිම ගා​ණක් හරි වෙනම එකතු කරන එක වැදගත්.

 

4. ජීවිත රක්ෂණයක් හෝ ආයෝජන සැලසුමක්

කලින් කියපු මුදල් ඉතිරි කරන වැඩේට හොඳම ක්‍රමයක් තමයි ජීවිත රක්ෂණයක් කියල කියන්නෙ. දෙමව්පියොන්ගේ හදිසි අභාවයක් උනත් දරුවට ලැබෙන්න ඕන ප්‍රතිලාභ ජීවිත රක්ෂණයකින් ලබාගන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී හුඟක් ජීවිත රක්ෂණ ඔප්පු වලින් අදාළ හිමිකමට අමතරව එක එක ශිෂ්‍යත්ව අවස්ථා පවා පිරිනමනවා. ඉහතින් දරුවා පුංචිම කාලෙ ඉඳල ජීවිත රක්ෂණයක් දාල තිබ්බට පාඩු නැහැ.

ඒ වගේම තමයි බැංකුවක ආයෝජන අවස්ථාවක්. ඒ කියන්නෙ සාමාන්‍ය ඉතිරිකිරීමක් නෙමෙයි. මාසෙකට ස්ථිරව යම්කිසි මුදලක් තැන්පත් කරලා නිශ්චිත කාලයක් අවසානයේ අදාළ මුදල පොලියත් එක්ක ලබාගන්න පුළුවන් ඉහළ පොලියක් ලැබෙන ආයෝජන සැලසුමක්. දරුවාගේ උසස් අධ්‍යාපනය වගේ දෙයක් ඉලක්ක කරලා මෙහෙම ආයෝජන සැලසුමක් ආරම්භ කරන එකත් හොඳ අදහසක්.

 

5. හොඳ ආදර්ශයක් වෙන්න  

දැන් අපි මෙච්චරවෙලා කතා ක​ළේ දරුවාගේ අනාගතේ හදාගන්න ඕන සැලසුම සහ ඒකට අවශ්‍ය මුල්‍යමය පසුබිම සකස් කරගන්න විදිහ ගැනනේ. හැබැයි දරුවා තනියම වැඩිහිටියෙක් විදිහට සමාජය එක්ක ගනුදෙනු කරන කාලෙක ජීවත් වෙන්න ඕන කරන හොඳ පුරුදු පොඩි කාලේ ඉඳලම හුරු කරන එකත් අනාගත ආයෝජනයක්. ඒ වගේම දෙමව්පියෝ කරන්නම ඕන දෙයක්. ඒ නිසා හැමදේම දරුවට ආදර්ශයක් වෙන විදිහට කරන්න පුරුදු වෙන්න. දරුවා අනාගතේ ජීවත් වෙන්න ඕන විදිහ හිතින් මවාගෙන ඒ විදිහට ජීවත් වෙන්න. 

ඒ වගේම දරුවෙකුගේ අනාගත මුල්‍ය පුරුදු හැඩගැහෙන්නෙත් හුඟක් වෙලාවට දෙමව්පියන් හෝ වැඩිහිටියන් දිහා බලාගෙන. ඒ නිසා දරුවා පුංචි කාලේ ඉඳලම පවුලේ මුල්‍ය කටයුතු වලට පොඩියට හරි දරුවාව සම්බන්ධ කරගෙන එයාට ඒ දේවල් ගැන අවබෝධයක් ලබාදෙන එකත් දෙමව්පියෝ නැති දවසක උනත් එයාට ජීවත් වෙන්න ලොකු උදව්වක් වෙනවා.

 

6. රැකබලා ගන්නෙක්

ඊළඟට දෙමව්පියෝ නැති දවසක් ආවොතින්, ඒ කියන්නෙ දෙමව්පියන්ගේ හදිසි අභාවයකදී දරුවාව රැකබලාගන්න විශ්වාසවන්ත වැඩිහිටියෙක් නම් කරලා තියෙන එකත් දුර දිග හිතල බලන දෙමව්පියෝ යුව​ළක් කරන්නම ඕන දෙයක්. ඒ රැකබලාගන්නා පවුලේම කෙනෙක්නම් කට වචනයෙන් කියල තියන්න පුළුවන්. හැබැයි පවුලෙන් පිට හිතවත් කෙනෙක්නම් හරි විදිහට නීතියෙන් මේ කරුණු කාරණා ලියල කරලා තියන්න ඕන.

 

7. දෙමව්පියන්ගේ පරිස්සමත් හිතන්න

හැබැයි ඔය කවුරු හිටියත් දරුවෙක්ට දෙමව්පියෝ වගේ නම් නැහැනේ. දෙමව්පියෝ තරම් දරුවා ගැන පිටස්තර කෙනෙක් බලයි කියල කවදාවත්ම හිතන්න බැහැ. ඒ නිසා කොයි දේ ක​ළත් දරුවෝ වෙනුවෙන්ම තමන්ගේ පරිස්සම, ආරක්ෂාව හිතන එකත් දෙමව්පියන්ගේ වගකීමක්. නිතර නිතර සෞඛ්‍ය පරීක්ෂාවන් කරගෙන, අවශ්‍ය බෙහෙත් හේත් අරගෙන, අනවශ්‍ය අවදානම් ජීවිතේට නොගෙන එදිනෙදා ජීවිතේ ගත කරන එකත් දරුවෙකුගේ අනාගතය සුරක්ෂිත කරන්න දෙමව්පියන් විදිහට කරන්න පුළුවන් ලොකුම කාර්යයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *