සේන නම අගට එන පරිදි නම් තැබීම 20 වන සියවසට අයිති දෙයක් වුණා. දැන් නම් නන්දසේන, චිත්‍රසේන වගේ නම් වලට වඩා අහුබුදු මූලික චකුලි, බුකිලි, මෙත්සර, රන්සර, රුචික, දිනුජ, සසත්, සස්විදු වගේ නම් තමයි මිනිසුන්ට දාන්නේ. ඉතින් මේ සේනවරු ගත්තාහම රජවරුත් කිහිප දෙනෙක්ම ඉන්නවා. ධාතුසේන සහ මහාසේන ඒ අතර ජනප්‍රිය වූ රජවරු වෙනවා. සිටින සේනවරුන් රැසක් අතුරින් අපිට ටිකක් සමීප සේනවරු කිහිපයක් ගැන අපි දැනකියාගමු.
1. සිරිසේන
සිරිසේනලා කිහිප දෙනෙක් හිටියත් 2015-2019 සමයේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණු මෛත්‍රිපාල සිරිසේන මහත්මයා නම් අපි හැමෝටම අමතක වෙන්නෙ නැහැ. එතුමාට චාන්ස් එක ලැබුණේ අහම්බෙන්. රාජපක්ෂ පාලනය ගැන වැඩිය හිත හොඳ නැතුව හිටපු සුළු ජාතීන්ගේ සහයෙන් එතුමා 2015 දී බලයට පත් වුණා. කලින් කෘෂිකර්ම ඇමති, සෞඛ්‍ය ඇමති විදිහටත් තනතුරු දරපු එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර හෙබවූවා. දැන් නම් අවුරුදු හතරක ජනාධිපති කෙරුවාවෙන් පස්සේ එතුමා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විදිහට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩි පාරේ යමින්.
2. නන්දසේන
සාමාන්‍යයෙන් දේශපාලකයින්ට විවිධ අන්වර්ථ නාම පටබැඳෙනවා. පඹයා, සිංහයා, බකමූණා වගේ නම් වලින් වගේම අශෝබන නම් වලිනුත් දේශපාලකයින් හඳුන්වනවා. ඒත් පාර්ලිමේන්තුවේදී නන්දසේන කියලා ජනාධිපතිතුමාව ආමන්ත්‍රණය කළා කියලා නන්දසේන ගෝඨාභය ජනාධිපතිතුමාට ටිකක් තරහ ඇවිත් තිබුණ බවක් පෙනුණා. එතුමා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ සජිත් ප්‍රේමදාස පාර්ශවය සමතලා කරමින්. ඉන් පසු තිබූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයත් ආසන 1ට බස්සලා පාර්ලිමේන්තු බලයත් එක්රැස් කරගන්න නන්දසේන ගෝඨාභය මැතිතුමා සමත් වුණා. ඒත් රටේ අවාසනාවකට වගේ රටට කඩා වැදුණු කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා අපේ රටේ වේගවත් සංවර්ධන කටයුතු අඩාල වුණා. ඒත් කොවිඩ් වලට එන්නත් නිකුත් වෙන මේ කාලෙන් පස්සේ නැවත එතුමා වේගවත් සංවර්ධන වැඩපිළිවෙළ නැවත ස්ථාපනය කරාවි කියලා ලොකු බලාපොරොත්තුවකුත් ජනතාව අතර තියෙනවා.
3. මහාචාර්ය නන්දසේන
මහාචාර්ය නන්දසේන කියද්දි මතක් වෙන්නේ ගණිකාවන් ගැන, හිඟන්නන් ගැන සමාජ විද්‍යා පර්යේෂණ පැවැත්වූ බොහොම නිහතමානී මහාචාර්යවරයෙක්. එතුමා හිඟන්නන් ගැන පර්යේෂණ කරන්න එදා හිඟන්නෙක් විදිහට වෙස් වලාගෙන එතුමාගේ මවගෙන් පවා හිඟමන් ගත් බව පොත් පත් වල සඳහන් වෙනවා. පිටින් කෙරෙන නිරීක්ෂණ වලට එහා ගිහින් එතුමා ඒ අදාළ සමාජ තත්ත්වයටම බැහැලා ඒ සමාජ විද්‍යාත්මක දේ ගැන අධ්‍යයනය කළා. එතුමාගේ එකල පොත පත ලංකාවේ සමාජ විද්‍යාව හදාරන අය අතර වගේම විදෙස් රටවල සමාජ විද්‍යාඥයින් අතරත් ජනප්‍රිය වුණා.
4. කරුණාසේන
ගොළු හදවත, බඹා කෙටූ හැටි, ගැහැණු ළමයි පොත් විදිහට වගේම සිනමාවෙදි මහ ටෙලි නාට්‍යයෙදිත් අපිට සමීප වුණා. මේ කතා ලියූ කරුණාසේන ජයලත් සිංහල නවකතාව තරුණ හදවත් වලට සමීප කරන්නට දායක වුණා. 1966 සහ 1969 දී හොඳම නවකතා විදිහට කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත සහ යහළු යෙහෙළි සම්මාන දිනුවා. කරුණාසේන ජයලත්ගේ කෘති ඔහු ඒවා රචනා කළ 60-70 කාලයේ සේම ඉන් පසුකාලයේදීත් යොවුන් හදවත් වලට සමීප වුණා. කරුණාසේන ජයලත් 1971දී දේශපාලනයට සම්බන්ධ වී ඉන් පසුව මහජන පක්ෂය නියෝජනය කළ අයෙක්. එහෙත් ඔහුගේ නවකතාවලදී ඒ වාමාංශික ඌරුව දකින්නට නොවීම පාඨකයා ලැබූ වාසනාවක්.
5. ධර්මසේන
සාහිත්‍යයේදී සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමි අපට හමු වෙනවා. සිනමාවේදී සිංහල සිනමාවේ පතාක යෝධයෙක් බඳු ධර්මසේන පතිරාජ හමු වෙනවා. වර්තමානයේදී නිතරම හමුවන ධර්මසේන ක්‍රිකට් ලොව පතල චරිතයක්. ඔහු දැන් ලෝ පතල ක්‍රිකට් විනිසුරුවරයෙක්. එසේ වුවත් එංගලන්තය සමග 2020 මුලදී පැවති මුල් ටෙස්ට් තරඟයේදී එවකට පිටියේ සිටි ඇන්ජෙලෝ මැතිව්ස් රිවර්ස් ස්වීප් පහරක් ගසන්නට ගොස් පන්දුවට පරාජය වෙද්දී අනෙක් කඩුල්ලේ සිටි විනිසුරු ධර්මසේනගේ මුහුණ පුළුටු වුණා. ඔහු 1996 දී ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ සිටි දක්ෂයෙක්. ඔහු මුත්තයියා මුරලිදරන්ගේ අනෙක් පස දඟ පන්දු යවන්නා වුවත්, අවශ්‍ය විටකදී පිත්තෙන්ද දස්කම් දක්වමින් තරඟ වලට දායක වුණ ක්‍රීඩකයෙක්.
6. චිත්‍රසේන
චිත්‍රසේන ජනප්‍රිය චිත්‍ර කලාවට නොවේ නර්ථන කලාවටයි. විදුර, නල දමයන්ති වැනි කතා නාට්‍යයට නගා රඟ දක්වමින් ගිය චිත්‍රසේනට වජිරා හමු වූයේ ඒ නර්ථන දැක්වීමකදීයි. එයින් මිතුරු වූ ඔවුන් විවාපත් වූ අතර ඔවුන්ගේ දරු මුණුබුරන් තවමත් ලාංකික කලා කෙත පොහොසත් කරමින් සිටිනවා. නාටක කලාවට මහත් දායකත්වයක් දුන් චිත්‍රසේන වජිරාගේ නාටක රටේ ඉහළම තැන්වල පවා රඟ දැක්වූ වටිනා නාටක වනවා.
7. මහාසේන
මහා වැව් තැනූ මහාසේන රජතුමා ආන්දෝලනාත්මක රජෙක්. මින්නේරිය වැව කර වූ නිසා එතුමා මින්නේරි දෙවියෝ යන නමින් හැඳින්වෙනවා. මහාසේන රජතුමා වෛතුල්‍යවාදය ප්‍රවර්ධනය වන්නට ඉඩ හසර විවෘත කළත් පසුව එතුමා මහාවිහාරික භික්ෂූන්ටත් අනුග්‍රහය දැක්වූවා. ජේතවනාරාමය බිහිකළ මහාසේන රජතුමා රට බත බුලතින් සරු කළ නම ගිය රජෙක් ලෙස ඉතිහාසය වර්ණවත් කරනවා.
නන්දසේන ගෝඨාභය මැතිඳා සේනා දළඹුවා බලන්නට ගිහින් “මේ දළඹුවා කන්නේ කොළයදැයි” ඇසීම ෆේස්බුක් මීම් වලට රසවත් සිදුවීමක් වුණා. ඉතින් සේනා දළඹුවත් එක්තරා සේන කෙනෙක් තමයි. ඒ විදිහට සේන මුලට නම් තියෙන අයත් ඉන්නවා. සේන ගුත්තික, සේන නන්දිවීර, සේනානායක ඒ වගේ නම් කොටස් කිහිපයක්. කොහොම වුණත් නමගිය සේනවරු ගැන ඔබට මේ හරහා යම් අදහසක් එන්නට ඇති කියලා අපි හිතනවා.
Leave a Reply