ඇමති පුතාලා කරන දේවල් ගැන මහා ලොකුවට ටීවීවල කියනව. අපි ඒව අහන් ඉන්නව. ඒ ඒ ඇමති තාත්තල ඒ ඒ ඇමති පුතාලා ගැන ආඩම්බර වෙනව. මොනව කොයි විදියට සිද්ධ වුණත් අපි අද ලැයිස්තුවකට දාන්න හිතුව ලංකාවෙ ඇමති කෙනෙකුට පුතෙක් වෙලා උපන්නොත් පොරට කළ හැකි සුවිශේෂ දේවල් මොනවද කියල. ලියන්න නං දේවල් ගොඩයි. හැබැයි අපි ලිවුවෙ ටිකයි.
1. ජාතික කණ්ඩායම් නියෝජනය

Source – twitter.com
ඇමති පුතෙකුට නිතරඟයෙන් ලැබෙන දෙයක් තමයි තමුන් කැමති ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට හැකිවීම. ජනාධිපතිගේ පුතා වුණොත් හෝ ලාවට හැකියාවක් තිබ්බොත් ජාතික කණ්ඩායමේ නායකත්වය දක්වා යන්නත් හැකියාව තියෙනවා. කොහොමින් කොහොම වුණත් ඇමති පුතෙකු පසුපස හඹා එන වරප්‍රසාදයක් විදියට මේ ජාතික කණ්ඩායම් නියෝජනය දක්වන්න පුළුවන්.
2. ඔටෝ ෆැසිලිටීස්

Source – slguardian.org
ඇමති පුතෙකුට තවත් ඔටෝ ලැබෙන දේවල් දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි ගරුත්වය. රටට අබැටක් තරම් දෙයක් කරල නැතත් පොර ළඟට එද්දි අවුරුදු හැටේ නාකිත් බේබී කියල ඇදල පැදල පුටුවෙන් නැගිටිනවා. ඒ වගේම තමයි රාජ්‍ය සමුළුවලට ඔටෝ පිටරට යෑමේ අවස්ථා සැළසීම. ඌ ඉතිං මේ අයර්ලන්තෙ තියෙන්නෙ මොන සමුළුවද කියල නොදන්නව වුණත් පොර යනව රට. ගිහින් ඉන්නව හාකබොන්ඩ් කාපු උගුඩුව වගේ අනිත් උන් කරන කියන දේවල් බලාගෙන. තවත් ඉතිං ඇමති පුතාලට ඔටෝ ලැබෙන දෙයක් තමයි පාර්ලිමන්ට් විසිට් එක. ඒ කිවුවෙ මේ අර ඉස්කෝලෙ ළමයි නිකං බලන්න යනව වගේ නෙමෙයි. කෙලින්ම මන්ත්‍රීවරයෙක් විදියට ගෞරවාන්විතව ඇතුළටම. ඇයි ඉතිං තාත්තව ඇතුළට යවපු හරක් සහ ඒ හරකුන්ගෙ හරක් පැටවු තාමත් ජීවත්වෙනවනෙ.
3. තෑගි ලෙසට දැන්…

Source – mbusa.com
අපිට පුංචි කාලෙ තෑගි විදියට හම්බුණේ ආමි සෙට් වගේ දේවල්. ලොකු තෑග්ගක් විදියට හම්බුණේ රේල් පීලි සෙට් කරලා ඒ උඩ යන සෙල්ලං කෝච්චි. ඒත් ඇමති පුතෙක් වුණොත් හම්බෙන්නෙ එහෙම තෑගි නෙමෙයි. සාමාන්‍යයෙන් නං ලක්ෂ පනහට එහා පැත්තෙ ඔරලෝසු. එහෙමත් නැත්තං ඕලෙවෙල් විභාගෙට වාඩි වුණු සතුට සමරන්න ගෙදරින් රේසිං කාර් එකක් වගේ දෙයක්. ඕලෙවල් ෆේල් වුණු දුක තුනී වෙන්න ගෑණු ළමයෙක් වගේ තෑගිත් සමහරුන්ට හම්බෙනව. ඒවට පින් කරන්න ඕන.
4. මැජික්

Source – drinks-insight-network.com
ඇමති පුතාලට මැජික් බලයන් තියෙනව. සමහර තාත්තලටවත් නැති ඉන්ද්‍රජාල හැකියාවන් පුතාලට තියෙනව. වොඩ්කා වතුර කිරීම නොහොත් ද ජීසස් මූව්, ගුටි කාපු උන් ගැහුවේ කවුද කියා නොදැකීම නොහොත් ෆ්ලෑෂ් ඉෆෙක්ට් වැනි හැකියාවන් ඇමති පුතාලට ලැබෙනව.
5. ටොයිලට්

Source – youtube.com
ඇමති පුතෙකුට තැනක් නොතැනක් අදාළ නෑ. එයාට පුළුවන් කැමති දෙයක් කරන්න. ප්ලේන්වලින් එළියට චූ කරන්න උනත් පුළුවන්. හිටපු අගමැති ජෝඩුවක පුතෙක් සුප් කෝප්පවලට චූ කරපු ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවනෙ. ආයෙ ඉතිං ඕන තැනක් ඒ අයට අනුව වැසිකිළි තමයි.
6. තමංගෙ වගේ

Source – youtube.com
ඇමති පුතාලට රට ගැන පුදුම හැඟීමක් තියෙන්නෙ. කොටිම්ම හැම දෙයක්ම තමන්ගෙ වගේ. බාර් එකකට ගියොත් එතන ලයිට් තමන්ගෙ කියල හිතිල පුටුවකින් නිකමට ගහනව ලයිට් එකකට. ක්ලබ් එකකට ගියොත් ඒකෙ ඉන්න කෙල්ලෙක් තමන්ගෙ කියල හිතිල කොල්ලව පැත්තකට දාලා කෙල්ලව ගන්නව තුරුළට. ඒවා ඉතිං ජාති මාමක හැඟීම්. ඔහෙලා අපිට ඇතිවෙන්නෙ නෑ ඒවා.
7. ගහන්න දෙයියො

Source – lovehoney.com
සමහර ගෑණු ඉන්නවලු කසාද මිනිහගෙන් පාරක් නොකෑවොත් ඉන්න අමාරු. අනේ ගහපං දෙයියො කියල කොන්ද නවාගෙන ඉන්නවලු. මේකත් එහෙමයි. ඇමති පුතාලට කේන්ති ගියාම ගුටි කන උන් ඔලුවක් උස්සන්නෙ නෑ. හුම් කියන්නෙ නෑ. ඉන්නව අනේ ගහපං මහත්තයො කියල බෙල්ල නවාගෙන.
8. පොලිසියෙන් ගෙදරට

Source – darkroom.baltimoresun.com
ඇමති පුතාලට තවත් වාසියක් තියෙනවා. එයාලා නරකක් කළත් ඒක කරන්නෙ රටේ අභිවෘද්ධියට. ඒවා අපිට නොතේරුණාට පොලිසියේ අයට හොඳට තේරෙනව. එනිසා වැරැද්දක් කරල පොලිසියට ගෙනිච්චත් හොඳට කන්න දීලා, පොලිසියට ගෙනාපු පොලිස් අයියටත් හොඳට කන්න දීලා, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවවලටත් හොඳට කන්න දීලා, පොලිස් ස්ථානාධිපති උන්නැහේ විසින්ම ගෙදරට ගෙනත් දානවා.
9. අපමණ අගයක්

Source – np.gov.lk
මේ අය කරන ඕනම වැඩකට අපමණ අගයක් තියෙනව. කවුරුහරි ලියපු පොතකට සල්ලි දීලා තමුන්ගෙ නමින් ගහනව. අනේ ඉතිං බුකර් සම්මානෙ හම්බුණා වගේ සතුටකින් පාක්ෂිකයො පිළිගන්නෙ. ලෝන් එකක් ගහල අරිනව රොකට් එකක්. හරිහමන් අරමුණක් නෑ. හැබැයි ඉතිං අරිනව. යනව දන්නෙත් නෑ, තියෙන තැනක් දන්නෙත් නෑ. වැඩිය ඕන නෑ. පෙට්ටි කඩෙන් ප්ලේන්ටියක් බිවුවත් ඒ ෆොටෝ එක විසිදාහකට ආසන්න ප්‍රමාණයක් ෂෙයා කරනව. මම පෙට්ටි කඩවලින් බීලා තියෙන ප්ලේන්ටි ගාණට ෆොටෝ ෂෙයා වුනානං සකර්බර්ග් ගෙන්නගන්නව චීෆ් ෂෙයාරින් ඔෆිසර් විදියට.
Cover Image Source – gettyimages.ca
Leave a Reply