බුද්ධිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්න ආසද? ඒකට තාක්ෂණයේ උදවු ගනිමුද?

දැන් කාලේ ගොඩක් අය කරන චෝදනාවක් තමයි, මිනිස්සු කොයි තරම් තාක්ෂණයෙන් සහ දැනුම අතින් ඉස්සරහින් හිටියත්, ගොඩක් දෙනා තමන්ගේ වැඩ වඩාත් පහසුවෙන් කරලා දෙන තාක්ෂණයන්ට සහ උපාංගයන්ට වහල් වෙලා නිසා, ඒ අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්නෙ නෑ කියලා. ඒකට එක උදාහරණයක් විදියට ගොඩක් අය පෙන්නන්නේ, ස්මාට්ෆෝන් එකට ඇබ්බැහි වීම නිසා පොත් පත් කියවීම, හොඳ චිත්‍රපට බැලීම, සංගීතයට සවන් දීම වගේ බුද්ධිය සහ රසවින්දනය දියුණු කරන දේවල් ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත වලින් මග ඇරිලා කියලා. සමහර වෙලාවට ඔය ෆේස්බුක් එකේ එහෙම මිනිස්සු දාන කමෙන්ට් බලනකොට හිතෙනවා ඒක ඇත්ත තමයි කියලා. කොහොම වුනත් අපි ඔය කාරණාව සම්බන්ධයෙන් වාද විවාද කරන්න යන්නෙ නෑ.

 

හැබැයි ඉතින් මෙහෙම කාරණාවක් තියෙනවා. ඇත්තටම මොළයේ ක්‍රියාකාරීත්වය කියන්නෙත් අපේ ශරීරයේ අනික් අවයව වගේ තමයි. ගොඩක් කල් වැඩක් ගන්නෙ නැතුව තිබ්බොත් මළකඩ කන්න පටන් ගන්නවා. හරියට ක්‍රියාකාරී නොවෙන්න පටන් ගන්නවා. ආන්න ඒ නිසා මොළය හොඳින් පාවිච්චි කරන එක තමයි කෝකටත් හොඳ දේ. ආන්න ඒ වෙනුවෙන් ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සහ ගේම්ස් කීපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ!

 

1. Elevate

මෙන්න අපි කෙනෙක්ගේම ස්මාට්ෆෝන් එකක තිබිය යුතුමයි කියලා නිර්දේශ කරන ඇප් එකක්. මේකෙන් කෙනෙක්ගේ කියැවීම, ලිවීම, කථනය, ගණිත හැකියාව වර්ධනය කරන්නත් උදවු දෙනවා. ඒ වගේම කෙනෙක්ගේ මතකය, අවධානය ඒකාග්‍ර කිරීමේ හැකියාව, තොරතුරු ග්‍රහණය කරගැනීමේ හා සංසන්දනය කිරීමේ නිරවද්‍යතාව සහ ඒ තොරතුරු සැකසුම් කිරීමේ කාර්යක්ෂමතාවය වගේම තීක්ෂණ සංජානන කුසලතා වැඩි වර්ධනයටත් උපකාරයක් වෙනවා. මේ ඇප් එකේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ලබාගන්න නම් සල්ලි ගෙවන්න වෙනවා. හැබැයි ෆ්‍රී වර්ෂන් එකේත් සෑහෙන්න තරමේ ක්‍රියාකාරකම් කෙනෙක්ට ලබාදෙනවා. 

 

2. Lumosity: Brain Training

මේකත් මූලික වශයෙන් කෙනෙක්ගේ බැරෑරුම් සංජානන හැකියාවන් වැඩි වර්ධනය කරන්නම හදපු ඇප් එකක්. හැබැයි මේක බොහොම ෆන් විදියට තමයි වැඩේ කරලා දෙන්නේ. ඒ කියන්නේ ගේම්ස් විදියට. ඇත්තටම විද්‍යාත්මක පදනමකින් යුක්තව නිර්මාණය කරලා තියෙන විවිධාකාරයේ ගේම්ස් වලින් මේ ඇප් එක කෙනෙක්ගේ මතකය, අවධානය ඒකාග්‍ර කරගැනීම, මොළයේ ක්‍රියාකාරීත්වයේ වේගය සහ සුඛනම්‍යතාවය වගේම ගැටළු විසඳීමේ හැකියාවත් වැඩිවර්ධනය කරවනවා. මේකේ ඉතාම විශාල අභියෝග ප්‍රමාණයක් ඇතුළත් වෙන අතරම, නිරන්තරයෙන් අප්ඩේට් වෙන නිසා, කවදාවත් මේ ඇප් එකේ තියෙන බ්‍රේන් ගේම්ස් ඉවර වෙන්නෙත් නෑ.

 

3. NeuroNation

මෙන්න මේකට Google Best App සම්මානයත් ලැබිලා තියෙනවා. ඇත්තටම දිනපතා තමන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්න මේක කියාපු ඇප් එකක්. දවසකට විනාඩි 15 ක් මේකත් එක්ක සෙල්ලම් කළහම ඇති කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ඇප් එක ඉතාම ආකර්ෂණීය විදියේ ග්‍රැෆික් ඇනිමේෂන් එහෙමත් එක්ක තමයි දේවල් ඉදිරිපත් කරන්නේ. මේකේ ලබාදෙන අභියෝගයන් ඉතාම සරලයි වගේ සමහර වෙලාවට බැලූ බැල්මට පෙනුනත්, ඇත්තටම ඒවා කොයි තරම් අභියෝගාත්මකද කියලා තේරෙන්නේ කරන්න ගියහම තමයි. මේකේ හෙල්ප් සිස්ටම් එකකුත් තියෙනවා, කෙනෙක්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්.

 

4. Clockwork Brain Training

මේ ඇප් එකත් ඇත්තටම ගේම් එකක් පැත්තට වැඩියෙන් බර වැටෙන්න තමයි හදලා තියෙන්නේ. ඒකේ ක්‍රියාකාරකම් පවා ලස්සන ගේම් ඩිසයින් විදියට, ගේම් එකක් ප්ලේ කරන විදියට තමයි කරන්න තියෙන්නේ. හැබැයි රැවටෙන්න එපා. පොඩි අයට ආස හිතෙන්න හදපු ගේම් එකක් වගේ පෙනුණට, ඇත්තටම මේක මොළේට රියල් චැලේන්ජ් එකක් දෙන ගේම් එකක්. මේක වික්ටෝරියන් ස්ටීම්පන්ක් තේමාවකින්, මායන් චිත්‍ර ආභාෂයකින් යුතුව තමයි තියෙන්නේ. හැබැයි මේ ගේම් එකෙන් කෙනෙක්ගේ මතකය, අවාධානය, භාෂා ඥාණය, තර්කන හැකියාවන් වගේම සංජානන කුසලතාවයනුත් වර්ධනය කරනවා.

 

5. Sudoku games

සුදොකු කියන්නේ මොනවද කියලා සමහරු දන්නවා ඇති, ඒත් නොදන්න අයත් ඇති. සුදොකු කියන්නේ බොහොම පැරණි ගේම් එකක්. සරලවම කිවුවොත්, කොටු නවයක් එකතුවෙලා හැදුණු එක කොටුවක් තියෙනවා. ඒ කොටු නවය තියෙන කොටුව වගේ නවයක් එකතු වෙලා තමයි සුදොකු කොටුවක් හැදිලා තියෙන්නේ. දැන් මේ කොටු නවයේ කොටුව ඇතුළේ එකේ ඉඳන් නවයට අංක තියෙන්න ඕන. එතකොට සම්පූර්ණ සුදොකු කොටුවේ ඉහළ ඉඳන් පහළටත් හරහටත් තියෙන හැම පේළියකම එකේ ඉඳන් නවය වෙනකල් අංක තියෙන්නත් ඕන. හැබැයි මේ සුදොකු කොටුවේ තැනින් තැන තමයි අංක තියෙන්නේ. අනික් අංක අපි සම්පූර්ණ කරගන්න ඕන. සෙල්ලං නෑ නේද? මෙන්න මේ සුදොකු කොටුවක් සම්පූර්ණ කරන්න පුළුවන්  කියන්නේ හොඳ මොළයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන එක තමයි. ඉතින් ඒ නිසාම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවර්ධනය කරන්න ගොඩක් දෙනෙක් සුදොකු සෙල්ලං කරනවා. ඇන්ඩ්‍රොයිඩ් සුදොකු ගේම්ස් වලිනුත් ඒකම සිද්ධ වෙනවා.

 

6. Skillz

මේක බැලූ බැල්මට මතකය වර්ධනය කරවන ක්‍රීඩාවක් වගේ පේන්නේ. ඇත්තටම හැබැයි ඊට වඩා දෙයක් මේ ඇප් එකේ තියෙනවා. මතකය වගේම සංජානන හැකියාවන් සහ විද්‍යාත්මක ක්‍රියාපටිපාටි දැනුමත් මේකෙන් වර්ධනය කරනවා. ඒ වගේම තමන්ගේ වර්ධනයත් මේකෙන් ට්‍රැක් කරන්න පුළුවන්. දවස ගාණේ පොඩි වෙලාවක් මේකට වෙන් කිරීමෙන් ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ක්‍රම ක්‍රමයෙන් මතකය විතරක් නෙවෙයි, මතකය වඩාත් වේගයෙන් භාවිතා කරන්න පුළුවන් හැකියාවත් මේ ඇප් එකේ ගේම්ස් වලින් ලැබෙනවා කියලා කියනවා.

 

7. Memorado

මේකේ නම දැක්ක ගමන් හිතෙනවා නේද මේක මෙමරි එකට සම්බන්ධ මොකක් හරි ගේම් සීන් එකක් වෙන්න ඕන කියලා? ඇත්තටම මෙමොරාදෝ කියන්නේ විද්‍යාත්මක පර්යේෂණ වලින්, කෙනෙක්ගෙ සංජානන හැකියාවන් සහ IQ එක වැඩිදියුණු කරන්න පුළුවන් කියලා තහවුරු කරපු ක්‍රියාකාරකම් අඩංගු ගේම් එකක්. විශේෂයෙන්ම සංජානනයට සහ බුද්ධියට අදාළ විවිධ අංග වෙනුවෙන්ම නිර්මාණය කරපු ගේම්ස් 24 ක් මේකේ තියෙනවා. එතකොට ඒ එක් එක් ගේම් එකේ ලෙවල්ස් සිය ගාණක් තියෙනවා. මේ ඇප් එකේ තියෙන ගේම්ස් වල මූලික ඉලක්කය සංජානනය සහ බුද්ධි හැකියාව වැඩිදියුණු කිරීම වුනත්, ගණිතමය හැකියාවන්, තර්කන හැකියාවන් වර්ධනය කිරීම සහ අවධානය තියුණු කිරීමත් මේ ගේම්ස් වලින් සිද්ධ වෙනවා.

 

එහෙමනම් මොකද කියන්නේ? අද ඉඳලම ඇඟට එක්සයිස් දෙන ගමන් බ්‍රේන් එකටත් එක්සයිස් කරමු නේද? අමතක නොකර ප්‍රගතිය ගැනත් කමෙන්ට් එකක් දාන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *