දැන් පොඩි උන් කින්ඩර්ජෝයිවලින් සැනහුනාට මොකද ඉස්සර අම්ම කඩේට ගිහින් වයින් බිස්කට් අරං එනකං බලාගෙන හිටපු අතීතයක් අනූව දශකෙ පුංචි ළමයි විදියට හිටපු අපිට තිබුනා. ඒ ගැන මතක් කරද්දිත් හිතට එන්නෙ අමුතුම කික් එකක් මික්ස් වෙච්ච සතුටක් නිසා තමයි අපි ඒ ගැන ලියන්න හිතුවෙ. ඒ නිසා ඔයාලගෙත් රසබර මතකයන් තියෙනවනං අපිත් එක්ක බෙදාගන්න.
1. බිස්කට් වෙනස් – මල් සහ වයින්
හැමදාම දකින්න තියෙන මාරි බටයක් පිටින් සාක්කුවෙ දාගෙන හිටපු අතීතෙ බිස්කට් ගැන විශේෂ උනන්දුවක් ඇතිවෙන්නෙ ඉතිං විශේෂ බිස්කට් එකක් ලැබුණු දාට තමයි. කන එකේ මහ ගොඩක් කන්න හම්බෙන, අමුතුම කික් එකක් තියෙන මේ බිස්කට් දෙක ඒ නිසා අමතක කරන්නම බෑ. ඒ තමයි මල් බිස්කට් සහ වයින් බිස්කට්. ජෙම් බිස්කට් එකට උඩින් අයිසින් මලක් තියපු මල් බිස්කට් එක කන විදි ගොඩක් තිබ්බ. එකක් ගානෙ, අහුරු ගානෙ, මල මුලින් කාලා බිස්කට් පස්සෙ, බිස්කට් මුලින් කාලා මල් පස්සෙ කනව වගේ විධික්‍රමවලට අපි මල් බිස්කට් කෑව. වයින් බිස්කට්නං හැමතැනම තිබුනෙ නෑ. ඉස්සර රසම වයින් බිස්කට් තිබුනෙ බොරැල්ලෙ. දැන් ඒ කඩ පේළියවත් නැහැ. ඒත් තාමත් මතක් උනාම දිවට රස දැනෙන විදිහේ අමුතු කික් එකක් ඒ වයින් බිස්කට් එකේ තිබුනා. ඒ අතරෙ කර වෙච්ච වයින් බිස්කට් වගේම හරියට බේක් නොවුණු, සුදට හුරු, කිරි රස වයින් බිස්කටුත් තිබුනා.
2. උණු රෝස්පාන්
දැන් චූන් පාන් ත්‍රීවීලරෙන් ලැබෙන්නෙ ගොඩක් වෙලාවට හං වෙච්ච රෝස් පාන්. ඒත් පත්තර කොළේ ඔතලා දුන්නම අරං එන්න බැරි තරං අත පිච්චෙන උණු උණු රෝස් පාන් පුදුම හදිස්සියකින් ගෙදර අරං ආපු අපි, නොඉවසිල්ලෙන් විඳපු රස ගැනනං මතක් කරද්දිත් කටට කෙළ උනනවා. උණු රෝස් පාන් කන විදි ගොඩක් තිබුනා. උලුප්පපු පොල් කෑල්ලක් එක්ක, ප්ලේන්ටියක පොඟවගෙන, බටර් එක්ක, දවාලෙ ඉතුරු කරෝල හෝ වෙනිං හොද්දක් එක්ක වගේම මොකුත්ම නැත්තං නිකංම කන්න උනත් පුළුවන් තරමෙ රසක් ඒ රෝස් පාන්වලට තිබුනා. කොටිම්ම පෙති පාන්වල වාටි නොකන පොඩි උනුත් රෝස් පාන් වාටි ඉල්ල ඉල්ල කෑව.
3. ගල් බනිස්
ගල් බනිසට ගල් බනිස් කිවුවෙ පෙනුම ගලක් වගේ නිසා මිසක් රස අඩු හින්දාවත්, හයිය නිසාවත් නෙමෙයි. තාමත් ඉඳලා හිටලා ගමේ කඩේක ගල් බනිසක් දැක්කම වාහනේක යද්දි වුනත් දෙපාරක් හැරිලා බලන්නෙ කිරි තේකට පෙඟවිච්ච ගල් බනිස් කුට්ටියක මිහිර හිතෙන් දුරස් වෙලා නැති නිසා. ලාවට ඉදීගෙන එන ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්ක වුනත් තලු මර මර ගිලින්න පුළුවන් ගල් බනිස් කද්දි අම්මලා බැනපු එකම හේතුව තමයි කටින් දාපු චවු චවු සද්දෙ. ඇයි ඉතිං පෙරේතකමට කටේ පුරව ගත්තට හපාගන්න බැහැනෙ.
4. බුල්ටො
තාමත් සමහර වෙලාවට කඩවල බුල්ටො තිබ්බට ඒ බුල්ටොවල තියෙන්නෙ අමුතුම කර වෙච්ච සීනි රසක්. ඒ වුනත් දතට හිරකරගෙන දිවෙන් නවන්න පුළුවන්, රසම පැණි රහකින් මුළු කටම පිරෙන, මැච් දෙක තුනක් ගහනකම්ම කට ඇතුළෙ දඟ කරන බුල්ටො අතීතයක් අපිට තිබුනා. කොටිම්ම රෑට බත් කද්දිත් බුල්ටො රස දිවට දැනෙන්නෙ, දත් අස්සෙ බුල්ටො පැණි රැඳිලා තිබ්බ නිසා.
5. නාරං බික්
රතු පාටයි, තැඹිලි පාටයි නාරං පළුවක් වගේ හැඩේට හදපු ටොෆිය අයිසින් ෂුගර්වල බස්සල තිබ්බෙ. කඩේට එන නාරං බික් බෝතලේ අඩියෙ ඉතුරු වෙන සීනි ටික ඉල්ල ගන්න මුදලාලි එක්ක පොරේ ඒ කාලෙ. මුදලාලිගෙ පුතා අපිත් එක්ක ක්‍රිකට් ගහපු නිසා අපිට හවසට ඒ සීනි ලෙවකන්න චාන්ස් එක ලැබුනා. නාරං බික්වල තියෙනව නාරං පළුවෙ හැඩේ ගන්න හදපු නහර. ඕවට දිව මැදෙනව කිසිම කෑමක රස දරාගන්න අමාරු තරමට. එහෙමයි කියල අපි තවතවත් නාරං බික් කන එක නැවැත්තුවද මිත්‍රවරුණි? නෑ. නෑ…
6. චොකලට් බෝල
දැන් ඔය පැකට් එකේ තියෙන ඒව තරං රස නැතත්, ඉස්සර පත්තර කොළේට ඔතලා ගන්න හම්බුණු කජු ඇටයක් මැද තිබුණු චොකලට් බෝලෙ අමුතු කික් එකක් තිබුන. පස්සෙ කාලෙක ඕකෙ මැද ඩෙසිකේටඩ් කොකනට් දාලා ආව. ඊටත් පස්සෙ දුඹුරු පාට චොකලට් බෝලෙ තැඹිලි පාට කරලත් ආවා. හැම එකටම තිබ්බා වෙනස් රසක්. මහා රසක් නොවුනත් මුළු පුංචි කාලෙම ආයෙ ආයෙත් මතක් කරවන රසක්.
7. පරණ අයිස් පළම
බීම පැකට් තාමත් පොඩි කඩවල තිබුනට අපි මේ කියන අයිස් පලම නං හොයාගන්න නෑ. රුපියලට, දෙකට, පහට තිබුණු, දිවුල් රස දුඹුරු පාට කේතුවක උලට තියෙන කෑල්ල කපලා දාපු හැඩයක් තියෙන අයිස් පළම තරං ආතල් එකක් ඒ දවස්වල තවත් නෑ. ඔවුව හදන්නෙ මඩ වතුරෙන් කිවුව. ඔවුවට දත් පණුවො කනව කිවුව. මාලු කල්තියන්න දාන අයිස් විසිකරන්නෙ නැතුව ඕව හදනව කිවුව. ඒත් අපි නොකා හිටියද? නෑ මිත්‍රවරුණි. කෑව දිගටම. දැන් තිබ්බොත් දැනුත් කනව. ඔවු!
Cover Image Source – youtube.com
Leave a Reply