විවාහයක් කරගන්නව කියන්නේ බොහෝම හිතල මතල කරන්න ඕන වැඩක් කියල ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. විශේෂයෙන්ම ලංකාව වගේ ආසියාතික රටක විවාහයක් ගැන ගන්න තීරණයක් ආපහු හරවනව කියන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. අන්න ඒ නිසාම විවාහයට සහකාරයෙක් තෝරගන්න කලින් සෑහෙන්න දේවල් හිතල මතල බොහෝම පරිස්සමට තමයි ඒ තෝරාගැනීම කරන්න ඕනා. ඉතින් මේ කියන්න යන්නෙ විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් විවාහයට සහකාරයෙක් තෝරගන්න කලින් සලකා බලන්න ඕන ප්‍රධානම කාරණා මොනවද කියන එක ගැනයි.
1. අදහස්
විවාහය කියන්නෙ ඉතින් මුළු ජීවිත කාලයක්ම තමන් එක්ක දුක සැප බෙදාගන්න කෙනෙක් ලංකරගන්නව කියන එකනේ. එහෙම දුක සැප බෙදාගන්න නම් ඔක්කෝටම කලින් දෙන්න දෙමහල්ලොන්ගෙ අදහස් ලාවට හරි ගැලපෙන්නම ඕන. අන්න ඒ නිසයි මේක විවාහයක් ගැන කතා කරද්දි කාට කාටත් මුලින්ම මතක් වෙන වැදගත්ම මාතෘකාවක් වෙන්නෙ. හැබැයි ඔය කොහොම කිව්වත් 100%ක් ගැලපෙන සහකාරයෙක් හොයනව කියන එකනම් කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. සම්පූර්ණයෙන් වෙනස් වටපිටාවන් දෙකක හැදුන දෙන්නෙක් එහෙම ගැලපෙයි කියල බලාපොරොත්තු වෙන්න ඇත්තෙන්ම අමාරුයි නේ. ඒත් ඔය අදහස් කියන එක යම්තාක් දුරකට හරි ගැලපෙන්නත් ඕන. ඒ කිව්වේ අහසට පොලව වගේ සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී අදහස් දරන දෙන්නෙක්ට එකතුවෙලා සහයෝගයෙන් ගමනක් යන්න අමාරුයි.
2. විශ්වාසදායී බව
විවාහ ජීවිතයක විතරක්ම නෙමෙයි, ඕනෙම මානුෂීය සම්බන්ධතාවයක මූලිකම පදනම තමයි මේ විශ්වාසය කියන එක. වැරදි නොකරන මිනිස්සු කිසිම කෙනෙක් මේ ලෝකෙ නැහැනේ. ඒ කියන්නෙ විශ්වාසය රකිනවා කියන්නෙ අනික් කෙනාට අබ මල් රේණුවකවත් වරදක් නොකරනවා කියන එකම නෙමෙයි. එකිනෙකාව විශ්වාස කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න එකටයි. අතපසුවීමකින් වරදක් උණත් බය නැතුව අනික් කෙනාට කියන්න පුළුවන්නම්, එයාට තමන්ව තේරුම් ගන්න පුළුවන්නම් අන්න එතනයි හරිම විශ්වාසය කියන වචනයේ තේරුම තියෙන්නෙ.
3. රැකියාව
සමහර අය කියන්න පුළුවන් සැබෑ ආදරේට, විවාහයට මේ රැකියාව කියන කාරණේ වැදගත්කමක් නැහැ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ රැකියාවේ තරාතිරම ගැනම සලකා බලන්න ගියොත්. ඇත්තටම පුද්ගලයෙක් කරන රැකියාව සමාජ සාරධර්ම වලට විරුද්ධ නොවෙනවනම්, ඒ කිව්වෙ හොරකම්, මිනීමැරුම් වගේ නරක ගණයේ ක්‍රියාවක් නෙමෙයිනම් අනිත් දේවල් නිකරුණේ හිතල රැකියාවක් ගැන තීරණ ගන්න එක වැරදියි.
හැබැයි මෙතනදී මේ සහකාරයෙක් තෝරගන්න එක ගැනනම් කතා කරන්නෙ ඒ තරාතිරම ගැන නෙමෙයි. තමන් තෝරගන්න සහකාරයට සාමාන්‍ය මට්ටමෙන් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ආදායමක් ලැබෙන රැකියාවක් තියෙනවද කියන එකයි. එහෙම නැතුව ඔහේ ලස්සනට ඇඳගෙන, බයිසිකලයක් පැදගෙන පාරවල් වල රස්තියාදු වෙන සීනිබෝල පෙම්වතෙක් එක්කනම් යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න හිතන්න බැහැ. බිරිඳ රැකියාවක් කරනවා කියල ඒ කාරණේ අදාළ නොවෙන්නෙ නෑ කිසිසේත්ම. මොකද අද කාලේ ගෙදර දෙන්නම රැකියා කරලත් ජීවත් වෙන්න අමාරු කාලයක්නේ.
4. සාමාජීය පසුබිම
සහකාරයගේ අවට පරිසරය මොන වගේද, ඒ සමාජය එක්ක එයා හුරුවෙලා ඉන්න ජීවන රටාව මොන වගේද කියන එකත් හුඟක් දුරට වැදගත් වෙන කාරණයක්. මොකද ආදරේ කරන මුල් කාලෙදි මේ දේවල් හරිම ලස්සනට ප්‍රශ්නයක් නැතුව පෙනුනට පහු පහු වෙනකොට ඒව නිසාම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
ඔන්න අපි මෙහෙම හිතමුකෝ. සහකාරයගෙ අවට පරිසරය, එයාට ඉන්න යාළුවො අනුව එයා බොහෝම දැහැමින් සෙමෙන් ජීවත් වෙන, ආගමට දහමට ලැදි, වැඩි සමාජ ආශ්‍රයක් නැති, ඉන්න යාළුවො ටික දෙනා උණත් ඒ වගේම අය වෙන්න පුළුවන්. හැබැයි ඔන්න ඔයාගෙ පරිසරය හාත්පසින්ම වෙනස්. බොහෝම සැහැල්ලුවෙන්, විනෝදෙන් ජීවත්වෙන, නිතර ඇවිදින්න යන, යාළුවො පිරුණ ජීවිතයක්නම් ඔයා ගත කරන්නේ අර සහකාරයත් එක්ක ඒ ජීවිතේ ගතකරන්න හිතන්න ඔයාට අමාරුයිනේ.
5. පවුල් පසුබිම
ඔන්න හුඟක් අය වැඩක් නැහැ කියල කියන තවත් කාරණාවක්. හැබෑ ආදරේදී දෙන්නම නොසැලී ඉන්නවනම් පවුල් පසුබිම ගැන හිතන්නම ඕන නෑ කියලනෙ අපි හිතන් ඉන්නෙ. හැබැයි ආදරේදි එහෙම උණාට පවුල් වෙලා දෙන්න තුන්දෙනා වෙනකොටනම් පවුල් අතඇරල ඉන්න එක කරන්න බැහැ. ඒ ගෙවල් වල අයගේ ආකල්ප, චර්‍යාවන් එහෙම තමන්ට ගැලපෙනවද, ඒවත් එක්ක ඉහ ගහල ඉන්න පුළුවන්ද කියල කලින්ම හොයල බලල තීරණය ගන්න එක කෝකටත් වැදගත්.
6. අනාගත සැලසුම්
කොයි මනුස්සයෙක්ට උණත් ජීවිතේ ඉදිරිය ගැන හරි හමන් සැලැස්මක් නැත්තම්, ඔහේ එන බෝලෙට බැට් කරගෙන ජීවත් වෙනවනම් ඒ ජීවිතෙන් ගන්න දෙයක් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. විශේෂයෙන්ම කසාදයක් බැඳලා දරුමල්ලො හදාගෙන එයාලව ලොකු මහත් කරගෙන ජීවත් වෙන්න හිතන් ඉන්න කෙනෙක්නම් තමන්ගෙ ජීවිතේ, රැකියාව, ගෙවල් දොරවල්, බිරුඳ සහ දරුවොන්ගෙ ජීවිත ගැන ප්ලෑන් එකක් තියෙන්න ඕන. දෙන්න එක්ක කතාවෙලා එහෙම ප්ලෑන් එකක් හදාගන්න උවමනාවක් හරි තියෙන්නම ඕන.
7. ජීවන දැක්ම
මේ කියන්නේ ඒ පුද්ගලයා ජීවිතේ දිහා බලන්නෙ කොහොමද කියන එකයි. තමන් වටේ ඉන්න් මිනිස්සු ගැන එයා දරණ ආකල්ප, ඒ ඒ අයට වටිනාකම් දෙන විදිහ, අනිත් අයගේ ජීවිත පාලනය කරන්න උත්සාහ කරනවද නැත්තම් නිදහස අගය කරනවද වගේ කාරණා. එක එක අය ජීවිතේ දකින විදිහ වෙනස් වගේම, අපි අනිකාගෙන් බලාපොරොත්තු වෙන දේවලුත් එකිනෙකාට වෙනස් වෙනවනේ. ඒ නිසා එයාගෙ ජීවන දැක්ම ඔයාට ගැලපෙනවද කියන එකත් හිතල බලන්න ඕනම කාරණයක්.
Leave a Reply