ඇස්ටරොයිඩ අපිට පාලනය කරගන්න පුළුවන්ද?

ලෝක විනාසය වෙන්නට පුළුවන් එක් හේතුවක් තමයි පෘථිවියට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටීම. පොඩි ග්‍රහක කැබැල්ලක් නම් පෘථිවි වායුගෝලය මගින් එය විනාශ වෙනවා. ඒත් විශාල එකක් නම් මිහිමත ජීවය පවා ඇස්ටරොයිඩ ගැටීමකින් වඳ වෙලාම යන්නට හැකියි. මේ නිසාම ඇස්ටරොයිඩ ගැන තාරකා විද්‍යාඥයින් නිරන්තර නිරීක්ෂණ, පරීක්ෂණ, ගණනය කිරීම් කරනවා.

 

1. ඇස්ටරොයිඩයක් වැටුණොත්?

2020 දෙසැම්බර් මුලදි ජපානයේ හයාබුසා යානාව ඇස්ටරොයිඩයක සාම්පල් පස් ටිකක් අරං පෘථිවියට ආවා. වසර දාස් ගාණක් තිස්සේ මිනිස්සු ඇස්ටරොයිඩ අහසේ තියෙනවා, කඩා වැටෙනවා දකින්න ඇති. ඒත් මුලින්ම පෘථිවියෙන් පිටත තිබුණ ඇස්ටරොයිඩයකට ගොඩබාලා, ඒකේ සාම්පල් අරගෙන එන්න සමත් වුණේ මේ හයාබුසා මෙහෙයුම. මේ එක්ක ඇස්ටරොයිඩ ගැන තියෙන කතාබහ ආයෙත් අලුත් වුණා. අභ්‍යාවකාශයේ විවිධ කක්ෂවල සැරිසරන මේ ඇස්ටරොයිඩ පෘථිවියට වැටුණොත් එයින් ලෝක විනාසය වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පෘථිවියට එන්න පුළුවන් සැකකටයුතු ඇස්ටරොයිඩ ගැන දියුණු රටවල අභ්‍යාවකාශ ගවේෂකයින් නිතරම අවධානයෙන් ඉන්නවා.

 

2. ඩයිනෝසෝර වඳවීම

මිහිමතින් ඩයිනෝසෝරයන් වඳ වීමට මූලික හේතුවක් විදිහට මේ ඇස්ටෙරොයිඩ කඩා වැටීම දැක්වෙනවා. මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසෝරයින් මිහිමතින් වඳ වුණ ආකාරය තවත් ප්‍රශ්නයක්. පෘථිවිය මත එක්තරා යුගයක් නියෝජනය කළ ඩයිනෝසෝර යුගය සම්පූර්ණයෙන්ම අවසාන කරන්නට එදා ඒ කඩාවැටුණු මහා ඇස්ටරොයිඩය හේතු වන්නට ඇති. ඇමරිකාවේ නෝත් ඩැකෝටා වලින් හමුවූ ඩයිනෝ ෆොසිල මත තුනී වීදුරු තට්ටුවක් තියෙනවා. එසේ ඒ ස්ඵටික තට්ටුවක් ඇතිවෙන්නට හේතුව ඇස්ටරොයිඩ කඩාවැටීමෙන් සිදුවූ බලපෑම බවට විශ්වාස කරනවා. මෙම එදා පතිත වූ ඇස්ටරොයිඩය කිලෝමීටර 12ක තරම් විශාලතර වූ බවත්, එහි කැබලි කිලෝමීටර සිය දහස් ගණන් දුරට විසිවූ බවත් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව මෙම ඇස්ටරොයිඩය පතිත වී තිබෙන්නේ මෙක්සිකෝවේ ගල්ෆ් ප්‍රදේශයට වෙනවා.

 

3. අවදානම් ඇස්ටරොයිඩ

ඇස්ටරොයිඩ කුඩා කුඩා ප්‍රමාණයේ ඒවා උල්කාපාත වර්ෂා ලෙස පෘථිවියට පතිත වෙනවා. විශාල ප්‍රමාණයේ ඇස්ටරොයිඩ කියා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් මීටර 150කට වඩා විශාල ඇස්ටරොයිඩයි. එවැන්නක් සුනු විසුණු කර, අවදානම අඩු කරන්නට අපේ පෘථිවි වායුගෝලයට පුළුවන් කමක් නැහැ. පෘථිවියට එන්නට මත්තෙන් බෘහස්පති වැනි ග්‍රහලොවක ගුරුත්වයට හසුව ඇස්ටරොයිඩ විනාශ වෙලා යන්නට පුළුවන්.

 

4. ඇස්ටරොයිඩ මර්දනය

පෘථිවියට පැමිණෙන්නට නියමිත ඇස්ටරොයිඩ කලින් හඳුනාගැනීමට පරීක්ෂණ කරනව වගේම ඇස්ටරොයිඩයක් ආවොත් කරන්නේ මොකද්ද කියන එක ගැනත් පර්යේෂකයින් මත පළ කරලා තියෙනවා. ඇස්ටරොයිඩයකට න්‍යෂ්ටික අවි හෝ රොකට් ප්‍රහාර එල්ල කර බිඳ හෙළීම එක විකල්පයක්. එයින් ඇස්ටරොයිඩය එන මාවත වෙනස් වී පෘථිවිය හැර ගියොත් හොඳයි. එහෙත් වේගයෙන් එන වස්තුව පිපුරුවත් නැවත එකතු වී ඇදී එන්නට අවදානමක් තිබෙනවා. එසේම පැමිණෙන ඇස්ටරොයිඩයට විශාල යානාවක් යවා ඒ මගින් ලබාදෙන බලයකින් ඇස්ටරොයිඩ පථය වෙනස් කිරීම එක් අදහසක්. තවමත් ඒ අදහස ක්‍රියාත්මක කරන්නට තරම් තාක්ෂණය දියුණු නැහැ. ඒත් දියුණු වූ කලක එය හොඳ අදහසක් බවට මත පළ වී තිබෙනවා.

 

5. ඇස්ටරොයිඩ සොයා යෑම

දැනට ඉලෙක්ට්‍රොනික තාක්ෂණික මෙවලම් හදන්නට වැදගත් වන වටිනා ලෝහ වර්ග පෘථිවි පෘෂ්ඨය තුළ සොයාගන්නට අඩුයි. සොයාගත්තත් ඒවා නිස්සාරණය කරන්නට ලොකු වියදමක් යනවා. අනෙක් පසින් පෘථිවියේ සාගර පතුල තුළ ඇතැම් මූලද්‍රව්‍ය ඛනිජ වර්ග තිබුණත්, ඒවා ගවේෂණය කරන්නට ලොකු වියදමක් යනවා. ඒ නිසා ඇස්ටරොයිඩ වල සාරවත් ඛනිජ සහ ලෝහ වර්ග පෘථිවියට ලබාගන්නට හැකිනම් හොඳයි. ඒත් කොහොමද ඇස්ටරොයිඩ වලට යන්නේ? රොකට් ගුවන්ගත කරලා ඒවයින් යානාවන් ඇස්ටරොයිඩ වලට බස්සලා, නැවත පෘථිවියට ගෙන්නන්න ලොකු වියදමක් යනවා. ඒත් ස්පේස් එක්ස් වගේ වැඩසටහන් නිසා අභ්‍යාවාකාශ බඩු ලෝඩ් එකක් එහා මෙහා කරන්න යන වියදම අඩු වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේ ඇස්ටරොයිඩ කැණීම් වලින් ලබාගන්නා ඛනිජ ලබාගන්න වැඩසටහන් ක්‍රියාත්මක වේවි.

 

6. පෘථිවියට ආසන්න ඇස්ටරොයිඩ

අප සෞරග්‍රහ මණ්ඩලයේ කක්ෂවල පෘථිවියට වින කළ හැකි යැයි සැක කරන්න පුළුවන් මට්ටමේ ඇස්ටරොයිඩ 20,000කට වඩා තිබෙනවා. ඊට අමතරව තවත් අපේ හිරුගෙන් එපිට තිබෙන ඇස්ටරොයිඩ පවා අපි වෙත පැමිණීමේ අවදානමක් තිබෙනවා. මේ සියල්ල ගැන තාරකා විද්‍යාඥයින් හොඳ අවධානයෙන් ඉන්නේ. සුවිශාල දුරේක්ෂ තනන්නට ඩොලර් මිලියන ගණන් මුදල් වියදම් වෙනවා. ඒත් අනාගත ඇස්ටරොයිඩ අවදානම හඳුනාගන්න මේ දුරේක්ෂ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා.

 

7. හොරෙන් එන්නට පුළුවන් ඇස්ටරොයිඩ

2019 ජූලි මසදි ඇස්ටරොයිඩයක් පෘථිවියට ආසන්නයෙන් ගිය අතර එය විද්‍යාඥයින් හඳුනාගෙන තිබුණේ නැහැ. එය පෘථිවියේ වැදුණි නම් හිරෝෂිමා න්‍යෂ්ටික පිපිරීම මෙන් 30 ගුණයක ශක්තියක් නිකුත් වීමට හැකියාව තිබුණා. එම ඇස්ටරොයිඩය මීටර 57 – 130 අතර තරම් විශාල වූ එකක් වුණා. විද්‍යාඥයින් නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටියත් මෙවැනි අදිසි ඇස්ටරොයිඩ පෘථිවියට කඩා පාත්වීමේ අවදානමක් තියෙනවා. 2020 පෙබරවාරි මසදී රුසියාවටද කුඩා ඇස්ටරොයිඩයක් කඩා වැටුණා. එය වැටීමෙන්ද ඒ අවට ගොඩනැගිලි වල වීදුරු වලට හානි වෙලා තිබුණා.

පෘථිවියට පිටින් තිබෙන ආකාශ වස්තූන් ගැන යම් හැදෑරීමක් තිබුණත් ඒවා ගැන තවත් තොරතුරු රැසක් අපට සොයාගන්නට තිබෙනවා. ඒ වගේ ඇස්ටරොයිඩ අවදානමක් ආවොත් කරන්නේ කුමක්ද කියන එක ගැනත් තවමත් ස්ථිර මතයක් අපිට නැහැ. ඉතින් අප ජීවත්වෙන ජීවිත කාලයක් තුළ ඇස්ටරොයිඩ මගින් විනාසයක් ඇතිවෙන්නට තියෙන හැකියාව බොහොම අඩු වුවත්, එවැන්නක් ඇති වුණොත් ඇතිවන තත්ත්වය සෝචනීය එකක් වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *