පෞරුෂත්වය වැඩිකරගන්න සාර්ථක ක්‍රම මෙන්න!

කෙනෙකුගේ පෞරුෂයක් කියල සරලවම කියන්නෙ ඒ පුදගලයාගේ සිතුම් පැතුම්, හැසිරීම සහ කතාබහ එහෙම එයාටම අනන්‍යව අනුගමනය කරන විදිහ. ඒ දේවල් සමාජයට පේන යහපත් මට්ටමකට පවත්වාගෙන යන කෙනෙක් දැක්කම අපි හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් කියලා වර්ණනා කරනවා වගේම ඒ දේවල් වල ගැටළු තියෙන කෙනෙක් දැක්කම ඒ කෙනාගෙ පෞරුෂයේ අඩුපාඩු ගැනත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ම කතා කරන්න පෙළඹෙනවා. 

ඒ විතරක් නෙමෙයි, මේ කියන විදිහේ හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්ව නිතර ආශ්‍රය කරන්න උනත් අපි හැමෝම ලොකු කැමැත්තක් දක්වනවනේ. ඉතින් බාහිර පෙනුමට වඩා දැනුමට, බුද්ධියට, ආකල්ප වලට මුල්තැන දෙන මේ වර්තමාන ලෝකයේ අපි අවට ඉන්න අයව ආකර්ෂණය කරගන්න මේ නිවැරදි පෞරුෂයක් පවත්වාගෙන යනව කියන එකත් හරිම වැදගත් කාරණයක්. ඉතින් රූපලාවන්‍ය ක්‍රම වලින් බාහිර පෙනුම හැඩකරගන්නව වගේම පෞරුෂය ගොඩනගා ගන්නත් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා.

 

1. හොඳින් සවන් දෙන්න

අනිත් අය කියන දේවල් වලට ඇහුම්කන් නොදී ඔහේ කියවන්නන් වාලේ කියවන කෙනෙක්නම් ඔබේ පෞරුෂය ගැන හොඳ ප්‍රතිරූපයක් කෙනෙකුට ඇතිවෙන්නෙ නැහැ. අනික් අය අතරේ කැපී පේන්නනම් කියවල හරියන්නෙ නැහැ. අහගෙන ඉන්න ඕන. ඒ වගේම අහගෙන ඉන්න එකෙත් එක එක විදි තියෙනවනේ. උත්තර දෙන්න අහගෙන ඉන්න එක තමයි දැන් හුඟක් අයගේ ක්‍රමය. හැමෝම දන්නෙත් ඒක විතරයි. ඒකනෙ දෙයක් කියල ඉවර වෙන්න කලින් ඒකට ප්‍රති උත්තර බඳින්නේ. හැබැයි ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. අපි ඇත්තටම අහගෙන ඉන්න ඕන උත්තර දෙන්න නෙමෙයි, කියන දේ තේරුම් ගන්නයි. හොඳින් සවන් දීලා තේරුම් ගන්න එක පෞරුෂය වැඩිකරගන්න එකේ මූලිකම පියවරක්.

 

2. හොඳ සන්නිවේදකයෙක් වෙන්න

ඊළඟට තමයි සන්නිවේදනය කරන්න ඕන. ඒ කියන්නෙ කියවන්නන් වාලේ කියවන්නෙ නැතුව හොඳින් අහන් ඉඳලා, තේරුම් අරගෙන ඊට පස්සේ තමාගේ අදහස් අනිත් අයත් එක්ක සන්නිවේදනය කරන්න ඕන. ඒ අහගෙන හිටපු දේවල් ගැන ඔයාට අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවනම් බය නැතුව ඒ අදහස් ප්‍රකාශ කරන්න ඕන. ඒක තමන්ගේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න වගේම අනිත් අයගේ අදහස් දැනගෙන දැනුම වැඩිකරගන්නත් ලොකු උදව්වක්. ඒ විදිහට අදහස් බෙදාගන්න ලැජ්ජාවක්, බයක් තියෙනවනම් Toastmasters Club වගේ එකකට සම්බන්ධ වෙලා ඒ සබකෝලය නැතිකරගන්න පුළුවන්.

 

3. යහපත් ආකල්පයක් දරන්න

ආකල්පය කියන්නෙ ජීවිතේ කොයිදේටත් ඉස්සර වෙන කාරණාවක්. හැම තිස්සෙම නෑ, බෑ කියාගත්ත, හැමදේකම වැරදිම දකින මිනිස්සු එක්ක කතාබහ කරන්නවත් කෙනෙක් කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා හැමවෙලාවෙම යහපත් ආකල්ප දරන්න. සුභවාදීව හිතන්න. ඒ ඔබේ සුභවාදී බව අනිත් අය එක්ක බෙදාගන්න. ඒ අයගේ ආකල්පත් යහපත් පැත්තට යොමුකරන්න. 

 

4. අවංක වන්න, අන්‍යයන්ට ගරුකරන්න

අපි නිතරම කියනවනෙ අනිත් කෙනාගෙ ගෞරවය ලබන්නනම් අපි මුලින්ම ඒ කෙනාට ගෞරව කරන්න ඕන කියලා. එක හරිම සරල කාරණයක්. ගෞරවය කියන්නෙ උපයාගන්න ඕන දෙයක්. අනිත් අයට විතරක් නෙමෙයි, ඔයාටම ගෞරව කරන්න පුරුදු වෙන්න. එතකොට තමයි සමාජයෙන් ඔබ බලාපොරොත්තුවෙන ගෞරවය මොකක්ද, ඒ  ගෞරවය උපයාගන්න කළ යුතු දේවල් මොනවද, හැසිරෙන්න ඕන කොහොමද කියන කාරණා ගැන තමන්ටම අදහසක් ඇතිවෙන්නෙ. ඒ වගේම හැම වෙලාවෙම තමන් කරන කියන, කතාබහ කරන දේ ගැන අවංක වෙන්න. නිකන් මූනිච්චාවට නෙමෙයි, හදවතින්ම අවංක වෙන්න. පුද්ගලයෙකුගේ පෞරුෂයෙන් ලොකූ කොටසක් අයිති වෙනවා ඔහුගේ හෝ ඇයගේ අවංකභාවයට.

 

5. කියවන්න

මේ කියවන්න කියන්නෙ ඔහේ දොඩන්නන් වාලේ වල්පල් කියවන එකටනම් නෙමෙයි. කියවනව කියන්නෙ පොතපත කියවන එකට. පුළුවන් තරම් පොත පත ආශ්‍රය කරන්න. කියවීම සම්පූර්ණ මිනිසෙක් බිහිකරයි කියල කතාවටත් කියනවනෙ. සමාජයේ අනිත් අය එක්ක ගැටිලා ගනුදෙනු කරද්දි පොතපතෙන් ලබාගන්න දැනුම හුඟක් වෙලාවට හරිම ප්‍රයෝජනවත්. පොත පතත් එක්ක යහළු අයට මිනිස්සු යහළු කරගන්නවා කියන්නේ හරිම සරල කාරණාවක්. පිරිසක් අතරේ ඉන්නකොට තමන් ළඟ බෙදාගන්න දැනුම තියෙනවා, බය නැතුව කතා කරන්න කරුණු තියෙනවා කියන්නේ ඒකම පෞරුෂයට ලොකු අගයක් එකතු කරන කාරණාවක්. 

 

6. තමන්ගේම මතයක් දරන්න

කිසිම දෙයක් ගැන කිසිම මතයක් නැති, ඔහේ ඉපදුනාට වගේ ජීවිතේ ගෙවන කෙනෙක්ට සමාජයේ අනිත් අය අතරේ තැනක් හදාගන්න එකනම් හිතන්නවත් බැරි දෙයක්. කලින් කිව්ව වගේ පොතපත කියවලා, සමාජයේ මිනිස්සු ආශ්‍රය කරලා, අලුත් දේ හොයා බලලා හැමදෙයක් ගැනම තමන්ටම කියල මතයක් ගොඩනගාගන්න ඕන. ඒ කියන්නෙ කලාව, දේශපාලනය, රටතොට ගැන තමන්ගේම අදහස් තියෙන්න ඕන. කිසිම මතයක් නැති ඒ වගේම අම්ම, තාත්තා, එක්කෝ සැමියා බිරිඳ කියනවට ඒ මතයම දරණ කෙනෙකුට තමන්ගේම කියල පෞරුෂයක් ගොඩනගාගන්න එක හීනයක්. 

 

7. තමාම වන්න

මේක සෘජුවම සම්බන්ධ වෙනවා කලින් කියපු කාරණාවත් එක්ක. තමන්ට කියල ආවේණික කිසිම අදහසක් නොදරන, වෙන කෙනෙකුගේ අදහස් ඔලුවේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් කියන්නේ තමන්ට කියලා පෞරුෂයක් තියා අනන්‍යතාවයක්වත් නැති කෙනෙක්. ඉතින් ඒකයි කියන්නේ be yourself, ඒ කියන්නේ තමන්ම වෙන්න කියල. සමාජයේ ජීවත් වෙනකොට තමන්ගේ අදහස් නොගැලපෙන තැන් තියෙන්න පුළුවන්. එහෙම තැන්වලට ගැලපෙන්න අදහස් වෙනස් කරන එක, එයාල අතරේ පිළිගැනීමක් ලබන්න වගේ එයාල කියන ඕන දෙයක් පිළිඅරගෙන ඉන්න එක යහපත් පෞරුෂයක් තියෙන පුද්ගලයෙකුට ගැලපෙන කාරණයක් නෙමෙයි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *