සම්පූර්ණයෙන් නිර්මාංශ වීමට කලින් සෞඛ්‍යමත් ලෙස ආහාර ගනිමු

ආහාර මගින් ලෙඩ වීම කියන්නේ නූතන ප්‍රශ්නයක්. ඉස්සර වුණේ ආහාර හිඟ කමින්, ආහාර නැති කමින් මිනිස්සු අපහසුතාවයට පත් වීම. ඒත් දැන් දැන් අපේ රටවල පවා අධි රුධිර පීඩනය, දියවැඩියාව, වැනි ආහාර රටාවන් නිසා උත්සන්න වන රෝග වැඩිවෙලා තියෙනවා. නිර්මාංශ ආහාර වලට යොමු වීමත් දැන් ලෝකයේ තියෙන හොඳ ප්‍රවණතාවක්. අපේ රටෙත් මස් නොකන අය, මාළු බිත්තර කන්නේ නැති අය ආකාරයෙන් අර්ධ වශයෙන් නිර්මාංශ අය ගොඩක් ඉන්නවා. අපි මුලින්ම නිර්මාංශ ආහාර රටා වර්ග හඳුනාගනිමු.

 

1. නිර්මාංශ ආකාර

නිර්මාංශ අය හෙවත් මස් නොකන අයගේ වර්ග කිහිපයක් තියෙනවා. අපි ඒක බලමු.

සෙමි වෙජිටේරියන් – ලංකාවේ බොහෝ අය අයිති වෙන්නේ මේ කොටසට. ගොඩක් අය කුකුල් මස් විතරයි කන්නේ. වෙනත් හරක් මස්, එළු මස් ආදියට වැඩි කැමැත්තක් නැහැ.

පෙස්කටේරියන් – මේ අය හරක් මස්, කුකුල් මස් වගේ මාංශ ජාති ප්‍රතික්ෂේප කරනවා. ඒත් මූදු ආහාර, මාළු ආදිය ආහාරයට එකතු කරගන්නවා. ලංකාව කියන්නේ දූපතක් නිසා ගොඩක් මාළු, කුකුළුවෝ, ඉස්සෝ, දැල්ලෝ සුලභව ලබාගන්නට පුළුවන්. එනිසා ප්‍රතිපත්තියක් ලෙස නැතත් බොහෝ දෙනා මේ තත්ත්වයටත් අනුකූලව ඉන්නවා.

ලැක්ටෝ – මේ අය කිරි සහ බිත්තර පමණක් ආහාරයට ගන්නවා. මස් මාළු කන්නේ නැහැ. මේක විහිළුවක් වගේ පෙනුනත් එහෙම අයත් ඉන්නවා.

වීගන් – වීගන් කියන්නේ සියළුම ආකාරයේ මස් මාංශ සහ සතුන් ඇසුරෙන් නිපදවන දේවල් ප්‍රතික්ෂේප කරන අය. මෙයාලා කොටින්ම සම් වලින් හැදූ මල්ලක් වත් පාවිච්චි කරන්නේ නැහැ. කිරි, බිත්තර, උම්බලකඩ තියා ඒවා ඇතුළත් කළ ආහාරයක් වත් කන්නේ නැහැ.

 

2. නිර්මාංශ අයට එල්ල වෙන අභියෝග

මාංශ වලින් තොරව ගස් කොළන් වලින් ලැබෙන ආහාර පමණක් ගිල දැමීම මිනිස්සු විදිහට සාමාන්‍ය ආහාර වේලක් නෙමෙයි. මොකද මිනිස් සිරුර පරිණාමිකව වර්ෂ දහස් ගාණක් තිස්සේ මාංශ වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ඉලක්ක කරගෙන සැකසී තියෙනවා. එසේ වෙනස් ආහාර රටාවකට අනුගත වනවිට අපි ඒ නිසා සිරුරට අහිමිවන පෝෂ පදාර්ථ සිරුරට ලැබෙන ලෙස අපේ ආහාර වේල සකස් කරගත යුතු වෙනවා. නිසි ආකාරයෙන් ප්‍රෝටීන, යකඩ සහ විටමින් බී 12 ලැබෙන ආකාරයට අපේ නිර්මාංශ උදවිය ආහාර වේල සකස්කරගත යුතු වෙනවා.

 

3. ආහාර මගින් බැලන්ස් කිරීම

ප්‍රෝටීන, කැල්සියම් සහ වෙනත් විටමින් වර්ග අපිට මාළු සහ බිත්තර ආහාරයෙන් ලැබෙනවා. ඒවත් කෑම නතර කළොත් අපිට ඒ අනුව ආහාර වේල් සකස් කරගත යුතු වෙනවා. විටමින් බී 12 අඩංගු වන්නේ සත්වයින් ඇසුරින් ලබාගන්නා ආහාර වල පමණයි. මේ ඔමේගා ත්‍රී මේද අම්ල මාළු සහ ඒ ආශ්‍රිත දේවල තියෙනවා. අපිට ඔමේගා 3 ලැබෙන මේ මාළු ආහාර නැවැත්තුවොත් ඒවා පිටින් ගත යුතු වෙනවා.

 

4. බර අඩුකර ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න වීමට නම්

යම් අයෙක් සිරුර යහපත්ව තබාගන්නට ඉතා දුෂ්කර ක්‍රියාදාමයක් වන නිර්මාංශ ආහාර ගැනීම තෝරාගන්නවා නම් ඊට පෙර ආහාර පාලනය කිරීම අත්හදා බැලීම වඩාත් යෝග්‍යයි. අපේ සිරුරට අහිතකර, සැකසූ මස් මාංශ පිරුණ ආහාර වෙනුවට වැඩිපුර එළවළු සහ පළතුරු ආහාරයට එකතු කරගන්නට ඕනි. ඒ වගේම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම වැඩි කරලා වැඩිපුර ලබාගත් කිරි, බිත්තර සහ චීස් වැනි ආහාර අඩු කරගන්නට ඕනි. අපේ ආහාර වේලේ මස් මාංශ ආහාර වැඩි නම් එකපාර මස් මාංශ වලට ආයුබෝවන් කියනවාට වඩා ආහාර වේල පොඩි කිරීම වගේම හිතුන හිතුන වෙලාවට ආහාර ගිල දැමීම වගේ පුරුදු පාලනය කරගැනීමත් සෞඛ්‍යයට හොඳයි.

 

5. වීගන් අය සහ සෞඛ්‍යය

වීගන් හෙවත් තදබල නිර්මාංශ අය වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටින බව දත්ත වාර්තා වල දැක්වෙනවා. එහි සත්‍යතාවයක් තිබුණත්, නිර්මාංශ අය බොහෝවිට සිරුර ගැන හිතන, දැනුවත්ව නිර්මාංශ භාවය ගෙනියන උදවිය. එයාලා සිරුරට නිර්මාංශ වීම හරහා අඩුවෙන් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ වැඩියෙන් ලැබෙන ආකාරයට ආහාර වේල් වෙනස් කරගන්නවා. ඒ වගේම බොහෝ නිර්මාංශ අය ව්‍යායාම් කිරීම, මානසික සමබරතාවය වැනි අංශ කෙරේත් වැඩිපුර අවධානය යොමු කරනවා. එකතැන සිට මස්මාංශ ගිලදමන ස්ථුල අයට වඩා සෞඛ්‍ය ගැන සිතා බලා කටයුතු කරන නිසා වීගන් අය වඩාත් සෞඛ්‍යසම්පන්න වීම ඔවුන්ගේ වීගන් වීම නිසාම සිදුවුන දෙයක් කියලා අපිට කෙලින්ම නිගමනය කරන්නට අමාරුයි.

 

6. පිටින් ආහාර ගැනීමේ ගැටළුව

ලංකාවේ ආහාර වේල් ගත්තත් ව්‍යාංජන රසවත් කරන්නට උම්බලකඩ, කරවල එකතු කරනවා. කොත්තු රයිස් වගේ ආහාර ගතහොත් ඒවාට බිත්තර එකතු කරනවා. බිස්කට්, කේක් වැනි ආහාර වලටත් සත්ව තෙල් සහ බිත්තර ඇතුළත් වෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන් තදබල ලෙස නිර්මාංශ වුවොත් අපි දැනට ගිලදමන ආහාර වලින් බොහොමයකට තදින්ම තිත තියන්නට වෙනවා. ඒ වගේම වෙනත් ආහාර වට්ටෝරු අනුව වීගන් ආහාර සකසාගන්නටද අපිට සිදු වෙනවා. විගන් වීම දැන් ජනප්‍රිය වේගෙන යන නිසා උත්සව අවස්ථාවල ආහාර පිළියෙල කරන කොට පොඩි අවස්ථාවක් නිර්මාංශ අයටත් ලබා දෙනවා. ඒත් ආහාර නිතරම තෝරා බේරා කන්නට සිදු වීම වීගන් කෙනෙක් මුහුණපාන තදබල අභියෝගයක්.

 

7. ආහාර වේල් වල වෙනස්කම් සහ සෞඛ්‍යය

අපේ ආහාර වේල් ගතහොත් බත් ගොඩක් සහ එළවළු ටිකක් තමයි අපි කෑමට හුරු වෙලා ඉන්නේ. ඒත් නියම විදිහට පෝෂ්‍යදායී ආහාර වේලකදි නම් අපි බත් අඩුවෙනුත් එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ග වැඩියෙනුත් ආහාරයට ගත යුතු වෙනවා. පළතුරු කියන විට ඇපල්, මිදි, දොඩම් වැනි පොදු පළතුරු තමයි අපිට මතක් වෙන්නේ. ඒත් අපේ රටේ දැන් දැන් ජනප්‍රිය නැති ඒ කාලේ අපි ආහාරයට ගත් පළතුරු සහ ඇට වර්ග ගොඩාක් තියෙනවා. සහල් ගතහොත් විවිධ සහල් වර්ග වගේම කොස්, පොලොස්, දෙල් වැනි දේශීය ආහාර  වගේම අල වර්ගද අපි සතු වෙනවා. තල, කුරහන්, මෙනේරි වැනි ධාන්‍ය වලින් සාදන ධාන්‍ය ආහාරත් පුරාතනයේ ජනයා ආහාරයට එකතු කරගත්තා. අපි කීමට තුන්වේල බත් කෑ ජනතාවක් කියා කිව්වත්, අපිට මතක යුගයේ හේන් ගොවීන් පවා ඔවුන්ගේ එක වේලක් ධාන්‍ය වර්ග, ඇට වර්ග, එළවළු පළතුරු ආදියෙන් සප්පායම් වුණා. ඉතින් අපි මස්මාංශ ආහාර අඩු කරගෙන සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා නම් ඒ අපේ ආහාරයෙන් ඈත්වීගෙන යන ආහාර නැවත රසබැලීමට උත්සාහ කිරීම හොඳ පුරුද්දක්.

 

නිර්මාංශ වීම කියන්නේ කිසිසේත්ම නරක පුරුද්දක්, නරක අදහසක් නෙමෙයි. ඒත් අවබෝධයෙන්, කැපවීමෙන් නිර්මාංශ පිළිවෙත් අනුගමනය කළේ නැත්නම් සිරුරට අවශ්‍ය ඇතැම් පෝෂ්‍ය පදාර්ථ නොලැබී ගිහින් සිරුර දුර්වල වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා එකවරම නිර්මාංශ වෙන්නට හිතන්නෙ නැතිව කෙමෙන් කෙමෙන් අපි ආහාරයට ගන්නා ආහාර පාලනය කරගන්න සිතීම හැම අතින්ම වාසිදායක වෙනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *