ලංකාවේ තිබෙන කෙසෙල් වර්ග ගැන දැනකියා ගමු

කෙසෙල් කියන්නේ ලෝකේ පුරාම තියෙන පළතුරක්. සීත රටවල කෙසෙල් වැවු​ණේ නැතත්, සුපර්මාර්කට් වල කෙසෙල් අනිවාර්ය​යෙන්​ම මිලදීගන්​න තියෙනවා. ලංකාවේදි නම් අරමුණු කීපයකට කෙසෙල් වගා කරනවා. පිරිසක් කෙසෙල් කො​ළ ස​ඳහා කෙසෙල් හිට​වනවා. ඒ අය දෙම​ළ අයගේ උත්සව අවස්ථාවලට සහ කෑම කඩවලට කෙසෙල් කො​ළ සපයනවා. තවත් පිරිසක් කෙසෙල් ප​ළතුරු ස​ඳහා වවනවා. ඒ වගේම කිතල, අළුකෙසෙල් වගේ කෙසෙල් වර්ග එ​ළවළු ස​ඳහාත් වගා කරනවා. ඒ කොයි හැටි වු​ණත් කෙසෙල් කියන්නේ ලංකාවේ ගොඩක් පැතිවල සරුසාරෙට වැවෙන, අපි හැමෝම වගේ කාලා තියෙන රසවත් ප​ළතුරක්.

 

1. ලංකාවේ තිබෙන කෙසෙල් කාණ්ඩ

 

ලංකාවේ කෙසෙල් තියෙන්​නේ කාණ්​ඩ තුනයි. ඒවා නම්…

 

  1. මයිසෝර් කාණ්ඩ​ය – මයිසෝර් කාණ්​ඩයට ලංකාවේ තිබෙන ඇඹුල් කෙසෙල් සහ සීනි කෙසෙල් අයිති වෙනවා.
  2. කැවෙන්ඩිශ් කාණ්​ඩය – කැවෙන්ඩිශ් කාණ්​ඩයට ආනමාළු, ඇම්බුන් සහ බිම් කෙසෙල් අයිති වෙනවා. මෑතකදි ජනප්‍රිය වුණු නේත්‍රාපලම් අයිති වෙන්නෙත් කැවෙන්ඩිශ් කාණ්​ඩයට.
  3. කෝලිකුට්ටු කාණ්​ඩය – පුවාළු, සුවඳැල් සහ රත් කෙසෙල් අයිති වෙන්නේ කෝලිකුට්ටු කාණ්​ඩයට.

 

කලාප අනුව ගත්තොත් තෙත් කලාපය කැවෙන්ඩිශ් කාණ්​ඩයේ කෙසෙල් වලට ජනප්‍රියයි. අතරමැදි කලාපයේ කෝලිකුට්ටු සරුවට වැවෙනවා. මයිසෝර් හෙවත් සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් වැඩිපුර වැවෙන්නේ වියළි කලාපයේ. ඇඹිලිපිටිය කෙසෙල් වවන කලාපයේ නම් මේ ඇඹුල් සහ කෝලිකුට්ටු යන දෙවර්ගයම එකම කලාපයක වගා කරනවා.

 

2. ඇඹුල් කෙසෙල්

ගමේ ගෙදරක අම්මා, තාත්තා පො​ළේ ගිහින් එනකොට කෙහෙල් ඇවරියක් වරදින්නේ නැහැ. ඒ වගේ වෙලාවට බොහෝවිට ගෙදර එනනේ ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල් ලාබයි. ඒ වගේම ඇඹුල් කෙසෙල් වලට ගොඩක් අය ආසයි. අගිස්ස උල් කුඩා ප්‍රමාණයේ ඇඹුල් කෙසෙල් වල ලාවට ඇඹුල් රසකුත් එක්ක එන පැණි රසක් තියෙනවා. ඇඹුල් කෙසෙල් වලින් ආවේණික සුව​ඳකුත් මැනවින් විහිදෙනවා. ඇඹුල් කෙසෙල් ටිකක් සීතල නිසා සෙම ගතිය වැඩිකරනවා කියලා විශ්වාසයක් අපි අතර තියෙනවා.

 

3. සීනි කෙසෙල්

සීනි කෙසෙල් මෑතකදී තමයි ජනප්‍රිය වු​ණේ. වැඩිය තෙල් බේත් නොගහා වවන්න පුළුවන් සීනි කෙසෙල් ගස් නම් වෙලාවකට උසට උසේ වැඩෙනවා. සීනි කෙසෙල් වල තියෙන්නේ ඇඹුල් වලට වඩා පැතලි රසයක්. ක්‍රීම් ගතියත් ටිකක් සීනි කෙසෙල් වල වැඩියි. සීනි කෙසෙල් ඉදුණාම ලෙල්ල ගොඩක් තුනී වෙනවා. ඒ වගේම සීනි කෙසෙල් ඇඹුල් තරම් කහ පාට නැහැ. ඇඹුල් කෙසෙල් එක්ක බලද්දි සීනි කෙසෙල් ටිකක් ලොකුවට හැදෙනවා. සීනි කෙසෙල් ලෙඩ්ඩුන්ට දෙන්න කදිම කෙසෙල් වර්ගයක් කියලා තමයි කට්ටිය කියන්නේ.

 

4. කෝලිකුට්ටු

සිංහල අවුරුද්දට සහ නෑ ගමන් යද්දි කෙහෙල් ඇවරියකුත් අරන් යන සිරිතක් තියෙනවා. ඒ වගේ වෙලාවක ගමන වඩාත් වැදගත් එකක් නම් කෝලිකුට්ටු නැතිනම් පුවාළු කෙහෙල් ඇවරියක් අරං යන්න තමයි ගොඩක් අය කැමති. සීනි සහ ඇඹුල් එක්ක බලද්දි කෝලිකුට්ටු කැනක ගෙඩි අඩුයි. ඒ වගේම කෝලිකුට්ටු වගාවක් නඩත්තු කරන්නත් අමාරුයි. ඒත් හැමදාම මිලෙන් වැඩි කෝලිකුට්ටු වලට හො​ඳ වෙළ​ඳ පොලක් තියෙනවා. මිල අඩුම වකවානුවක වු​ණත් කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200/=ක් විතර වෙනවා. පුෂ්ටිමත් ගෙඩි තියෙන කෝලිකුට්ටු ඉදුනාම තමයි රස වැඩිම. කෝලිකුට්ටු ඉදුනාම ඒකෙන් එන පිටි රසය දිවට අමුතු මිහිරක් එකතු කරනවා. ඉදුනාම පොත්ත තුනී ව​න ​මේ කෙසෙල් වර්ග​යේ ගෙඩි ඇතැම්විට ඉදෙනකොට පැ​ළෙනවා. එකම කාණ්​ඩයට අයිති වු​ණත් කෝලිකුට්ටු, සුවඳැල් සහ පුවාළු කෙසෙල් වර්ග තුනක්.

 

5. රත් කෙහෙල්

මේ රත් කෙහෙල් වල රසය රාස්බෙරි රහ කියලත් සමහරු කියනවා. සමහර සංස්කෘතීන් වල මේ රත් කෙහෙල් පුරුෂ ලිංගයට සමාන වූ කෙහෙල් ගෙඩියක් ලෙස දක්වා තියෙනවා. ලපටි කාලේ කො​ළ පාට මේ කෙහෙල් ගෙඩි කාලයත් එක්ක කැන ලොකු වෙද්දි රතුපාටට හැරෙනවා. ලංකාවේ අයට නම් රත් කෙහෙල් එච්චරම අල්ලන කෙසෙල් වර්ගයක් නෙමෙයි. නුවර පළාතේ සීතල කාලගු​ණය යටතේ වැඩෙන රත් කෙහෙල් මතුපිටින් රතු වුණාට ඇතු​ළත සාමාන්‍ය කෙහෙල් ගෙඩියක වගේම තමයි.

 

6. ආනමාලු

ආනමාලු සහ ඇම්බුන් දෙකම ටිකක් එක වගේ. ආනමාලු  ඉදු​ණත් තියෙන්නේ කොළ පාටට. මෙයින් ඇම්බුන් කියන එක ටිකක් ලොකුයි. ආනමාලු ගෙඩිය ඉදු​ණත් පොත්ත ඝනකමට තියෙනවා. මේකේ රසය තරමක් ඇඹුල් මිශ්‍ර පැණි රසක් ගන්නවා. කිලෝ එකකට සෙට් වෙන ගෙඩි ප්‍රමාණය නම් ටිකක් අඩුයි. මොකද කෙහෙල් ගෙඩි ටිකක් බරයි.

 

7. ඇම්බුන්

කෙසෙල් කියන්නේ අග්නිදිග ආසියාවට, ඒ කියන්නේ ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාවට අයිති ප​ළතුරක්. ඒ කාලේ ලන්දේසි සහ සුදු ජාතිකයින් මේ රටට ඇතැම් අග්නිදිග ආසියානු පළතුරු සහ කෙසෙල් හඳුන්වා දෙන්නට ඇති. 1927 වර්​ෂයේ ඒ විදිහට ලක් රජය මැදිහත් වෙලා ලංකාවට හඳුන්වා දුන්න කෙසෙල් ජාතියක් තමයි ඇම්බුන් කියන්නේ. ඇම්බුන් ඉදුනාම ආනමාලු වගේ තදම පාටට තියෙන්නේ නැහැ. ඒ වගේම ඇම්බුන් ආනමාලු වලට ටිකක් සමාන වුණාට රසය ටිකක් පිටි ගතියෙන් වැඩියි.

 

8. කැවෙන්ඩිශ්

කැවෙන්ඩිශ් කියලා හඳුන්වන්නේ සුපිරි වෙළ​ඳසැල් වල දැන් තියෙන ලස්සන කහපාට කෙහෙල් වර්ගය. මේක පෙනුමෙන් ලංකාවේ අපිට පුරුදු ආනමාලු වගේ. ඒත් ලෙල්ල කහපාට වෙනවා. කැවෙන්ඩිශ් වල තියෙන්නේ මිහිරි රසක්. කැවෙන්ඩිශ් දැනට ලංකාවෙන් පි​ටරටට අපනයනය කරන වැඩෙත් කෙරෙනවා. කොහොම වු​ණත් ඇතැම් විදේශ රටවල ඉන්න මිතුරන්ට කෙසෙල් කියලා කන්නට ලැබෙන්නේ කැවෙන්ඩිශ් වගේ බහු​ල කෙසෙල් වර්ගයක් දෙකක් විතරයි. ඉතින් ලංකාවට ආවම එයාල පුරුදු ගමේ කෙසෙල් හොයනවා. මේ කෙසෙල් ලංකාවේදි බිම් කෙහෙල් කියලත් හඳුන්වනවා.

 

9. නේත්‍රාපලම්

නේත්‍රාපලම් ගෙඩියක් කිලෝවක් හෝ ඒ ආසන්න බරක් වෙනවා. මේ ගෙඩි ලොකුයි. හැදෙන ගෙඩි ගා​ණ අඩුයි. ගෙඩියක දිග නම් සෙන්ටිමීටර 30කටත් වඩා වැඩියි. විශාල මේ කෙසෙල් වර්ගය ලංකාවෙදි මිලෙනුත් අධිකයි. මේ නේත්‍රාපලම් කඩවලදි දකින්නත් ටිකක් දුර්ලභයි. ලංකාවෙදි අපිට දකින්නට ලැබෙන විශාලතම කෙසෙල් ගෙඩිය තමයි නේත්‍රාපලම් කෙසෙල් ගෙඩිය. 

 

කෙසෙල් බටහිර රටවල ලිංගික අධ්‍යාප​න කටයුතු වලදි පුරුෂ ලිංගය සංකේතවත් කිරීමටත් යොදාගන්නවා. කෙසෙල් වලට අපි වගේම වඳුරන්, රිලවුන්, අලින් සහ ගිරවුන් වගේ සතුනුත් ගොඩක්ම ආස කරනවා. ඉතින් ලෝකේ වැවෙන කෙසෙල් අතරින් අපි දන්න කෙසෙල් වර්ග කිහිපයක් ගැන විස්තර ඔයාලට මේ හරහා ලැබෙන්න​ට ඇති කියල අපි හිතනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *