ගේ ඇතුළේ පැළ හදන අයට මේ උපදෙස් විශේෂයි!

දැන් ආහාර හිඟයක් එන නිසා, ඔය ගෙවල් වලම වගා සංග්‍රාමයක් පටන් ගන්න කියලා කට්ටිය කියනවනේ. බැලූ බැල්මට නරක නෑ අදහස. ලාබයක් අවශ්‍යම නැති වුණත්, තමන්ට කන්න මොන මොනවා හරි ගෙදරම වගා කරගන්න බැරියැයි. හරි, අපි අද මේ කතා කරන්නේ වත්තේ මයියොක්කා වගා කරන එක ගැන නෙවෙයි. ඊට වඩා ඔය ගෘහාශ්‍රිත වගාව නැතිනම් ගේ ඇතුළේ වගා කිරීම් සම්බන්ධ දෙයක් ගැනයි. දැන් ඔය වත්තක් කියලා දෙයක්, වගා කරන්න ඉඩක් නැති අය, ෆ්ලැට්ස් වල එහෙම ඉන්න අය ගත්තොත්, ඒ අය ගෙදර ඇතුළේ පෝච්චි වල පැළ වගා කරනවනේ. එතකොට වගා කරන්න වත්තක් තියෙන අය වුණත් ගෙවල් ඇතුළේ පෝච්චි වල පැළ හිටෝලා තියෙන තැන් ඕන තරම් තියෙනවනේ. මතක තියාගන්න, මේ කියන්නේ ඕනෑම පැළ වර්ගයක් ගැන. විසිතුරු මල් පැළ වුණත් වෙන්න පුලුවන්. ඉතින් අපි මේ කතා කරන්නේ, අන්න එහෙම ඕනෑම පැළයක් ගෙවල් ඇතුළේ පෝච්චියක හදනකොට ඔළුවේ තියාගන්න ඕන වැදගත් කරුණු කාරණා කීපයක් ගැන.

1. වතුර අඩුවෙන්

මේක මොන විකාර කතන්දරයක්ද කියලා බැලූ බැල්මට හිතෙයි. හැබැයි කතාව ඇත්ත. ඔය ගෙවල් ඇතුළේ තියෙන පැළ ගොඩක් වෙලාවට ඉක්මනට මැරිලා යන්නේ වතුර වැඩි වෙලා. කොහොමත් ගෙයක් ඇතුළේ පෝච්චියක තියෙන පැළයකට දාන වතුර වඩාත් අල්ලලා හිටිනවනේ. අන්න ඒ නිසා, පැළේට වතුර දවස් දෙකෙන් දවස් දෙකට දාන්න ගියහම, පැළයේ මුල් වලට වාතය උරාගන්න තියෙන පස් අතර හිඩැස් ටිකත් වතුරෙන් පිරිලා, ටික දවසක් යනකොට වතුර වැඩිවෙලා පැළේ මැරෙනවා. ගේ ඇතුළේ පෝච්චියක හිටවලා තියෙන පැළයකට වතුර දාන්න ඕනද එපාද කියලා බලන්නේ මෙහෙමයි. පැළය තියෙන පස මතුපිට වියළි වුණාට වැඩක් නෑ. සාමාන්‍ය තරමේ පොඩි පෝච්චියක දාපු පැළයක් නම්, මතුපිට ඉඳලා අඟල් දෙකක් තුනක් පහළට ගිහින් පස වියළිද කියලා බලන්න. එහෙම වියළි නම් වතුර දාන්න. වතුර දානකොට, පස් වලට හොඳට වතුර උරාගෙන, පෝච්චියේ යටින් වතුර ඉවත් වෙලා බකට් එකකට හරි සින්ක් එකට හරි ගලාගෙන යන්න දෙන්න. එහෙම නැතුව වතුර යන්න තැනක් නැතුව පෝච්චියේ ඉතුරු වුණොත්, ඒත් පැළේ ඉවරයි.

2. මට ආලෝකේ ගෙනදේවි

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගෙයක් ඇතුළේ හැදුවත්, ගෙයින් පිට හැදුවත් පැළයකට ප්‍රභාසංස්ලේෂණය සිද්ධ වෙන්න හිරු එළිය, ආලෝකය අවශ්‍යයිනේ. සමහර පැළ වර්ග තියෙනවා අවම ආලෝක තත්ව යටතේ වුණත් ගැටළුවක් නැතුව පවතින. හැබැයි ගේ ඇතුළේ හැදුවා වුණත් ගොඩක් පැළ වර්ග වලට හිරු එළිය අවශ්‍යයි. හැබැයි ඒ කියන්නේ පැළ වල පත්‍ර කර වෙලා යන සෘජු දැඩි හිරු එළියත් නෙවෙයි. හැබැයි හොඳට හිරු එළිය වැටෙන ජනේලයක් අයිනේ වගේ දවසේ යම් කාලයක් පැළය තියලා තියන්න පුලුවන්. හැබැයි ඉතින් ජනෙල් පිරිසිදු කරලා තියන්න වෙයි.

3. තදබදේ බෑ

ඔය ගෙවල් වල ඇතුළේ ගෙවතු වගා කරන සමහරු කරන වැරැද්දක් තමයි පැළ ගණනාවක් එක ළඟ ගොඩ ගහලා තියන එක. හරියට මේ දවස් වල පොල් පටෝපු බස් එකක් වගේ. ඒක හරියන වැඩක් නෙවෙයි ඇත්තටම. පැළයකට වුණත් හුස්ම ගන්න ඉඩ අවශ්‍යයි. ආන්න ඒ නිසා, හරි විදිය තමයි ගේ ඇතුළේ තියෙන පැළ සමාන දුරකින්, ඈත් කරලා, මනාව වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන විදියට තියන එක. එතකොට පැළ වල වැඩීම වුණත් වඩා හොඳින් සිද්ධ වෙනවා කියලා පේන්න පටන් ගනීවි. දැන් කෙනෙක් අහයි ඔය වනාන්තර වල එහෙම එක ගොඩේ හැදුණු ගස් තියෙන්නෙ එතකොට කොහොමද කියලා. මතක තියාගන්න, ගෙයක් ඇතුළේ පෝච්චි වල දාලා එක ගොඩේ පැළ තදබද කරලා තියන එකයි, එළියේ වනාන්තරේක ගස් හැදෙන විදියයි වෙනස්. වනාන්තරේක වුණත් එහෙම එකිනෙකාගේ වැඩීමට අවශ්‍ය අවකාශය නැති වෙලා ගස් තියෙන්නෙ නෑ.

4. මුලින් පැළ තෝරගෙන ඉමු

ඇත්තටම මුලින්ම කියන්න ඕන කාරණාවක් මේක. තමන් ගේ ඇතුලේ පැළ කරන්න යන්නේ මොනවද කියන එක ගැන හිතලා මතලා තීරණය කිරීම. දැන් ගත්තොත්, සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගෙයක් ඇතුළේ පැළ කරන්න යන එක ප්‍රායෝගික නෑ. ගේ ඇතුළේ පෝච්චියක මඤ්ඤොක්කා හිටෝලා වැඩක් නැහැනේ. අන්න ඒ නිසා, තමන්ට ගේ ඇතුළේ වවන්න අවශ්‍ය කරන්නේ විසිතුරු මල් පැළද, ඖෂධ පැළද, කැක්ටස් පැළද කියන එක තීරණය කරන්න ඕන. එහෙම තීරණය කරනකොට, තමන්ට ඒ පැළයට ලබාදෙන්න පුලුවන් සාත්තු සප්පායම ගැනත් හිතන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩියෙන් වද නොවී හදන්න පුලුවන් කැක්ටස් වර්ගයේ පැළ සහ තවත් එහෙම පැළ වර්ග. එතකොට තමන්ට ඵලදාවක් ලැබෙන, ගේ ඇතුළේ වවන්න පුලුවන් පළතුරු වගේ නම්, බට් පැළ වලට යන එක හොඳයි. එතකොට, තමන්ගේ ගෙයි ප්‍රමාණය අනුවත් වවන්නේ මොන පැළද, කොයි තරම් ප්‍රමාණයකින්ද කියන එක තීරණය කරන්න වෙනවා.

5. ගස් වල හතුරෝ

දැන් ඔය ගෘහාශ්‍රිතව තිබ්බත්, ගෙයින් පිට තිබ්බත් ගස් වලට ඉන්නවා ස්වභාවික හතුරෝ. ඒ තමයි ස්වභාවික පළිබෝධ, පැළ වලට හානි කරන කෘමීන් වගේ දේ. දැන් ඕන නම් අපිට පැළයක් හිටවන්න පෝච්චියට ගෙයින් එළියේ කොහේ හරි තියන තැනකින් පස් පුරෝගෙන එන්නත් පුලුවන්. හැබැයි එකක්, ඒකෙන් හොඳටම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. අනික, එළියේ පසේ ඉන්න පළිබෝධ, හානිකර කෘමීන්, දිලීර ආසාදන අනං මනං ඔක්කොමත් ඒ එක්කම එනවා. අන්න ඒ නිසා, පැළ හිටවන්න පස තෝරගන්නකොට එක්කෝ විකුණන්න තියෙන පිළිගත් ප්‍රමිතියට තියෙන පස් ගන්න ඕන. හැබැයි ඊට වඩා වියදම් අඩු, ලාභ ක්‍රමය තමයි අවශ්‍ය පස් මිශ්‍රණය දැනුම තියෙන කෙනෙක්ගෙන් දැනගෙන හරි, අපිම ඉගෙනගෙන හරි, අපි හදාගන්න එක. ඒ ඇරෙන්න, පළිබෝධ හරි කෘමී හරි දිලීර හරි ගැටළුවක් ආපු ගමන්, මුලින්ම අදාළ ගැටළුව තියෙන පැළය අනික් ඒවායින් වෙන් කරගන්න ඕන. ඊට පස්සේ ඒකට කෘෂි රසායන හොයන්න ඉක්මන් නොවී අවශ්‍ය නම් ස්වභාවික ක්‍රම වලින්ම පිළියම් හොයාගන්නත් පුලුවන්. ඒ ගැනත් අපි ඉස්සරහා දවසක කතා කරමු.

6. පස් මාරු කරමුද

සාමාන්‍යයෙන් නම් අපි ඔය ගෙයක් ඇතුළේ පැලයක් පෝච්චියක හිටෝලා තිබ්බට පස්සේ ආයෙ තිබ්බමයිනේ. ඕන නම් වතුර ටිකක් දාලා, අව්ව වැටෙන්න පොඩ්ඩක් එහා මෙහා කළොත් මිසක්, වෙන සීන් එකක් නෑ. හැබැයි ඔය කිසිම දෙයක් වුවමනා නැතුවත් හැදෙන කැක්ටස් වගේ පැළයක් ඇරෙන්න, සාමාන්‍ය පැළයක් නම්, කාලෙකට සැරයක් පස් මාරු කරන්න ඕන. පෝච්චියෙන් පැළේ අයින් කරලා, මුල් විහිදිලා තියෙන එක පොඩ්ඩක් ට්‍රිම් කරලා, මුල් ටික අතර පොඩ්ඩක් ඉඩ එන විදියට පිරිසිදු කරලා, එහා මෙහා කරලා, ඊට පස්සේ ඒ සයිස් එකේම පිරිසිදු පෝච්චියකට අළුත් පස් දාලා, ඒ පස් වල ආයෙත් ඉන්දන්න ඕන. අන්න එතකොට පැළේට වඩාත් හොඳින් වැඩෙන්න පුලුවන් වෙනවා.

7. නව තාක්ෂණික ක්‍රම තියෙනවා

දැන් ඇත්තටම උඩ කියපු කරුණු කාරණා අදාළ වෙන්නේ ගෙයක් ඇතුළේ වුණත් පැළයක් දෙකක් නෙවෙයි පැළ කීපයක් වුණත් පෝච්චි වල දාලා හදන්න ඉඩ තියෙන, ගොඩක් වෙලාවට එළවළු පළතුරු පැළ නැතුව විසිතුරු පැළ හදන්න වුවමනාවක් දක්වන අයටනේ. හැබැයි ඉතින් කෙලින්ම වගා සං‍ග්‍රාමේ සීන් එකෙන් ගත්තොත්, විසිතුරු පැළ හැදුවා කියලා ලොකු වැඩක් වෙන්නෙ නෑ. මොකද, ක්‍රෝටන් පඳුරකින් කොළ කඩලා තම්බගෙන කන්නැයි? හැබැයි ඉතින් මේකට හොඳම ක්‍රමය තමයි, හැමෝම දන්න පෝච්චියක පැළයක් හිටවලා ගේ ඇතුළේ තියන පරණ ක්‍රමය අත්හැරලා නව තාක්ෂණික ක්‍රම වලට යන එක. ඒකට එක උදාහරණයක් තමයි vertical gardening, නැතිනම් තිරස් ගෙවතු වගාව. ඒක සිරස්ව එල්ලපු පැනල් එකක හයිඩ්‍රොෆොනික් ක්‍රමේට වගා කිරීම කියලා කියන්න පුලුවන්. මේ එක තාක්ෂණ ක්‍රමයක් විතරයි. ඉතින් ඒවා ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *