සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ට විනෝදාංශ තියෙනවනේ. කෙනෙක්ගේ ජීවිතේ විනෝදාංශ තියෙන්න ඕන. ඒ විනෝදාංශ වලින් අපේ ජීවිතේ තියෙන ඔය ආතතිය, මහන්සිය නැති කරලා අපි ආස දේකින් සතුට ගේන එක තමයි කරන්නේ. ඔය විනෝදාංශ මුද්දර, කාසි වගේ එව්වා එකතු කිරීමේ ඉඳලා පොත් කියවීම, මල් වැවීම වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සුන්ගේ විනෝදාංශ ගැන ඇහුවහම අපිටත් පිස්සු හැදෙනවා. ඒ සමහර විනෝදාංශ ඉතාම අවදානම්කාරී වෙනකොට, තවත් සමහර විනෝදාංශ වලට සෑහෙන කාලයක් සහ ධනයක් වැය වෙනවා. හැබැයි ඉතින් ඒ ඒ මිනිස්සුන්ගේ ආතල් විවිධාකාරයිනේ. ඒ නිසා ඒ විදියේ අමුතු විකාර විනෝදාංශත් ලෝකේ තියෙනවා.
අපි ඒ වගේ විනෝදාංශ වල ලිස්ට් එකක් ගෙනාවට, මෙව්වා තමන්ගේ විනෝදාංශ කර නොගන්න තරමට හොඳා!
1. අඹ ගහ මුදුනේ ඇඳුම් මදින්නේ!
මේ කියන්නේ අර කරන්ට් එකට ගහන හරි, අඟුරු දාන හරි, බැට්‍රි දාන හරි මොකක් හරි අයන් එකකින් ඇඳුම් අයන් කරන එක. කවදා ඉඳලද ඇඳුම් අයන් කරන එක විනෝදාංශයක් වුනේ? සමහර මිනිස්සුන්ට ඒක විනෝදාංශයක් තමයි, හැබැයි ගෙදර ඉඳන් ඇඳුම් අයන් කරන එක නෙවෙයි. මේ අයගේ ආතල් එක වෙන්නේ හිතන්න බැරි තරම් එක්ස්ට්‍රීම් තැන් වල ඉඳලා, එක්ස්ට්‍රීම් තත්ත්වයන් යටතේ ඇඳුම් අයන් කරන එක. නිකමට හිතන්න මනුස්සයෙක්ට වින්ඩ් සර්ෆින් කරන අතරේ හරි වේගෙන් යන බෝට්ටුවකට බැඳුණු ලණුවක් අල්ලගෙන වේගෙන් වතුර මත ලිස්සලා යන අතරේ ඇඳුම් අයන් කරන්න පුළුවන්ද කියලා. එතකොට උස කන්දක් මුදුනක තනි කකුලක් විතරක් තියාගන්න පුළුවන් විදියේ ශිඛරයක ඉඳලා, එහෙම නැතිනම් එවරස්ට් වගේ කන්දක වේගෙන් හමාගෙන යන හිම හුළං මැද්දේ ඇඳුම් අයන් කරන්න පුළුවන්ද? මේක විනෝදාංශයක් කරගත්තු අය ට්‍රයි කරන්නේම එහෙම තැන් වල ඉඳලා ඇඳුම් අයන් කරගන්න තමයි! සමහරු ප්ලේන් එකකින් බිමට පැනලා පහතට වැටෙන අතරෙත් ඇඳුම් අයන් කරනවා!
2. ඔටුවෙක් වගේ පාට කරපු බල්ලෙක්!
අපි සත්තුන්ව හුරතලේට ඇති කරනවනේ. එතකොට අපි සත්තුන්ව නාවලා කරලා, ලොම් පීරලා, පවුඩර් දාලා එහෙම තියාගන්නවා. සමහරු ඔය බල්ලන්ගේ පූසන්ගේ එහෙම ලෝම ගාණට ට්‍රිම් කරලා, ලස්සන කරලා තියාගන්නවා. තව සමහරු ඉන්නවා අපි කොණ්ඩ ඩයි කරනවා වගේ තමන්ගේ හුරතල් සත්තුන්වත් ඩයි කරනවා. හැබැයි තවත් සමහරු ඉන්නවා මේක තවත් උපරිම ලෙවල් එකකට ගෙනිහින්, තමන්ගේ හුරතල් සත්තුන්ව එක්කෝ කාටූන් චරිත වගේ පේන්න, නැතිනම් වෙනත් සත්තු වගේ පේන්න ඩයි කරන. මේකත් විනෝදාංශයක් තමයි, හැබැයි මේක උපරිමයට අරගෙන යනකොට සත්ව හිංසනයට අයිති වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මේ විනෝදාංශය නිසා පැන්ඩෙක් වගේ ඩයි කරපු බල්ලෝ, සිංහයෙක් වගේ ඩයි කරපු පූසෝ එහෙමත් අපිට දකින්න පුළුවන් වෙනවා!
3. මම යනවා උසාවි!
දැකලා තියෙනවද ඔය වයසක අංකල්ලා ඇන්ටිලා එහෙම ඉන්නවා, ගමේ ඉන්න හැමෝමත් එක්ක නඩු කියන. මේ නඩු කියනවා කියන්නේ ඇත්තටම නඩුවක් දාලා, උසාවියේ නඩු කියන එකට. ඔය අපි කියපු අය නඩු යන ප්‍රධාන කාරණාව ඉඩම්. හැබැයි මේ නඩු ගොඩක් වෙලාවට මේ කථා කරලත් විසඳගන්න පුළුවන් එව්වා. උදාහරණයක් විදියට එහා වත්තේ ගහක කොළ තමන්ගේ වත්තට වැටෙන එකට වගේ. තවත් සමහර නඩු යන කාරණා කථා කරන්නේ මොකටද කියලා හිතන්නත් බැරි තරම් විකාරයි. උදාහරණයක් විදියට අල්ලපු ගෙදර මනුස්සයාගේ තට්ටු දෙකේ ගෙදර නිසා තමන්ගේ ගෙදරට හුළං එන්නෙ නෑ කියලා කෙනෙක් නඩුවක් දාන්න පුළුවන්. ඇත්තටම නඩු දානවා, නඩු කියනවා කියන්නේ සල්ලි සහ කාලය වියදම් වෙන සීරියස් වැඩනේ. එහෙමනම් ඇයි මිනිස්සු මේ වගේ නඩු කියන්නේ? ඒක තමයි ඒ මිනිස්සුන්ගේ විනෝදාංශය. සමහර මේ නඩු විනෝදාංශ කරගත්තු මිනිස්සු ඉන්නවා සත්තුන්ට විරුද්ධව, පණ නැති දේවල් – ඒ කියන්නේ ප්‍රතිමා, වාහන, ගස් වගේ දේවල් වලට විරුද්ධව වගේම, ලියනාඩෝ ඩාවින්චි හරි කාල් මාක්ස් හරි වගේ මැරුණු මිනිස්සුන්ට එරෙහිවත් නඩු දානාවා!
4. කැමරාවට අහුවෙලා ටීවී එකේ ගියොත් ගොඩ!
දැන් හිතන්න මොකක් හරි ටෙලිවිෂන් ස්ටේෂන් එකකින් ඇවිල්ලා මොකක් හරි වැදගත් ප්‍රවෘත්තියක් ලයිව් දෙනවා. ඒ කියන්නේ නිවේදකයෙක් හරි නිවේදිකාවක් හරි ඒ සිදුවීම පසුතලයේ ඉඳලා ඒ ගැන නිවේදනය කරන කොට කැමරා කණ්ඩායම ඒක කැමරා කරලා ඒ මොහොතේම විකාශයත් කරනවා. දැන් ඔහොම වෙලාවක ඔන්න කවුරුහරි මනුස්සයෙක් අර නිවේදකයා හෝ නිවේදිකාවට පස්සෙන්, ටිකක් ඈතින් ඉන්නවා බලාගෙන. එයා ඉන්නේ ලඟින් නොවුණත්, ලස්සනට අර කැමරා ෆ්‍රේම් එකට අහුවෙනවා. ඒක ලස්සනට රටම දකිනවා! මේක ලයිව් නොවෙන, ඒ කියන්නේ පස්සේ විකාශය කරන්න පටිගත කරන වැඩසටහනක් වුනත් ඒ විදියේ දෙයක් සිද්ධ වෙනකොට කට් කර කර ආයෙමත් ගන්න බැහැනේ. හැබැයි මෙහෙම ටීවී එකට කැමරා කරන දේක පසුතලයට එන එකත් සමහර මිනිස්සු ආතල් එකට, විනෝදාංශයක් විදියට කරන දෙයක්!
5. කෝච්චි උඩ, කෝච්චි ජනෙල් වල මාරාන්තික වැඩ
කෝච්චි වලට ගොඩක් අය ආසයි. එදිනෙදා කෝච්චියේ යන එක ආතල් එකක් නොවුණට, විනෝදෙට කෝච්චියේ යන්න ආස අය ඉන්නවා. සමහරු කෝච්චියේ ෆූට් බෝඩ් එකේ යන්නත් ආසයි. හැබැයි තවත් සමහරු ඉන්නවා, කෝච්චියේ ෆූට් බෝඩ් එකේ අන්තිම පඩියේ තනි කකුලෙන් එල්ලිලා වැඩ පෙන්නන්න, වේගෙන් දුවන කෝච්චියේ ජනේලෙක එළියෙන් එල්ලිලා වැඩ පෙන්නන්න, වේගෙන් යන කෝච්චියේ මුදුනේ කෝච්චි පෙට්ටි දිගේ එක කොණක ඉඳල අනික් කොණට දුවන්න වගේ පිස්සු වැඩ කරන්න ආස. මේවා තනිකරම අර ඇඩ්‍රිනලීන් රෂ් එකක් නිර්මාණය කරන, අතිශයින්ම අවදානම්කාරී වැඩ. ඉතාම ලේසියෙන්, තප්පරේක එහා මෙහා වීමකින් කෙලින්ම අත පය කැඩිලා යන්න, මැරෙන්න සියේට සීයක ඉඩක් තියෙනවා. හැබැයි ඉතින් විනෝදාංශයක් විදියට මේ ට්‍රේන් සර්ෆින් කරන අය නම් ඒ ගැන හිතන්නේ නෑ!
6. පික්පොකට්!
අපි ඕන තරම් පික්පොකට් කාරයෝ ගැන අහලා තියෙනවනේ. ඉස්සර තරමටම නැති වුනත්, අදටත් ලංකාවේ වුනත් ඕන තරම් පික් පොකට් ගහන අය ඉන්නවා. මේ අය අපිට නොදැනෙන්න ගාණට අපේ පර්ස් එක හරි, සාක්කුවේ තියෙන වෙන වටින දෙයක් හරි, හෑන්ඩ් බෑග් එකක තියෙන සල්ලි පොකට් එක හෝ වෙනත් වටින දෙයක් හරි උස්සන්න දක්ෂයි. ඇත්තටම ඔය මංකොල්ල කාරයෙක්, හොරෙක් වගේ කෙනෙක්ට වඩා, පොකට් ගහන මනුස්සයෙක්ට විශේෂිත දක්ෂතාවයක් තියෙන්න ඕන. මොකද මනුස්සයෙක්ට නොදැනෙන්න, ඒ මනුස්සයාගේ පොකට් එකක තියෙන දෙයක් ගන්නවා කියන එක ලේසි නැහැනේ. ඉතින් මේක හොරකමක් වුනත්, දක්ෂතාවය සහ සුක්ෂමතාවය සහ විශේෂ හැකියාව අවශ්‍ය වෙන දෙයක් නිසාම, මේක ආතල් එකකට, විනෝදාංශයකට කරන හාදයොත් ඉන්නවා. සමහරු නම් එහෙම පොකට් ගහන එව්වා ආයෙමත් අයිතිකාරයාට එවනවා. හැබැයි ඉතින් විනෝදාංශෙට හරි පොකට් ගහන්න ගිහිල්ලා මාට්ටු වුණු දවසට ඇට කුඩුවෙන්න ගුටි කාලා හිරේ යන්න තමයි වෙන්නේ!
7. මන්තර ගුරුකම්
අපි ඔය මන්තර ගුරුකම් ගැන ඕන තරම් අහල තියෙනවනේ. ලංකාවේ නම් අපිට මාතර ගුරුකම්, කල්ලු මලයාලි ගුරුකම් වගේ එව්වා තමයි හුරුපුරුදු. ඊට අමතරව ඉතින් ඔය ලංකාවේ හිටපු අති දක්ෂ සිංහල ගුරුකම් හාදයෝ ගැනත් ජනකතා වල තියෙනවනේ. දැන් වෙන රටවල් ගත්තත් ඒ ඒ රටවලට ආවේණික මන්තර ගුරුකම් සීන් තියෙනවා. ඔය voodoo, witchcraft කියලා කියන්නේ එව්වට. එව්වල ඇත්තක් තියෙනවා කියලා හිතන අය වගේම, ඒවා මල විකාර කියලා හිතන අයත් ඉන්නවා. හැබැයි මෙව්වා ජොලියට, විනෝදාංශයක් විදියට කරන අය ඉන්නවා කියලා දන්නවද? සමහරු ඉන්නවා විනෝදාංශයක් විදියට මන්තර පොත් එහෙම එකතු කරන, ඒවල තියෙන මන්තර ගුරුකම් ට්‍රයි කරලා බලන අය. තව සමහරු ඉන්නවා වෙන රටවල, ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධ වස්තූන් එහෙම එකතු කරන විනෝදාංශ තියෙන. එහෙම විනෝදාංශ වල අවුලක් නෑ තමන්ගේ ආතල් එකට කරන තාක්කල්. ඔය සාතන්ව ගෙන්නන්න මිනිස්සු බිලිදෙනවා වගේ එක්ස්ට්‍රීම් දේවල් ඒ විනෝදාංශේ කොටසක් විදියට කරන්න ගියොත් තමයි කේස් එක වෙන්නේ!
මෙච්චර එක්ස්ට්‍රීම් මට්ටමේ විනෝදාංශ නොවුණත්, ඔයාලටත් ඔය පිස්සු විකාර විනෝදාංශ ඇතිනේ. අන්න ඒවා අපිටත් දැනගන්න එක්ක කමෙන්ට් කරගෙන යන්න!
Leave a Reply