පහුගිය මාර්තු 23 වෙනිදා ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩසටහනේ මුල් පියවර තැබුණා. හැබැයි සමාජ ජාලාවල ඒ වැඩසටහන ගැන නෙමෙයි දිගින් දිගටම කතාබහට ලක් වුණේ. ඒ මහනායක හාමුදුරුවරුන්ට ඒ උත්සවේදි ආසන පනවලා තිබ්බ ආකාරය ගැන. ඒ වයස අවුරුදු අනූ හතක් වයස සහ මහණ වෙලා අවුරුදු වස් ගාණ හැත්තෑහයක් වුණු රාමඤ්ඤ නිකායේ මහනායක නාපානේ ප්‍රේමසිරි මහනායක හාමුදුරුවන්ටත් වයස අවුරුදු අසූහයක් සහ මහණ වෙලා වස් හැටපහක් වුණු අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස මහනායක හාමුදුරුවන්ටත් පහළ ආසන පනවලා තිබ්බේ. වයසින් වගේම වස් ගණනින් බාල මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවරුන්ට උස් ආසන වගේම දෙපා තියන්න කුඩා බංකු පවා තබලා තිබ්බා. මේ ඡායාරූපය සමාජ ජාලා අවුළුවන්න සමත් වුණා. මේ නිසා අපි හිතුවා ලංකාවේ දැනට පවතින නිකාය භේදය ගැන තොරතුරු පොඩ්ඩක් කතා කරන්න.
1. ලංකාවේ උපසම්පදාව නැතිවීම
කෝට්ටේ යුගය කියන්නෙ ලංකාවේ බුද්ධ ශාසනය බැබළුණු කාලයක්. මේ කාලෙදි ලංකාවේ හාමුදුරුවරුන්ගේ සිල්වත්කම් උගත්කම් ගැන විදේශවල පවා කීර්තිය පැතිරුණා. මේ නිසා බුරුමය, සියමය වගේ රටවලින් හාමුදුරුවරු ලංකාවට ඇවිත් ලංකාවෙන් උපසම්පදාව අරන් ගිහින් ඒ රටවල සිංහල උපසම්පදාව පිහිටෙව්වා. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති නේද? මොකද්ද උපසම්පදාව කියන්නේ කියලා? සංඝ ශාසනයට කෙනෙක් ඇතුළු වෙද්දි මූලික අදියර හැඳින්වෙන්නේ සාමණේරභාවය කියලා. සාමණේර නමක් බුද්ධ ශාසනයේ ස්ථීර වෙන්නේ උපසම්පදාව ලබා ගැනීම කියන විනය කර්මය කිරීමෙන් කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. සාමණේර නමකට උපසම්පදාව ලබා දෙන විනය කර්මය කරන්න උපසම්පදාව ලබපු නිශ්චිත භික්ෂුන්වහන්සේ ගණනක් ඉන්න ඕන. මේ නිසා උපසම්පදා උත්සව පැවැත්වීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වුණා.
පෘතුගීසීන්ගේ පැමිණීමත් එක්ක බුද්ධ ශාසනයට අපල කාලයක් උදා වුණා. පන්සල් බිමට සමතලා කිරීමත් භික්ෂූන්වහන්සේ ඝාතනය කිරීමත් සිත්පිත් නැති පෘතුගීසින් සිද්ධ කළා. ඒ වගේම දොන් ජුවන් ධර්මපාල රජු කතෝලික ආගම වැළඳ ගැනීමත් එක්ක උපසම්පදා උත්සවයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය නැති වුණා. සීතාවක රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපයත් එක්ක තත්ත්වය තවත් දරුණු වුණා.
2. මල්වතු අස්ගිරි පාර්ශව සහ උපසම්පදාව යළි ගෙන ඒම
පහතරට තුළ බුද්ධ ශාසනය අර්බුදයට පත් වීමත් එක්ක උඩරට බුද්ධ ශාසනයට ක්ෂේම භූමියක් වුණා. උඩරට ඒ වෙනකොට අස්ගිරි විහාරය ගොඩ නැගිලා තිබ්බේ. අස්ගිරි විහාරයේ භික්ෂුන්වහන්සේලා ආරණ්‍යවාසි සම්ප්‍රදායට ප්‍රිය කළ භික්ෂුන්වහන්සේ පිරිසක්. අස්ගිරි විහාරයේ ඉතිහාසය පොළොන්නරුව යුගය දක්වා දිව යනවා. තවත් රජ කෙනෙක් (සමහර විද්වතුන්ට අනුව සේනාසම්මත වික්‍රමබාහු) තමන්ගේ රාජකීය උද්‍යානයේ විහාරයක් හදලා පූජා කරනවා. ඒ මල්වතු විහාරය. මල්වතු විහාරයේ භික්ෂුන්වහන්සේ ග්‍රාමවාසී භික්ෂූ පරම්පරාවක් විදිහට ප්‍රසිද්ධ වෙනවා.
උපසම්පදා උත්සවය නිසි පරිදි පැවැත්වීමට නොහැකි වීම නිසා සහ ධර්මය ඉගෙන ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැතිවීම නිසා භික්ෂු පරපුර පිරිහෙන්න පටන් ගන්නවා. අවසානයේදි විවාහ වෙලා අඹු දරුවන් බලාගෙන එකේක වෘත්තීන් කරන පිරිසක් ඇති වෙනවා. මේ අය හැඳින්වෙන්නේ “ගණින්නාසේලා” යන නමින්.
මල්වතු අස්ගිරි පාර්ශවවල නායකත්වයට පත්වෙන්නෙත් මේ ගණින්නාසේලාම තමයි.
ජාතියේ වාසනාවට වගේ වැලිවිට සරණංකර හාමුදුරුවෝ පහළ වෙන්නෙ මෙන්න මේ අවදියෙදි. උන්වහන්සේ ආපහු ලංකාවේ උපසම්පදාව ඇති කරන්න දැඩි උත්සහයක් ගන්නවා. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ සහ ශ්‍රී විජය රාජසිංහ රජවරුන්ගේ කාලවලදි උපසම්පදාව තායිලන්තයෙන් ගෙන ඒමේ උත්සාහය සාර්ථක වෙන්නේ නෑ. අවසානයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී උත්සාහය සාර්ථක වුණා. උපාලි හාමුදුරුවෝ ප්‍රමුඛ සියම් (තායිලන්ත) භික්ෂූන්වහන්සේ පිරිසක් වැඩම කරලා ලංකාවේ උපසම්පදාව ඇති කළා. ඒත් එක්කම සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ පදවිය හිමි වුණා. ඒ වගෙම මල්වතු, අස්ගිරි පාර්ශවවලට මහනායක පදවි පත්කිරීමත් සිද්ධ වුණා. සරණංකර හාමුදුරුවන්ගෙන් පස්සේ සංඝරාජ පදවිය අහෝසි වුණත් මල්වතු අස්ගිරි මහනායක පදවි දෙකට අනුප්‍රාප්තික භික්ෂුන්වහන්සේ පත් වුණා. මේ මල්වතු අස්ගිරි පාර්ශව දෙකම ඇතුළත් නිකායට සියම් දේශය සහ උපාලි හිමි සිහිපත් කරමින් “ශ්‍යාමෝපාලි” කියලා නම් වුණා. කෙටියෙන් එය සියම් නිකාය ලෙස හැඳින්වුණා.
3. කුල භේදය සංඝ ශාසනයට රිංගා ගැනීම
සරණංකර හාමුදුරුවෝ කිසිම භේදයකින් තොරව සියලු දෙනාටම උපසම්පදාව ලබා දෙන්න පටන් ගත්තා. මේ අතරතුරේදී කීර්තී ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ සංචාරයක යෙදෙද්දි භික්ෂුන්වහන්සේලා පිරිසක් රජු එනවා දැකලා නියරේ ඉඳන් මඩට බැස්සා. රජ්ජුරුවෝ මේ ගැන හොයලා බලද්දි මේ හාමුදුරුවරු පැවිදිවෙලා තියෙන්නේ පහත් යැයි සම්මත කුලේකින්. මේ නිසා රජ්ජුරුවෝ නියෝගයක් කරනවා “ගොවි කුලයට අයත්” පිරිසට පමණක් මහණ උපසම්පදාව ලබා දිය යුතුයි කියලා. මේ නිසා ගොවිගම නොවන කුලවල අයට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ මහණ උපසම්පදාව අහිමි වෙනවා.
4. අමරපුර නිකාය ඇරඹීම
මේ විදිහට උපසම්පදාව අහිමි වීම නිසා කරාව, දුරාව සහ සලාගම කුලවලට අයත් සාමණේරවරුනුත් ප්‍රභූවරුනුත් උඩරට රාජසභාවටත් මල්වතු අස්ගිරි විහාර දෙකටත් දිගින් දිගටම පෙත්සම් ඉදිරිපත් කළා. නමුත් ඒ සියල්ල නිෂ්ඵල වුණා. අවසානයේ දී 1779 දී අඹගහපිටියේ ඥානවිමලතිස්ස හිමිපාණන් ඇතුළු භික්ෂුන්වහන්සේ කිහිප නමක් බුරුමයේ අමරපුරයට ගොස් උපසම්පදාව ලබාගෙන 1803 සිට ලංකාවේ උපසම්පදාව ලබා දීම ඇරඹුණා. මේත් සමගම අමරපුර නිකාය නමින් නව නිකායක් ඇති වුණා. ඥානවිමලතිස්ස හිමියන් අනුව යමින් බුරුමයට ගොස් උපසම්පදාව ලබාගෙන කපුගම සිරි ධම්මක්‍ඛන්ධ මාහිමියන් අමරපුර ශ්‍රී සද්ධම්මවංශික නිකායත්, අත්තුඩාවේ ධම්මරක්ඛිත මාහිමියන් අමරපුර ධර්මරක්ෂිත නිකායත්, කතළුවේ ශ්‍රී ගුණරතන මාහිමියන් අමරපුර කල්‍යාණවංශික නිකායත් ඇති කළා. පසු කලෙක විනය හේතු වගේ විවිධ කාරණා නිසා අමරපුර නිකායේ තවත් බෙදීම් ඇති වුණා. කොහොම වුණත් 1956 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව ඒ වනවිට පාර්ශව විසි එකකට වෙන්වෙලා තිබ්බ අමරපුර නිකාය එක් වෙලා එක සංඝ සභාවක් පිහිටුවා ගන්නවා. සංඝ සභාවේ පළමු සභාපති බවට පත් වෙන්නේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ. පස්සේ කාලයක උත්තරීතර මහනායක පදවියකුත් සම්මත වෙනවා. පළමු උත්තරීතර මහනායක පදවිය හිමි වෙන්නේ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හාමුදුරුවන්ට.
5. මල්වතු පාර්ශවය බෙදී යාම
මල්වතු පාර්ශවය පළමුවරට බෙදී යන්නේ වාදයක් නිසා. වස් ගණන් කිරීමට අදාළව බෙන්තර අත්ථදස්සි හාමුදුරුවෝ යම් මතයක් පළ කරනවා. මල්වතු විහාරය ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරනවා. මේ වාදය “අධිමාසවාදය” විදිහට හැඳින්වෙනවා. මේ අතරතුරේදි බෙන්තර අත්ථදස්සි ස්වාමීන්වහන්සේ තමන්ගේ ශිෂ්‍ය පිරිසකට උපසම්පදාව ලබාදෙන්න මල්වතු විහාරයට වඩිනවා. එතනදි යම් ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම දුර දිග යෑමත් එක්ක බෙන්තර අත්ථදස්සි ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන්වහන්සේ පස් නමක් කැලණි ගඟේ උපසම්පදා විනය කර්මයක් සිදු කරමින් කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාව ලෙස වෙනම නිකායක් ආරම්භ කරනවා. අලුත ආරම්භ වුණු නිකායෙනුත් උපසම්පදාව සිදු කරන ස්ථානය සම්බන්ධ ගැටලුවක් නිසා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී සභාව විදිහට පිරිසක් වෙන් වෙනවා.
ඊට පස්සෙත් මල්වතු පාර්ශවයෙන් වනවාස පාර්ශවය, ඌවේ ශ්‍යාමෝපාලී නිකාය, රෝහණ පාර්ශවය විදිහට කොටස් කිහිපයක් වෙන් වෙනවා. මේ පාර්ශවවලින් කුල හෝ වෙනත් භේදයක් නොතකා ඕනෑම අයෙකුට පැවිදි උපසම්පදාව ලබා දෙනවා.
6. රාමඤ්ඤ නිකාය ආරම්භ වීම
අපි අර කලින් කියපු මල්වතු විහාරයෙදි උපසම්පදාව ලබා ගන්න ගිහින් ගැටුමකට මැදි වුණු බෙන්තර අත්ථදස්සි හාමුදුරුවන්ගෙ ශිෂ්‍ය පිරිසෙන් එක නමක් වුණු අඹගහවත්තේ සරණංකර හාමුදුරුවෝ සිදු වුණු දේවල් ගැන සිත් තැවුලට පත් වෙනවා. උන්වහන්සේත් බුරුමයට වැඩම කරලා උපසම්පදාව රැගෙනවිත් අලුත් නිකායක් ආරම්භ කරනවා. ඒ නිකාය රාමඤ්ඤ නිකාය. මේ නිකාය ආරම්භයේ පටන් අද දක්වා කිසිදු බෙදීමක් නොමැතිව තනි නිකායක් විදිහට එක් මහනායක හිමි නමක් යටතේ පාලනය වෙනවා.
7. රන්ගිරි දඹුලු පාර්ශවය
ලංකාවේ ලබාලතම නිකාය විදිහට සැලකෙන්නේ රන්ගිරි දඹුලු පාර්ශවය. මේ පාර්ශවය ඇති වෙන්න හේතු වෙන්නේ අස්ගිරි පාර්ශවයෙන් කොටසක් වෙන් වීමක්. මේ දක්වා අස්ගිරි පාර්ශවය බෙදී ගිය එකම අවස්ථාව තමයි මේ. රන්ගිරි දඹුල්ල විහාරය ආශ්‍රිත විහාරාරාමවල භික්ෂුන්වහන්සේ එකතු වෙලයි රන්ගිරි දඹුලු සංඝ සභාව නිර්මාණය වෙන්නේ. නමුත් මේ සංඝ සභාව තමන්ගේ මූලස්ථානය වුණු අස්ගිරි විහාරය සමගත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා.
ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ නිකාය භේදය වුණු හැටි ගැන කෙටියෙන් කිව්වොත්. මේ නිකායන් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඔයාට අහන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකෙන්. ඒ වගේම මේ නිකාය භේදය ගැන නොදන්න අයට දැනගන්න මේක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply