කොරෝනා වලින් පස්සේ අපේ ජන සමාජ​යේ වෙන්න පුළුවන් වෙනස්කම්

 

අපි කවදාවත් නොහිතු විදිහේ වෛර​සයක් ඇවිත් මුළු ලෝකයම බියෙන් වෙලාගෙන. හැමෝම ගෙවල් ඇතුලේ හිරවෙලා. වෛර​සයත් එක්කම දැනටම අපි හැමෝගෙම ජීවිත වල කොයිම විදිහක හරි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනව. ඉතින් මේ වෛර​සය සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ලෝකෙම සුවපත් උනත් ඒ සිදුවුණ යම් යම් වෙනස්කම්, ඒ විදිහටම අපේ ජීවිත වල ඉතිරිවෙලා තියේවි, ඉදිරියට අළුත් විදිහේ ට්‍රෙන්ඩ්ස් බවට පත්වේවි කියල හිතන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණේ තමයි මේ වෙනස්කම් හුඟක් ඒවා ධනාත්මක වෙනස්කම්. ඒ කිව්වේ පරිසරයට, අපිට හිතකර වෙනස්කම්. ඉතින් බලමු ඒ විදිහට වෛර​සයෙන් පස්සෙත් අපේ ජීවිතවල, අවට සමාජයේ සිද්ධ වෙන්න පුළුවන් මේ වෙනස්කම් මොනවද කියල.  

 

 

1. අන්තර්ජාල මිලදීගැනීම් සහ ගෙවීම්

ඇඳිරිනීතිය නිසා හැමෝම ගෙවල් වලට හිරවෙලා, සමහර ප්‍රදේශවලට එක දිගටම ඇඳිරිනීතිය පනවලා තියෙන වෙලාවක ගෙදරට අත්‍යවශ්‍ය බඩුවක්වත් මිලදී ගන්න මිනිස්සුන්ට පාරකට බහින්න විදිහක් නැහැ. එකම විසඳුම Online Purchasing. එහෙමත් නැත්තම් අන්තර්ජාලය ​හෝ දුරකථනය හරහා කතා කරගෙන කෙරෙන මිලදී ගැනීම්. මෙහෙම මිලදී ගැනීම් කරලා බඩු භාණ්ඩ ගෙදරටම ගෙනල්ල දෙනකොට delivery fee එකක්නම් ගෙවන්න වෙනවා තමයි. හැබැයි අපි පාරෙ රස්තියාදු වෙන වෙලාව, ට්‍රැෆික් එකේ පිච්චෙන පෙට්‍රල් එහෙම ගණන් බැලුවම ඒ ඩිලිවරි ෆී එක ගණන් නොගත යුතු තරම්. අනවශ්‍ය වාහන පාරේ පිරිලා ට්‍රැෆික් එක ඩබල් වෙනවටත් ඉදිරියේදී මේක හොඳ විසඳුමක් වෙයි. ඇයි කඩ හිමියාගේ පැත්තෙන්? බඩු ෂෝ රූම් එකක දාගෙන ඉන්නකොට දරන්න වෙන කුලී, විදුලිය වගේ අමතර වියදම් එහෙමත් සෑහෙන්න අඩුකරගන්න පුළුවන්.

ඒ විතරක්ද මොබයිල්, විදුලි, ජල බිල්පත් වගේ අටෝරාසියක් බිල්. ඒ හැම එකක්ම හරිම පහසුවෙන් අන්තර්ජාලය හරහා ගෙවන්න පුළුවන් උනාට අන්තර්ජාල පහසුකම් තියෙන අය පවා වැඩිය ඒ ඔප්ෂන් එක තෝරගත්තෙ නැහැ. හැබැයි දැන් තත්ත්වයත් එක්ක මිනිස්සු අලුතෙන් මේ online system එකට හුරුවෙලා ඉදිරියෙදිත් ඒකෙ පහසුව අත්විඳීවි. 

 

 

2. Online වෛද්‍ය සේවා

ඉස්සර පුංචි ඔලුවෙ කැක්කුමටත් අපිට ඩොක්ටර් කෙනෙක්ට චැනල් එකක් දාලා ගිහින් ඩොක්ටර් හමුවෙන්න වුණා. එක්කෝ මෙඩිකල් සෙන්ටර් එකකට ගිහිල්ලා බෙහෙත් ගන්න වුණා. බොහොමයක් ලෙඩ රෝග කියන්නේ එහෙම දුරින් ඉඳන් බලලා බෙහෙත් කරන්න පුළුවන් තත්ත්වයන්නම් නෙමෙයි තමයි. මොකද ගනුදෙනුව වෙන්නෙ මිනිස් ජීවිතත් එක්කනේ. ඒත් ඔය දතේ අමාරුවක්, ඔලුවේ කැක්කුමක් වගේ පොදුවේ හැදෙන සුලභ රෝග වලටවත් දුරකථන සංවාදයක්, වීඩියෝ ඇමතුමක් හරහා බෙහෙත් නියම කරගෙන ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් තත්ත්වයක් ඉස්සරහට එන්න පුළුවන්. මොකද මේ දවස්වල රෝහල් වලට යන්න තියෙන අවදානමත් එක්ක හුඟක් අය ප්‍රතිකාර ගන්නෙ එහෙමනේ. 

 

 

3. ගෙදරම හදන කෑම බීම

කඩ කෑම කන්න හුරුවෙලා හිටපු හුඟක් දෙනෙක් වෙන කරන්නම දෙයක් නැති කමට හරි මේ දවස්වල ගෙදරම උයාගෙන කන්නත් පුරුදුවෙලා. ෆේස්බුක් එක පැත්තේ රවුමක් ගැහුවම බලාගන්න පුළුවන් කඩෙන්ම කාපු නෝනලා පාන් ගෙඩියේ ඉ​ඳලම ගෙදර හදාගෙන කන හැටි. සැඟවුණු දක්ෂතා එලියට එන කාලයක් ​මේ. මේ කඩ කෑමට හුරුවෙන්නත් ජීවිතේ රැකියාවන් එක්ක කාර්යබහුල වෙන එක වගේ විවිධ හේතු බලපාන්න ඇති. හැබැයි මේ වසංගතේ ඉවර වෙනකොට ගෙවල් වල නෝනා මහත්තුරු මාස්ටර් චෙෆ්ලා වෙලා තියෙයි කියන එකනම් සහතිකයි. කොහොම වෙතත් fast food industry එකට ඒ නිසාම බිස්නස් ටිකක් අඩුවෙන්න පුළුවන් ඉස්සරහට.

 

 

4. ගෙවතු වගාවන්

ආණ්ඩුවේත් මැදිහත්වීම දිරිගැන්වීම ඇතුව හුඟක් දෙනෙක් ගෙවල් වල පොඩියට හරි වවන්න පටන් අරගෙන. මේකත් ඇත්තටම හොඳ ට්‍රෙන්ඩ් එකක්. ඉවත දාන දණ්ඩ උනත් පැ​ළවෙන මේ ලංකාවේ මහපොළවෙන් ප්‍රයෝජනයක් ගන්න එක කොච්චර දෙයක්ද? රැල්ලට පටන් අරන් ඔහේ පහ​ළට නොයා දිගටම වවන පිරිසකුත් මේ ගමන්ම බිහි උනොත් ඒකත් රටට ලොකු සම්පතක්. තම තමන්ගේ පොකට් එකටත් වාසියක්. සෞඛ්‍යයටත් යහපතක්.

 

 

5. දේශීය නිෂ්පාදන

ඔන්න පහුගිය දවස්වල ඇහුන කාරණාවක් තමා රටින් ගෙන්නපු බෝග වර්ග කිහිපයක්ම රට ඇතුලේ වවන්න අනුමැතිය ලැබිලා කියන එක. ඇත්තෙන්ම ලංකාව බොහෝ දුරට ආනයනය මතම යැපෙන රටක් වෙලා තියෙන්නෙත් මේ දේශපාලුවන්ගේ කොමිස් ගැහිල්ල නිසා. ඒ දේවල් නැතුව රටේම දේවල් වාවගන්න කාලයක් ඉස්සරහට එයි. අපිට හදන්න තියා හිතන්නවත් බැහැ කියල හිතන් හිටපු ICU ඇඳන්, රොබෝවරු පවා දැන් රට ඇතුලේ හැදෙනවා. ඉතින් අපිට අවශ්‍ය නිෂ්පාදන අපේම රටේ කරගෙන ලොකු සල්ලියක් අපිට ඉතුරු කරගන්න පුළුවන්.

 

 

6. දියුණු සෞඛ්‍ය පහසුකම්

කලින් කියපු රොබෝ මැශින් වගේ අළුත් තාක්ෂ​ණය එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් අලුත්ම ගමනක් තියේවි. අනිත් එක ඉස්සර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට නොලැබුන අවධානය, ගෞරවය එයාලට ඉස්සරහට ලැබේවි. ඒ වගේම නිදහස් සෞඛ්‍යයේ වටිනාකම හැමෝටම දැනිල තියෙන නිසා ඉස්සරහට අය වැය වලින් සෞඛ්‍යය වෙනුවෙන් කෙරෙන වෙන්කිරීමත් ටිකක් හරි වැඩිවෙයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඉමු. 

 

 

7. Work from Home

මේකත් තවත් වැදගත්ම කාරණයක්. ඇඳිරිනීතිය එක්ක සේවකයන්ට සේවයට වාර්තා කරන්න බැරිවීම නිසා හුඟක් රැකියා ස්ථාන වල කටයුතු ඇනහිටලා. හැබැයි ඉස්සර ඉඳන්ම ගෙවල් වල ඉඳලා වැඩ කරන ක්‍රමයට හැඩගැහෙමින් ආපු, ඒ වෙනුවෙන් පහසුකම් හදාගත්තු ආයතන ඔන්න ගොඩ. මේ කිව්වට ලංකාවේ හැම රැකියාවක්ම ගෙදර ඉඳන් කරන්නනම් බැහැ. උදාහරණයක් හැටියට නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා එහෙම. එත් පුළු පුළුවන් හැම රැකියාවම ගෙදර ඉඳන් කරන්න, ඒ කිව්වේ Work from Home පහසුකම් ඇති කිරීම ගැනත් ආයතන හිමිකාරීන් හුඟක් දෙනෙක් ඉස්සරහට හිතල බලාවි. එතකොට මේ වගේ තත්ත්වයක් ආයෙ ඇති වුනත් වැඩ ටික සුමටව කරගන්න පුළුවන් දුරස්ථ ක්‍රමයට හරි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *