සුපර්මාකට් එකකට නොයා පොඩි කඩෙන් බඩු ගන්න එකේ තියෙන වාසි මේවා තමයි!

ඔය සුපර් මාකට්‍ කියලා ගොඩක් අය දැන් කාලේ කියන්නේ පොදු වෙළඳසල් වලට තමයි. හැබැයි ඇත්තටම සුපර්මාකට් කියන්නේ ඒවට නෙවෙයි. ඔය ෆුඩ් සිටි, කීල්ස් සුපර්, ආපිකෝ, ස්පාර්, සොෆ්ට්ලොජික් සුපර් වගේ එක එක විදියේ නම් වලින් තියෙන, ගෙදරකට අවශ්‍ය බඩු හැමදෙයක්ම වගේ එකම වහළක් යටින් ගන්න පුළුවන් විශාල ප්‍රමාණයේ වෙළඳසැල් වලට තමයි ඇත්තටම ලංකාවේ සුපර්මාකට් කියන්න පුළුවන්. ඇත්තටම ගෙදරට ඕන බඩු හැමදෙයක්ම එකම වහළක් යටින් ගන්න පුළුවන්කම තියෙන නිසා තමයි, විශේෂයෙන්ම මධ්‍යම පංතියේ ඉඳලා උඩට ගොඩක් දෙනෙක් සුපර් මාකට් එකෙන් බඩු ගන්න හුරු වෙලා තියෙන්නේ. හැබැයි නිකමට හිතලා බැලුවොත්, සුපර් මාකට් එකෙන් බඩු ගන්න එකට වඩා හංදියේ තියෙන සිල්ලර කඩෙන් නැතිනම් තොග කඩෙන් බඩු ගන්න එකේ වාසි තියෙනවා.

ඉතින් අපි හිතුවා ඒ වාසි ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.

 

1. මිල ගණන් සසඳන්න, පොඩි කඩේට එන්න

සුපර් මාකට් වලට වඩා  සිල්ලර කඩ, තොග කඩ වල බඩු ගණන් අඩුයි කියන්න පුළුවන්ද? ඇත්තටම එහෙම හැම බඩුව ගැනම කියන්න බෑ. ඒත් සමහර බඩුභාණ්ඩ තියෙනවා, සුපර් මාකට් එකෙන් ගන්නවට වඩා  සිල්ලර කඩ, තොග කඩ වලින් ගන්නකොට හිතාගන්න බැරි තරමේ වාසි තියෙනවා. එළවළු වගේ දේවල් ඒකට හොඳ උදාහරණ. අන්න ඒ නිසා හොඳම දේ තමයි සුපර් මාකට් වල තියෙන මිල ගණන් වගේම, ටවුමේ සිල්ලර කඩ, තොග කඩ වල මිල ගණන් සම්බන්ධයෙනුත් දැනුවත් වෙලා, අප්ඩේට්‍ වෙලා ඉන්න එක. ඒකෙන් හොඳම බඩු, වටිනම ගාණකට මිලදී ගන්න පුළුවන්. 

 

2. හෙට්ටු කරලා ගන්න ඇහැකි

දැන් ඔය හෙට්ටු කරන සාත්තරේ බලාගන්න යන්න ඕන පොළක් පැත්‍තට එහෙම. ආයෙ සමහර මහත්තුරු, නෝනලා ඉන්නවා, රුපියල් පන්සීයයි කියන බඩුව රුපියල් තුන්සීයට එනකල් හෙට්ටු කරලා ගන්නවා. හැබැයි සුපර් මාකට් වල නං හෙට්ටු කිරිලි බෑ. ගහලා තියෙන ගාණට බඩුව අරගෙන එන්න ඕන. ඒත් ඇත්තටම  සිල්ලර කඩ, තොග කඩ ගත්තොත් පොඩ්ඩක් හෙට්ටු කරන්නත් පුළුවන්. ඒ වගේම වැඩියෙන් බඩු එහෙම ගන්නකොට හෙට්ටු කරලා මිල අඩු කරගන්නත් පුළුවන්.

 

3. මුදලාලිගෙ ජෙනුයින් රෙකමන්ඩේෂන්

සාමාන්‍යයෙන් ටවුන් එකේ සුපර් මාකට් එකට අපි නිතරම යනවා එනවා නං, මැනේජර් අපිත් එක්ක ෆිට් වෙයි. හැබැයි ඉතින් ඒවා ටිකක් කලාතුරකින් වෙන වැඩ. මොකද, සුපර් මාකට් වල වැඩ කරන අය එකම තැන හැමදාම ඉන්නෙ නෑනේ. එහෙම වුණත්, සුපර් මාකට් එකක තියෙන බඩුවක හොඳ නරක මැනේජර්ගෙන් හරි වැඩ කරන කෙනෙක්ගෙන් හරි අහලා හරියටම දැනගන්න පුළුවන් ඉඩ අඩුයි. ඒත්  සිල්ලර කඩ, තොග කඩ වල ඉන්න මුදලාලිලාගෙන් අපිට ඇත්තටම ජෙනුයින් රෙකමන්ඩේෂන් ගන්න පුළුවන්. “මුදලාලි මොනවද හොඳ ඇඟේ ගාන සබන්?” කියලා ඇහුවොත්, සාමාන්‍යයෙන් ඔය මුදලාලි කෙනෙක් කියන්නේ ගණන් වැඩිම සබන් කෑල්ල ගැන නෙවෙයි. ඊට වඩා තමනුත් පාවිච්චි කරලා තියෙන කොලිටියෙන් හොඳ සබන් කෑල්ල ගැන තමයි කියන්නේ. 

 

4. කවදා දැකපු බ්‍රෑන්ඩ්ස් ද මේ?

මේක ගොඩක්ම වෙන්නේ ඔය ඉස්සර ආපු, කොලිටිය මරු කියලා අපි දන්න කියන බ්‍රෑන්ඩ් එක්ක තමයි. උදාහරණයක් විදියට අපි ගමු ඉස්සර ආපු පැරකුම්බා දත් බෙහෙත් කුඩු. තාමත් මොන දත් බෙහෙත් ආවත් පැරකුම්බා දත් බෙහෙත් කුඩු සුපිරි කියන සෙට් එකක් ඉන්නවා. හැබැයි ඒක ඔය සුපර් මාකට් වලට එන්නෙ නෑ. හැබැයි අපි ඔය කියපු සිල්ලර කඩ, තොග කඩ වල පැරකුම්බා දත් බෙහෙත් කුඩු හොයාගන්න තියෙනවා. පැරකුම්බා දත් බෙහෙත් කුඩු ගැන අපි උදාහරණෙට කිව්වත්, ඒ ඇරෙන්න තව පරණ, ඒත් කොලිටි බ්‍රෑන්ඩ්ස් තියෙනවා. අන්න ඒ බ්‍රෑන්ඩ්ස් මොන සුපර් මාකට් එකේ නැති වුනත්  සිල්ලර කඩ, තොග කඩ වල ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන්! 

 

5. මාකටින් ට්‍රික්ස් වලට අහු වෙන්නෙ නෑ

සුපර් මාකට් වලට ගියහම වෙන්න තියෙන ලොකුම අබ්ලික් එකක් තමයි ගන්න ආපු ඕන දේයි එපා දේයි ඔක්කොම ගැනෙන එක. ඒක වෙන්නේ ඉතින් ඔය එක එක ට්‍රික්ස් නිසා සහ සුපර් මාකට් වල ස්වභාවය නිසාම තමයි. කිරිපිටි එකක් අරගෙන ඊලඟට කෝපි එකක් ගන්න ගියහම, එතනම එහා පැත්තේ තියලා තියෙන කොෆී ක්‍රීමර් එකකුත් ගන්න හිතෙනවා. කවුන්ටරේ ගාවට ගිහින් බිල දාන්න බලාගෙන ඉන්නකොට, එතන මිල අඩු කළා කියලා ගහලා තියෙන චොක්ලට් රෝල් එකකුත් ගන්න හිතෙනවා. හැබැයි ඉතින් කඩේකට ගියාට ඔය ගැටළු නෑ. කඩේට යන්නෙම ගෙදරට ඕන බඩු ලිස්ට් එක හදාගෙන. බඩු ලිස්ට් එක කඩේ ඇසිස්ටන් මුදලාලිට දුන්නා, ඒ ලිස්ට් එකේ බඩු ටික ගත්තා, ආවා!

 

6. වැඩියෙන් ගත්තොත් තව අඩුයි

ඔය ටවුන් වල සමහර තොග බඩු කඩවල් තියෙනවා, එව්වට ගෙදරට බඩු ගන්න අයට වුණත් යන්න පුළුවන්. හැබැයි ටිකක් වැඩිපුර බඩු ගන්නවා නම් තමයි හොඳ. ඒ කියන්නේ ඔය ගෙදර සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට වගේ බඩු ගන්න මේ වගේ තොග කඩ මරු. වැඩේ කියන්නේ, සාමාන්‍යයෙන් සුපර් මාකට් වලට වඩා අඩුවෙන් ගාණ ලකුණු කරලා තියෙන මේ තොග කඩ සමහර එව්වගෙන් බඩු ලොකු ප්‍රමාණ වලින් ගන්නකොට තවත් ගාණ අඩු කරලා දාලා දෙනවා. ඒක හොඳ වාසියක්.

 

7. බඩු වල කොලිටියත් සසඳන්න

ඇත්තටම බඩු වල කොලිටිය ගත්තහම, ඒක තීරණය වෙන්නේ මොන කඩෙන්ද ගන්නේ කියන එකටත් වඩා කොලිටිය අඳුනගන්න තමන්ට සෙන්ස් එක තියෙනවද කියන එකෙන් තමයි. උදාහරණ විදියට ගත්තොත්, සුපර් මාකට් වලටත් එන්නේ ලංකාවේ හැදෙන හොඳ එළවළු තමයි. හැබැයි සුපර් මාකට් එකක එළවළු දවස අවසාන වෙනකල්ම ගොඩක් වෙලාවට තියෙනවා. හැබැයි ඉතින් ඩිස්ප්ලේ ලයිට් එකට, නිතර ඉහින වතුර පාරට ඒ එළවළු නැවුම් විදියටම තමයි පේන්න තියෙන්නේ. ඒත් අනික් අතට එළවළු තොග කඩෙන් එළවළු ගන්න ගියහම ආයෙ ඔය කැටයම් නෑ. තමන් අතට අරගෙන කොලිටිය තීරණය කරලා ගන්න තමයි තියෙන්නේ!

 

දැන් මේ කියන්නේ සුපර් මාකට් වලට යන්න එපා, සිල්ලර කඩේට නැතිනම් තොග කඩේට විතරක් යන්න කියලද? අපොයි නෑ. සුපර් මාකට් එකෙන් බඩු ගන්න එකේ සෑහෙන්න වාසි තියෙනවා. හැබැයි අපි කියන්නේ, කිරිපිටි නැති වුණහම සුපර් මාකට් එකට දුවන්නෙ නැතුව, මාසේ බඩු ටික ප්ලෑන් කරලා, අවශ්‍ය විදියට සුපර් මාකට් එකෙන් වගේම සිල්ලර කඩෙන් නැතිනම් තොග කඩෙන් එක දවසක් දාගෙන ගත්තහම හිතනවට වඩා ආර්ථික අතින් වාසියක් තියෙයි කියන එක තමයි. බැලන්ස් එක තමයි ඕන.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *