පුත්තලම කල්පිටි පැත්තෙ යනවනම් අනිවාර්යෙන්ම බලන්න ඕනෙ තැන් 7ක්

නිවාඩුවට එක එක අය ට්‍රිප් ප්ලෑන් කරනවනේ. ඒ වගේම අපේ කට්ටිය කොහෙ හරි පැත්තක් සිලෙක්ට් කරලා එහෙ ගිහිල්ලා එනකොට එහෙ තියෙන බලන්න ඕනෙ දේවල් ඔක්කොම බලලා එනවද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසාම අපි හදන්නේ ලංකාවේ කොහෙ හරි ප්‍රදේශයක් ගත්තම ඒ පැත්තෙ තියන ඔක්කොම තැන් එක තැනකට ගෙනල්ලා ලියන්න. ඒක ට්‍රැවලින් කරන්න ආස ඔයාලටත් ලේසී නේද? අද අපි ගියෙ පුත්තලම පැත්තට.

 

1. තලවිල පල්ලිය

Image Source – tripazing.com

පුත්තලම පාලවි හන්දියෙන් හැරිලා කල්පිටිය පැත්තට යනකොට තමා තලවිල පල්ලිය හමුවෙන්නෙ. ලාංකීය කතෝලික ජනතාවගෙ මෙන්ම බෞද්ධයන්ගේත් ජනාදරයට පාත්‍ර උන තැනක් තමයි මේ. මේ සිද්ධස්ථානය වසර සිය ගණනක් පැරණි, හාස්කම් සිදුවෙනවායි කියන තැනක්. කතෝලික ජනතාව නම් වාර්ෂිකව වන්දනා කරන තැනක් තමයි මේ. මේ පල්ලියේ ලොකු මංගල්ලයට ලංකාවෙ හැම පැත්තකින්ම සෙනග එනවා. එයාලා ඇවිල්ලා කූඩාරම් ගහගෙන සති ගණන් ඉඳලා තමා යන්නෙ. මාර්තු හා අගෝස්තු මාස වල යෙදෙන මංගල්ලය ඒ ප්‍රදේශයේ ජනතාවට ගොඩක් සුවිශේෂී වෙනවා. ඒ කියන්නෙ නන් දෙසින් එම ජනකායට නවාතැන් දෙන්න, එයාලගෙ දේවල් අලෙවි කරගන්න වගේ වාසි රැසක් ඒ අයට ලබාගන්න පුළුවන් නිසා. ඒ වගේම තලවිල පල්ලියට යාබදව තියෙන සුන්දර මුහුදු වෙරළත් ගොඩක් අයගෙ හිත් ගත්ත තැනක්. මේ වෙරළේ කෙළවරටම වෙන්න ලයිට් හවුස් එකකුත් තියෙනවා.

 

2. කල්පිටිය කළපු සවාරි

කල්පිටි යන අය ඉතින් විශේෂයෙන්ම ඒ පැත්තෙ කරක් ගහන්නෙ එක්කො කරෝල ගේන්න, නැත්තන් කළපු සවාරියක් යන්නනෙ. හැබැයි ඉතින් එහෙ ගිහින් එහෙම සවාරියක් නොයා හිටියොත් ගමනෙනුත් ඇති වැඩක් නෑනෙ. බෝට්ටුවක නැගලා කලපුව වටේම ගිහින් දන්න කියන මාළු වර්ග ඇතුළුව නොදන්න මාළු ගොඩකුත් බලාගෙන එන ගමන් කල්පිටි කරෝල ටිකකුත් අරන් එන්න තියනවනම් නියමයි නේද? ඒවටම වෙන් උන බෝට්ටු තියනවා. මිලක් ගෙවලා අරන් අපිට ඕනෙ නම් එහෙම සවාරියක් ගිහින් එන්න පුළුවන්. ඒ වගේම  කරෝල වාඩි වලින් කරෝල අඩු මිලට ලබාගන්න, කල්පිටි අර්ධද්වීපයේ පොඩ්ඩක් ඇවිදලා විවේකයක් ගන්න ආස අය එන්න ඕනෙ ඉතින් ඒ පැත්තට තමා.

 

3. ආලන්කුඩා බීච්

වයඹදිග වෙරළ තීරයේ කල්පිටිය අර්ධද්වීපයේ තියෙන මේ බීච් එක මෑතකදි ජනතාවට විවෘත කරලා තියෙන්නෙ. මේ වෙරළට ගොඩක් අය ඇදී එන්නෙ තල්මස්සු බලන්න වගේම ඩොල්ෆින්ලා බලන්නත් එක්ක. ඒ වගේම සර්ෆින්, සේලින්ග්, වින්ඩ්සර්ෆින්, කැනොයින් වගේ ජල ක්‍රීඩා රැසකට ජනප්‍රිය උන තැනක්. ආලන්කුඩා එන කොයි කාටත් මේ වගේ තව ලස්සන තැන් ගොඩක් බලාගෙන යන්න පුළුවන්. ඒ අතරින් විල්පත්තුව වනෝද්‍යානය විශේෂ තැනක් ගන්නවා. ආලන්කුඩා වල ඉඳලා විල්පත්තුවට තියෙන්නෙ පැයක වගේ ගමනක්.

 

4. මුන්නේශ්වරම් කෝවිල – හලාවත

හලාවත පැත්තෙ තියන ප්‍රසිද්ධම හින්දු කෝවිලක් තමයි මේ. ක්‍රි.ව.1000 වෙනි සියවසේ ඉඳල පැවත එන මේ කෝවිල හින්දු වගේම බෞද්ධ බැතිමතුන් වන්දනා කරන තැනක්. ශිව දෙවියන්ට කැපකළා යැයි සැළකෙන මේ කෝවිලට දිනපතා වන්දනාවට සෑහෙන පිරිසක් එනවා. බෞද්ධ විහාරස්ථානයක් ඇතුළු විහාර සංකීර්ණයක් මෙහි ඇතුළත් වෙනවා. ඒ වගේම මේ කෝවිලේ ගනේශ්, අයියනායක හා කාලි යන දෙවිවරු වැඩම කරනවා කියලයි වන්දනා කරන අයගෙ විශ්වාසය. පුත්තලම පැත්තෙ සිංහල හා දෙමළ ජාතීන් මිශ්‍රව පදිංචි වෙලා ඉන්න දෙමළ පත්තුව කියන පැත්තෙ තමයි මේ කෝවිල තියෙන්නෙ. පෘතුගීසින් විසින් දෙපාරක්ම මේ කෝවිල විනාශ කළත් ඒකට ආයෙ නැගී හිටින්න පුළුවන් උනේ ඒක වන්දනාමාන කරන බැතිමතුන්ගෙම දායකත්වයෙන් තමා.

 

5. ආනවිලුන්දාව කුරුළු පාරාදීසය

පුත්තලම හලාවත අතර තියෙන ලස්සනම පාක් එකක් තමයි මේ. වෙනස්ම පරිසර රටාවන් තුනක් එකට ගැටෙන පරිසරයක තමයි මේ කුරුළු පාරාදීසය පිහිටලා තියෙන්නෙ. වෙරළට මායිම් වෙලා තිබුනත් කඩොලාන හා මිරිදිය ජලාශ ආශ්‍රිතව තමා මේක පිහිටලා තියෙන්නෙ. සංක්‍රමණික පක්ෂීන්ගේ වගේම දේශීය පක්ෂී විශේෂ 150ක් විතර මේකේ අපිට බලාගන්න පුළුවන්. සංක්‍රමණික පක්ෂීන් බලාගන්න නම් යන්න ඕනේ ඔක්තොම්බර් – අප්‍රේල් අතර කාලේ. ඒ වගේම මේ අභය භූමිය පුරාවට වඳවෙමින් තිබෙන ශාක විශේෂ 5ක් හා සමනල්ලු විශේෂ 74ක් විතර බලාගන්න පුළුවන්. සෆාරි යනවනම් අමතර ගාණක් ගෙවලා යන්න පුළුවන්. ඩේ අවුට් එකකටනම් කියාපුම ප්ලේස් එකක් තමයි මේ.

 

6. කල්පිටිය බලකොටුව

Image Source – en.wikipedia.org

කල්පිටියෙ යනවනම් ඉතින් මේ තැනට නොයන කෙනෙක් නැතුව ඇති. අතීතයේ අරාබි වෙළෙන්දන්ගේ ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ. 1667දී ඉදිකළා කියලා සැලකෙන මේ බලකොටුව ලංදේසි පාලන සමයේ වැදගත් තැනක් ගත් ස්ථානයක්. පුත්තලම අවට ප්‍රදේශයේ තිබුණු කුරුඳු වගාව නිසාම ලංදේසීන් විසින් මීගමුව හරහා කොළඹට කුරුඳු ප්‍රවාහනය කරන්න කල්පිටියේ ඉඳලා ඇලක් හදලා තිබුණා. කල්පිටිය කොටුවේ කොන් හතරෙහිම ආරක්ෂක මුරපොළවල් තිබුණයැයි සාක්ෂි අදටත් දකින්න පුළුවන්. ඒ වගේම මේ කොටුවෙ තියෙන විශේෂත්වය වෙන්නෙ බලකොටුවෙන් එළියට එන්න උමං මාර්ග 2ක් පිහිටා තිබීමයි. මෙච්චර විස්තර කරන එකේ ගිහින්ම බලන්නකො එතන්ට.

 

7. විල්පත්තුව ජාතික වනෝද්‍යානය

Image Source – hanklee.net

ලංකාවේ වනෝද්‍යාන අතරින් විශේෂ තැනක් ගන්න මේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1317ක් වගේ කියලා තමා සඳහන් වෙන්නෙ. ස්වභාවික විල්, විල්ලු හා තැනිතලා වලින් සමන්විත සුන්දර තැනක් තමයි මේ. විල්පත්තු කැලේ සෆාරි යන්න නම් එහෙ යන අය අමතක කරන්නෙ නෑ. පුත්තලමේ ඉඳලා කිලෝමීටර 26ක් උතුරු පැත්තට වෙන්න තමයි මේ වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ. වර්තමාන වෙනකොට නම් සමහර දේශපාලකයොන්ගෙ දුර්වලතා නිසා ජනාවාස ආරම්භ කරන්න කැළේ කපමින් ඉන්නෙ. විශාල වශයෙන් විල්ලු හිඳිලා ගිහින් වැව් වල ජලය නැතිවෙලා ගිහින්. සත්තු මැරෙන තත්ත්වෙට පවා දැන් පත්වෙලා තියෙන්නෙ කියලා කියන්න වෙන්නෙ හරිම දුකෙන්. ලංකාවෙ දකින්න පුළුවන් දුර්ලභ සතුන් විශාල ප්‍රමාණයක් විල්පත්තුවෙ ඉන්නවා.1988 ඉඳලා 2003 වෙනකල්ම යුද්ධය නිසා වහලා තිබුණු මේ වනෝද්‍යානය දැන් දිනපතාම ජනතාවට විවෘතයි. උදේ 6 ඉඳලා හවස 6 වෙනකල් ඕනම වෙලාවක පාක් එක බලන්න යන්න පුළුවන්. ඒ වගේම පෙබරවාරි – ඔක්තොම්බර් කාලය ඇතුළත පාක් එක විසිට් කරන්න එන අය ගොඩක් වැඩියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *