ලංකාවේ වේදිකා නාට්‍ය කලාව කියන්නේ කලාත්මක අංශයෙන් වගේම ප්‍රාසාංගික අංශයෙනුත් ඉතාමත් දියුණු වුණු කලාවක්. නමුත් අවාසනාවකට වගේ අද වෙන කොට අපෙන් පස්සේ එන පරම්පරාවලට වේදිකාව කියන දේ ගැන එතරම් උනන්දුවක් නැහැ. මේක ඉතාමත් කණගාටුවට කරුණක්. මේ නිසා අපි හිතුවා ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ අයිකන් බවට පත් වෙච්ච චරිත කීපයක් ගැන කෙටි මතක් කිරීමක් ඔබට කරන්න.
1. මාලනී රණසිංහ
ලංකාවේ වේදිකා නාට්‍යයක රඟපෑම තුළින් ගිනස් වාර්තා පොතට ගිය ශිල්පිනියක් විදිහට මාලිනී රණසිංහ මහත්මිය හඳුන්වන්න පුළුවන්. එතුමිය සුප්පා දේවියගේ චරිතය රඟපාද්දි එතුමියගේ ස්වාමිපුරුෂයා වන ටෙරන්ස් රණසිංහ මහත්මයා එම නාට්‍යයෙම පොතේ ගුරු විදිහට රඟපෑවා. ඒ නිසා එකම වේදිකා නාට්‍යයක දීර්ඝ කාලයක්, හරියටම කිව්වොත් වසර තිස් දෙකක් එක දිගට චරිත දෙකක් රඟපාපු යුවළ විදිහට ඔවුන් දෙදෙනා ගිනස් වාර්තාවකට ගියා. සුප්පා දේවිය විදිහට එතුමියගේ රංගනය වගේම ගායනයත් අපේ ඒ වේදිකා නාට්‍ය වංශය තුළ අමරණීයයි.
2. මානෙල් ජයසේන
වර්තමාන පරම්පරාවේ වැඩිදෙනෙකු මානෙල් ජයසේන මහත්මියව හඳුනන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට වුණත්, ඇය හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ රඟපෑ ගෲෂාගේ චරිතය සහ කුවේණි වේදිකා නාට්‍යයේ රඟපෑ කුවේණිගේ චරිතය ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ කාන්තාවක් සිදු කරපු විශිෂ්ටතම රංගන විදිහට හඳුන්වන්න පුළුවන්. මේ නාට්‍ය දෙකම නිර්මාණය කරන්නේ ඇගේ සැමියා වුණු හෙන්රි ජයසේන. ඔහුගේ වේදිකා නාට්‍ය කටයුතු කිසිදු ගැටලුවකින් තොරව පවත්වා ගෙන යෑමට ඇය දැක්වූ සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු වෙනවා.
3. රත්මලී ගුණසේකර
සමහර විට ඔබට මතක ඇති මීට කාලෙකට කලින් ගජමන් නෝනා වගේ ඡායාරූපයක් කියලා එක්තරා ඡායාරූපයක් සමාජජාල තුළ හුවමාරු වුණා. ඇත්ත කතාව තමයි ගජමන් නෝනා ජීවත්වන කාලෙදී කැමරාවක් තියා කැමරාවක් ගැන ලෝකයේ කිසිම කෙනෙක් හිතලවත් තිබ්බේ නැහැ. ඒ ඡායාරූපයේ හිටියේ රත්මලී ගුණසේකර. ඇය දයානන්ද ගුණවර්ධන මහතාගේ “ගජමන් පුවත” වේදිකා නාට්‍යයේ ගජමන් නෝනාගේ චරිතය රඟපෑවා. ඇය මෙම නාට්‍ය තුළ සිදු කළ සාර්ථක රංගනය නිසා බොහෝ දෙනෙක් ඇයවත් ගජමන් නෝනා විදිහටයි හැඳින්වූවේ. අර අපි කලින් සඳහන් කරපු ඡායාරූපය නොමඟ යවන සුළු එකක් වුණත් එවැන්නක් නිර්මාණය කිරීමට පවා එක හේතුවක් වන්නට ඇත්තේ රත්මලී ගුණසේකර එම චරිතයට ඉටුකළ සාධාරණයයි.
4. ප්‍රදීපා ධර්මදාස
අද වෙනකොට අපි ප්‍රදීපා ධර්මදාස ගැන දන්නේ විශිෂ්ට ගායිකාවක් විදියට. ඇය තුළ ඉන්න අද්විතීය නිළිය ගැන අද පරම්පරාවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇය මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ තමන්ගෙ ගුරුවරියක වූ සෝමලතා සුබසිංහ මහත්මියගේ මග පෙන්වීම යටතේ “මුහුදු පුත්තු” වේදිකා නාට්‍යයෙන්. ඉන්පසුව ඇය සුබ සරණාගත, සක්විති නික්මන, මුහුණු දෙකක් වැනි වේදිකා නාට්‍යවල රඟපෑවා. බොහෝ විචාරකයන් මෙන්ම රසිකයින් ද ඇගේ විශිෂ්ටතම වේදිකා නාට්‍ය නිරූපණය ලෙස සළකන්නේ සත්‍යාංගනී වේදිකා නාට්‍යයේ ෂෙන්ටේ සහ ෂූටා ලෙස සිදු කළ ද්විත්ව රංගනයයි.
5. ප්‍රේමා ගනේගොඩ
ඇතැම් විචාරකයන් ඇයව සිංහල වේදිකාවේ රැජින ලෙස හඳුන්වනවා. ඇය පළමුවරට වේදිකාවට පිවිසෙන්නේ සුගතපාල ද සිල්වාගේ “තට්ටු ගෙවල්” තුළිනුයි. ඉන් පසුව ඇය ඔහුගේ බොහෝ නාට්‍යවලට නැතිවම බැරි නිළියක් බවට පත් වුණා. ඇගේ සැමියා වන ප්‍රිය විජය ෆොන්සේකා ඇයට වේදිකා නාට්‍ය රඟපෑම සඳහා සම්පූර්ණ නිදහස ලබා දී තිබුණත් ඇය අවසානයේ දී වේදිකාවට සමුදී ඔහු ඒවකට සේවය කරමින් සිටි එංගලන්තය බලා යාමට තීරණය කරනවා. නමුත් ඔවුන් දෙදෙනාම අද දක්වාම ලංකාවේ කලා ක්ෂේත්‍රය සමග සබඳතා පවත්වා ගෙන යනවා. වරක් ඇයට උපහාර උත්සවයකදී පිරිනමනු ලබන ලද මුදල් තිළිණයක් පවා ඇය විසින් නවක නළු නිළි යුවළකට ප්‍රදානය කිරීමට කටයුතු කළා.
6. සෝමලතා සුබසිංහ
ලංකාවේ වේදිකා නාට්‍ය නිර්මාණය කරල තියෙන්නෙ වැඩිවශයෙන්ම පිරිමි. හැබැයි සෝමලතා සුබසිංහ මේ ඒ ක්‍රමයට අභියෝග කරනවා. ඒ වගේම ඇය වේදිකාවට වගේම කලා ක්ෂේත්‍රයටත් සුවිශාල නව පරම්පරාවක් බිහි කරනවා. ඇය ගැන කතා කරද්දි මේ පූර්විකාව සඳහන් නොකරම බැහැ. ඒ වගේ ම නිළියක් විදිහට ගත්තොත් එහෙම ගුණසේන ගලප්පත්තිගේ “මුහුදු පුත්තු” නාට්‍යයේ සාරාගේ චරිතය ඇගේ රංගන ජීවිතයේ එක් සන්ධිස්ථානයක්. ඒ වගේම ඇය ගලප්පත්තිගේ ම තවත් නිර්මාණයක් වුණ ලියතඹරා, හෙන්රි ජයසේනගේ දිරිය මව සහ ඇගේ දරුවෝ ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු වැනි වේදිකා නාට්‍ය විශාල ගණනක රඟපෑවා.
7. මර්සි එදිරිසිංහ
මර්සි එදිරිසිංහව අපි බොහෝ දෙනෙක් හඳුනන්නේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පිනියක් විදිහට. නමුත් ඇය වේදිකාවේදී සුවිශාල පරාසයක වේදිකා නාට්‍ය සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම සුගතපාල ද සිල්වාගේ නාට්‍ය නිර්මාණ වන “දුන්න දුනුගමුවේ”, “හිත හොඳ අම්මණ්ඩි” වැනි නාට්‍යවල වගේම ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති” වේදිකා නාට්‍යයේ රඟපාමින් ඇය ගායනා කළ මඩේ ලගින තාරාවන් නාවන්නද මන් ගීතය අදටත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply