ලංකාවේ භික්ෂූන්වහන්සේලා සැලකෙන්නේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා විදිහට. උන්වහන්සේලා වෙනුවෙන් සිව්පසයෙන් උපස්ථාන කිරීම වගේම වගේම උන්වහන්සේලාගේ සියලුම අවශ්‍යතා ගැන සොයා බැලීම තමන්ගේ පරම යුතුකමක් විදිහට ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ සලකනවා. හැබැයි යම් විදිහකට භික්ෂූන් වහන්සේ නමක් සිවුර ඇරලා ගියොත් සමහර බෞද්ධයෝ නම් ඒ දිහා වපරැහින් බලනවා. ඒ වගේම තවත් සමහර බෞද්ධයෝ හිතනවා ශාසනයේ ඉඳන් ශාසනය විනාශ කරනවට වඩා කෙනෙක් ගිහි වෙන එක හොඳයි කියලා. ඒ විදිහට සිවුරු හරින භික්ෂූන් වහන්සේලාට හොරෙන් කියන නමක් තියනවා. ඒ තමයි “හීරලුවා”. මේ වචනේ නිරුක්තිය ගැන දන්න අය නම් කියන්නේ “සිවුරු හළුවා” කියන වචනය භාවිතයේ පහසුවට “හීරළුවා” වුණා කියලා. මේ කතා කොහොම වුණත් භික්ෂු ජීවිතයක් ගත කරලා ගිහි බවට පත් වුණු සමහර පුද්ගලයෝ ලංකාව වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. අපි අද කතා කරන්නේ ඒ වගේ කීප දෙනෙක් පිළිබඳව.
1. විමල් ජී බලගල්ලේ
විමල් ජී බලගල්ලේ මහත්මයා කියන්නේ අද අපේ රටේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිංහල භාෂාවේදියා. අද වෙන කොට එතුමා අපේ රටේ සාහිත්‍ය ලෝකය තුළ ඉතාමත් ගෞරවාදරයට ලක් වුණු චරිතයක්. එතුමා භාෂා ශාස්ත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ පිරිවෙන් ආශ්‍රයෙන්. ඒ බලගල්ලේ විමලබුද්ධි නම් භික්ෂුන් වහන්සේ නමක් විදියට. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරලා ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගන්න එතුමා පසු කාලෙක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගොඩනැංවීමට සහ එහි දියුණුවට වැඩි දායකත්වයක් ලබා දුන්නා. මේ වෙන කොට 94 වන වියේ පසු වුණත් එතුමා තවමත් භාෂා ශාස්ත්‍ර කටයුතු වල නොනවත්වාම නිරත වෙනවා.
2. සුචරිත ගම්ලත්
මෑත කාලයේ ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටතම සිංහල පාලි සංස්කෘත ආදී භාෂා ගණනාවක් දැන සිටි විශාරද පඬිවරයා කවුද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නෙ සුචරිත ගම්ලත් කියන නම. එතුමා ඉපදිලා තියෙන්නේ නක්කාවිට කියන ගමේ. එතුමාගේ මවගේ මරණයත් එක්ක පියා එතුමාව පන්සලට බාර කරනවා. මේ පොඩි හාමුදුරුවෝ පන්සලෙන් මූලික අධ්‍යාපනය ලබා ගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා විද්‍යාලංකාර පිරිවෙනට පිවිසෙනවා. ඊට පස්සේ පේරාදෙණි විශ්ව විද්‍යාලයට යන මේ භික්ෂූන් වහන්සේ සිවුරු අරින්න තීරණය කරනවා. මුල් කාලයේදී ආනන්ද ගුණසේකර කියන නම භාවිතා කළත් පස්සේ කාලෙක දී එතුමා තමන්ගේ නම සුචරිත ගම්ලත් විදිහට වෙනස් කරනවා.
3. දොන් අන්දිරිස් ද සිල්වා පඬිතුමා
යටත් විජිත යුගයේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කරපු දොන් අන්දිරිස් ද සිල්වා මහතා ප්‍රසිද්ධ වුණේ බටුවන්තුඩාවේ පඬිතුමා විදිහට. එතුමා අපේ ජාතික වීරයෙක්. පළවෙනි සිංහල බෞද්ධ විවාහ ලේකම් වරයා වුණෙත් එතුමා. එතෙක් කාලයක් විවාහ ලියාපදිංචි කිරීමට පල්ලියට යෑමට සිදුවූ සිංහල බෞද්ධයන්ට පල්ලියට නොගොස් ඒ කාර්යය කිරීමට එතුමා හරහා හැකියාව ලැබුණා. බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත නමින් එතුමා පැවිදි වෙලා හිටිය පුද්ගලයෙක්. ඒ කාලයේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවා එතුමාගේ ශිෂ්‍යයෙක් වෙලා ඉඳලා තිබෙනවා. මේ ගුරු ගෞරවය නිසා බටුවන්තුඩාවේ පඬිතුමා එන විට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ආසනයක වාඩි වෙලා හිටියොත් එතනින් නැගිටලා පොත් කාමරයට යනවලු. මොකද තමන්ගේ ගුරුවරයා එද්දී ආසනයක වාඩි වී සිටීම එතරම් හොඳ නෑ කියලා උන්වහන්සේ විශ්වාස කළ නිසා .
4. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
අපේ රටේ විශිෂ්ට ගීත රචකයකු වුණු චන්ද්‍රරත්න මානවසිංහ මහතා විවිධ ක්ෂේත්‍රවලින් ලංකාවේ ජනතාවගේ ආදරය දිනාගත්ත කෙනෙක්. උදාහරණයක් විදිහට එතුමා ගේ වගතුග තීරු ලිපියක් දක්වන්න පුළුවන්. එක වතාවක් මහගම සේකර පවා කිව්වලු තමන්ට වඩා චන්ද්‍රරත්න මානවසිංහ මහතා අති දක්ෂයෙක් කියලා. චන්ද්‍රරත්න මානවසිංහ මහතාට මේ සියලු කටයුතු වලදී ව්‍යක්ත විදිහට භාෂාව හසුරවන්න පන්නරය ලැබිලා තියෙන්නෙත් පන්සලෙන්. ඒ එතුමා ජීවිතයේ කීප වතාවක් මහණ වෙලා තිබ්බ නිසා. විවිධ හේතු හින්දා උපැවිදි වුණත් එතුමා මුළු ජීවිත කාලය පුරාවටම චීවරයට දැඩි සේ බුහුමන් දැක්වුවා.
5. මංජු ශ්‍රී
ලොකු කංකානම්ගේ තෝමස් පීරිස්, මේ නම නම් එච්චර පුරුදු නැතිව ඇති නේද? මේ තමයි ලංකාවේ නම ලෝකයට ගෙන ගිය මංජු ශ්‍රී කියන චිත්‍ර ශිල්පියාගේ මුල් නම. දුම්රියේ වැඩම කළ භික්ෂුන් වහන්සේ කිහිප නමකගේ සංවර ස්වභාවය දැකපු කුඩා තෝමස්ට පැවිදි වෙන්න හිතෙනවා. ඒ අනුව බේරුවල මංගල පිරිවෙනේදී තෝමස්, “ඥානේන්ද්‍ර” කියන නමින් පැවිදි වෙනවා. මේ මේ භික්ෂූන් වහන්සේ පිරිවෙනේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට අමතරව චිත්‍ර කලාවටත් වැඩි කැමැත්තක් දක්වනවා. මේ නිසා මුන්වහන්සේ නතර වෙන්නෙ ශාන්ති නිකේතනයෙන්. ඉන්දියාවේ ගතකරපු කාලයෙන් පස්සේ උපැවිදි වෙලා ලංකාවට එන උන්වහන්සේ ප්‍රසිද්ධ වෙන්නේ මංජු ශ්‍රී කියන නමින්. ලංකාවේ බොහෝ විහාර ගෙවල් වල චිත්‍ර වලට නව කලඑළියක් දෙන්නට මංජු ශ්‍රී සමත් වෙනවා.
6. සාගර පලන්සූරිය
සුදෝ සුදු කවි පොත ගැන දන්නා අයට සාගර පලන්සූරිය කියන නම ආපහු හඳුන්වලා දෙන්න ඕන නමක් නම් නෙවෙයි. කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවියෙක් විදිහට සිංහල කවියට සුවිශේෂී දායකත්වයක් සාගර පලන්සූරිය ලබා දුන්නා. සාගර පලන්සූරියගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වෙන්නේ පන්සලෙන්. ඒ කළල්ඇල්ලේ පේමානන්ද පොඩි හාමුදුරුවෝ විදිහට. මංජු ශ්‍රී වගේම ශාන්ති නිකේතනයට ගියාට පස්සේ ලංකාවට එන උන් වහන්සේ කළල්ඇල්ලේ ආනන්ද සාගර කියන නම භාවිතා කරනවා. උපැවිදි වීමෙන් අනතුරුවත් තමන් ගේ පැවිදි නම වුණු කළල්ඇල්ලේ ආනන්ද සාගර කියන නම සිහිපත් කරමින් කේ.ඒ.එස් අත්සන් කරන්න සාගර පලන්සූරිය මහතා වග බලා ගන්නවා.
7. රවී ජයවර්ධන
ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වුනේ රවි ජයවර්ධන මහතා. ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයකු විදිහටත් ගුවන් ගුවන්යානා නියමුවෙක් විදිහටත් එතුමා මෙරට ප්‍රසිද්ධියට පත් වුණා. නමුත් එතුමා මෙරට ජනතාවට වැදගත් වෙන්නේ විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘවරයා විදිහට. බොහෝදෙනෙක් නොදන්නවා වුණාට ජීවිතයේ එක් කාලයකදී එතුමා තායිලන්තයේදි පැවිදි දිවියට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ජේ.ආර් ජයවර්ධන මහතා ඔහුව සොයාගෙන ගිහින් මවගේ ඉල්ලීම පරිදි සිවුරු අරින්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. අවසානයේදී රවි ජයවර්ධන මහතා දෙමව්පියන්ගේ ඉල්ලීමට එකඟ වෙලා තියෙනවා .
එහෙනම් වෙනදා වගේම ආටිකල් එක ගැන ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply