කෝවිඩ්-19 වැනි බෝ වන ලෙඩ පැතිරීම් පාලනයට තාක්ෂණය යොදාගත් හැටි

ඉතිහාසය ගත්තාම ව්‍යසන කියන දේ මිනිස්සුන්ට කොහොමටත් අලුත් දෙයක් නෙමෙයි. සාමාන්‍ය ව්‍යසනවලින් බොහෝවිට මිනිස්සුන් ගොඩක්, බොහොම කෙටි කාලයකින් විපතට පත්වෙනවා. භූමිකම්පා, ටෝනඩෝ, සුනාමි, ගිණි කඳු, දුම්රිය වාහන ගුවන් අනතුරු, ගංවතුර, නාය යෑම් වගේ දේවලදි අනතුර තියෙන්නේ සුළු කාල වෙලාවයි. ඉන් පසු එහි බලපෑම නිසා මිනිස්සුන්ට නොයක් දුක් ගැහැට ඇතිවෙනවා. ඒත් මේ වසංගත තත්ත්වයක් කියන්නේ ලෝකයේ මේ නූතන යුගයකට අලුත්ම මාදිලියක ව්‍යසනයක්. මේ හරහා ලෝකයම දැන් උඩු යටිකුරු වෙලා අවසානයි. ඉතින් එක පැත්තකින් ගත්තොත් දුම්රිය, ගුවන් ගමන් වගේ වේගවත් පරිවහන මාධ්‍ය වගේම මිනිසුන් රැසකට එකතැනකට එකවර එකතුවීමට තියෙන හැකියාව නිසා කොරෝනා පැතිරීම වේගවත් වුනා. ඒත් ඒ වගේම තාක්ෂණය අපිට උදව් කළ නිසා, කොරෝනා පැතිරුණත් එහි බලපෑම් සෑහෙන දුරකට අඩුකරගන්නත් අපට හැකි වුනා. 

 

1. ෆේක් නිවුස් මර්දනය කිරීම

කොරෝනා වෛරසය වැනි සමාජයටම වින කරන දෙයකදී තොරතුරු වැදගත් සාධකයක් වෙනවා. තොරතුරු මගින් ජනතාවට නිසි වේලාවට, නිසි කාලයේදී ක්‍රියාකරන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශන ලබා දෙනවා. එහෙත් බොරු ප්‍රවෘත්ති වලින් කරන්නේ විනාශයක්. අපේ රටෙත් ව්‍යාජ පුවත් පැතිරවීම නිසා කිහිප දෙනෙක්ට අත් අඩංගුවට පත් වෙන්නත් සිදු වෙලා තිබුනා. මේ ව්‍යාජ පුවත් පැතිරවීම විවිධ මට්ටම් වලින් ලොව පුරාම සිදුවුනා. ඒ නිසා කොවිඩ්-19 ගැන තොරතුරු ගන්න ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිය යොදාගන්න කියලා සෞඛ්‍ය සංවිධානය විසින්ම දිරිමත් කිරීම් කරලා තියෙනවා. අන්තර්ජාලයේ මේ ව්‍යාජ තොරතුරු මඩින්න ලෝක මට්ටමින් ගූග්ල්, යූ ටියුබ්, ටිව්ටර්, ෆේස්බුක් හරහාත් වැඩපිළිවෙළ දියත් වුනා. 

 

2. වෛරසය ගැන අධ්‍යයන කටයුතු කිරීම 

මේ වෛරසය ආපු මුල් කාලේ මේ වෛරසය කොරෝනා වෛරසයක් කියන සැකයක් විතරයි තිබුනේ. ඒ නිසාම හඳුනා නොගත් රෝගයක් නිසා මුල් කාලීන චීන සෞඛ්‍ය සේවකයින්ට කෝවිඩ් -19 දරුණු විදිහට වැළඳුනා. මේ වෛරස කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති, හරියටම ජීව කොටස්ද නැද්ද කියන්නත් බැරි වාහක විශේෂයක්. ඉතින් මේවා ගැන අධ්‍යයනය කරද්දි ඒ සම්බන්ධ විශාල දත්ත ප්‍රමාණයක් විවිධ මාන ඔස්සේ සලකා බලන්න සිද්ද වෙනවා. ඒ සඳහා චීනය සහ අනෙක් රටවල් සුපිරි පරිගණක වල සහාය ලබාගත්තා. ඒ තුළින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය, වර්ධනය සහ අවදානම් ස්වභාවයන් ගැන වඩාත් ඉක්මනින් ලෝකයට තොරතුරු ගන්නට හැකි වුනා. කොරෝනා වෛරසයේ පැතිරීම වගේම ඒ ඒ පරිසර තත්ත්වයන් යටතේ කොරෝනා පැතිරීම ගැනත් විශේෂඥයින් දත්ත එකතු කරමින් ඒවා සම්බන්ධ පර්යේෂණ කරගෙන යනවා. 

 

3. මැෂින් ලර්නින් හරහා ප්‍රතිකාර නිර්ණය කිරීම 

ඔබ අපි සියළු දෙනාම දන්නවා බැක්ටීරියා ආසාදන වලට වගේ නව කොරෝනා වලට කෙලින්ම බෙහෙතක් නැහැ කියලා. ඒත් ලෙඩ රෝග කිහිපයක් තියෙන අයට, වැඩිමහළු අයට සහ ප්‍රතිශක්තිය අඩු අයට මේ කොරෝනා රෝගය වැළඳීමේ අවදානම වැඩියි. කොරෝනා සැරට පැතිරුණ ඉතාලි, ස්පාඤ්ඤ, ස්විට්සර්ලන්ත ආදී රටවල  මේ රෝගය දැනට මධ්‍ය වශයෙන් වැළඳිලා තියෙන ප්‍රමාණය මිනිසුන් මිලියනයකට රෝගීන් දෙදාහකට වඩා අඩුයි. ඒ අනුව වසංගතය දරුණුම තැන්වල පවා සැලකිය යුතු පිරිසක් වෛරසයෙන් ගැලවිලා ඉන්නවා. ඒ වගේ අවස්ථාවල රෝගය වැළඳුණු අයට තියෙන අනෙක් රෝගාබාධ සහ වෙනත් රෝග ලක්ෂණ අඩු කරගන්න ඇන්ටිබයෝටික්ස් ආදිය කොවිඩ්-19 රෝගීන්ට නියම කරනවා. දැනට කොරෝනා ආසාධිතයින්ගේ තත්ත්වය සමනය කරන්නට යොදාගත හැකි ඔසු පිළිබඳව යාන්ත්‍රික බුද්ධිය ඔස්සේ පර්යේෂණ කරලා විසඳුම් ඉදිරිපත් කරමින් තියෙනවා. 

 

4. ටෙලිමෙඩිසින් 

ටෙලිමෙඩිසින් කියන්නේ අන්තර්ජාලය හරහා ලෙඩ බලලා බෙහෙත් නියම කරන ක්‍රමයක්. චීනයේ වූහාන් ලොක්ඩවුන් කරපු අවස්ථාවේ මුල් කාලේ ඒ පළාතේ රෝහල් පිරී ඉතිරී ගියා. ඒ නිසා කොරෝනා ආසාධිතයින්ට වගේම අනෙක් රෝගීන්ටත් බෙහෙත් හේත් ගන්න ඉස්පිරිතාල වලට යන්න හැටියක් නැති වුනා. ඒ අවස්ථාවේ වෙනත් පළාත් වලින් වූහාන් වලට සෞඛ්‍ය සේවකයින් ඇවිල්ලා ගෙයින් ගෙට ගොස් කොරෝනා රෝගීන් හඳුනාගන්න ක්‍රියා කළා වගේම, හඳුනාගත් වෙනත් රෝග තියෙන රෝගීන්ගේ නිතිපතා ගන්න බෙහෙත් මාත්‍රාවන් දිගුකරලා මාස දෙකකට බෙහෙත් දුන්නා. වෙනත් රෝග වලට දුරස්ථ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ බෙහෙත් නියම කරන්නත් හැකි වුනා. එතැනදී නිවෙස් කරා යන සෞඛ්‍ය සේවකයින්ට යම් ගැටළු පැන නැගුනහොත් එවෙලේම ඔවුන්ගේ ෆෝන් වල ඇති ඔන්ලයින් පද්ධති හරහා දොස්තරවරුන්ගෙන් උපදෙස් ගන්න හැකියාව තිබුණා. මේ ටෙලි මෙඩිසින් කියන්නෙත් වසංගත අවස්ථාවේ විවිධ මට්ටමින් රෝගීන්ට උපකාර වු යෙදවුමක්. මෙයින් පසුව මැඩ්රීඩ් නුවර ප්‍රාදේශීය බලධාරීන් රෝගීන් වෙනුවෙන් සහනය සැලසීමට ටෙලිමෙඩිසින් පාවිච්චි කරලා තිබුණා. 

 

5. කෑම බීම සහ ඇප්ස් 

චීනය තුළ වෛරසය මාසයක් දෙකක් ඇතුළත පාලනය කරගන්න ඔවුන්ට ඔන්ලයින් පහසුකම් ගොඩක් වැදගත් වුනා. ඔවුන්ගේ රටේදි කෑම බීම ඇනවුම් කරන්න මහජනතාව වැඩිවශයෙන් ඇප්ස් පාවිච්චි කළා. ගෙවීම් සඳහා මොබයිල් ඇප් චීනයේ වැඩිහිටි ප්‍රජාව පවා හරියට පාවිච්චි කරනවා. ලොක් කරපු කාල සීමාවේ මිනිස්සුන්ට අවශ්‍ය කරන සිල්ලර බඩු වගේම බේත් හේත්, පිසූ ආහාර වර්ග ආදියත් ගෙදරටම අවුලක් නැතිව ගෙන්වාගන්න වූහාන් ජනතාවට ඒ නිසා හැකි වුනා. මුදල් භාවිතයත් ඇප්වලින්ම සිදුවන නිසා හියුමන් කන්ටැක්ට්ස් නැතුව සම්පූර්ණයෙන් ගනුදෙනු නිමා කරන්න චීනයේදී පුළුවන් වුනා.  හැමෝම වගේ මොබයිල් ඇප් හරහා බැංකු පහසුකම් පාවිච්චි කරන විට රජයට වුවත් දුගී දුප්පත් ජනයාට සහන කටයුතු කරන්න වඩාත් පහසු වෙනවා. අපේ රටෙත් දැන් දැන් බොහෝ පිරිස් අතේ ස්මාට්ෆෝන් තියෙනවා. ඒත් ගෙවීම් කටයුතු සහ වෙනත් ඇනවුම් කිරීම් ආදියට ස්මාට්ෆෝනය බහුලව යොදාගන්නේ තවමත් නාගරික සුළුතරයක් පමණයි. ඉදිරියේදී මේ ගෙවීම් කටයුතු සහ බඩු බාහිරාදිය ඔන්ලයින් ඇනවුම් කිරීම ජනප්‍රිය කළොත් අපේ රටෙත් මීලග වෛරස අවස්ථාවකට හියුමන් කන්ටැක්ට්ස් අඩු වටපිටාවක සාර්ථකව මුහුණදෙන්නට හැකියාව මිනිස්සුන්ට ලැබේවි. 

 

6. තාක්ෂණය මගින් උපකරණ නිපදවාගැනීම 

අපේ රටේදිත් මැහුම් ගැන වැඩිමනක් දැනුමක් නැති අය පවා යූ ටියුබ් සහ වෙබ් වලින් බලාගෙන හැකි තරමින් මුහුණු ආවරණ මහගත්තා. එහි ඊළඟ මට්ටමට ගියොත් මේ කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කරද්දී රෝගීන් සියයට 10කට පමණ කෘතිම ශ්වසනය ලබාදෙන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ රෝගය පැතිරෙන වේගයෙන් නිෂ්පාදනය කරගැනීම රටවලට ගැටළුවක් වුණා. එහිදී අන්තර්ජාලය හරහා තාක්ෂණය හුවමාරු කරගනිමින් ඒ ඒ රටවලට තමුනගේ රටේදීම ත්‍රීඩි මොඩ්ලින් සහ වෙනත් ක්‍රමවේද හරහා මේ වෛද්‍ය උපකරණ සහ අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආදිය මහගන්න පුළුවන්කම ලැබුණා. ලෝකය කනෙක්ටඩ් නොවූ කලක නම් උපකරණ නිපදවා ගැනීම, ආරක්ෂිත ඇඳුම් නිපදවා ගැනීම මේ තරම් ලේසි වන්නේ නැහැ. ඒත් දැනුම ෂෙයාර්  කරගත හැකි ලෝකය වඩාත් ඉක්මනින් මේ කොරෝනා සඳහා ආයුධ වලින් සන්නද්ධ වුනා. 

 

7. සන්නිවේදන දියුණුව 

කොරෝනා නිසා මිනිස්සුන්ට ලෙඩේ හැදුනේ නැතත් පාළු තැනකට වෙලා සමාජයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ද වුනා. අපිට රැකියාවේ වැඩ තියෙන දවසට වගේම නිවාඩු දවසටත් මොකක් හෝ කරන්න වැඩක් යෙදිලා තියෙනවා. ඒත් මේ අලුත් කොරෝනා අවදානම එක්ක ලෝකේ ජනතාවගෙන් බහුතරයකට නිසි වැඩක් පලක් නැතිවම එකපාර ගෙදර නවතින්නට සිද්ද වුනා. සමහර අයට ඉතිරි වුනේ වර්ග මීටර කීපයක කාමර අවකාශයක් පමණයි. ඉතින් මේ අවස්ථාව කළමනාකරණය කරගන්න අන්තර්ජාලය සහ තාක්ෂණය උදව් වුනා. දුර බැහැර අයට වුනත් ස්කයිප්, වට්සැප්, ට්විටර්, ෆේස්බුක් දවසේ පැය කීපයක් හරි ගෙවාගන්න උදව් වුනා. යූ ටියුබ්, ටොරන්ට් හරහා වගේම කින්ඩ්ල් ඊබුක් හරහාත් තවත් අය දවස ගෙවාගත්තා. කෝවිඩ්-19 පැතිරීම එක්ක එහි අප්ඩේට් ලෝකේ වටේ මොහොතකින් ෂෙයාර් කරගන්න හැකිවුණා. ඒ ඒ අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ග ආදියත් ජනතාවට සන්නිවේදනය කරන්න නූතන තාක්ෂණය මිනිසුන්ට උපකාර වුනා. 

ව්‍යසනය දරුණු වෙන්න කලින් තාක්ෂණික දත්ත ඇසුරින් ඉක්මන් තීරණ ගත්ත රටවලට යම්තාක් දුරකට කොරෝනාවෙන් ගැලවෙන්න හැකි වුනා. අපේ රටට කොරෝනා වලින් දැඩි හානියක් උනේ නැහැ කියන්න අපි තවමත් කල් වැඩියි. ඒත් යම් අසතුටුදායක තත්ත්වයක් ඇතිවුනත් මීට වසර 50කට පෙර වෛරසයක් පැතිරෙද්දි තිබුන ලොකු හානිය දැන් වෙද්දි අඩුකරගන්න තාක්ෂණය අපිට බෙහෙවින් උදව් පදව් කරලා තියෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *