ඩී ඩී ටී කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව කෘමීන් මර්දනයට බහුල වශයෙන් යොදාගත් රසායන ද්‍රව්‍යයක්. Dichlorodiphenyltrichloroethane තමයි ඩී ඩී ටී වල දිග නම. ලංකාවෙත් මැලේරියා මර්දන කටයුතු වලට ඒ කාලේ මේ රසායනිකය පාවිච්චි වෙලා තියෙනවා. දැන් නම් ලංකාවේ නෙමෙයි, ලෝකෙන්ම මේ රසායනික ද්‍රව්‍ය ඉවත් වෙලා ඉවරයි. ඉතින් මේ මොකක්ද? මේකේ බලපෑම මොකක්ද කියලා අපි කරුණු ටිකක් දැනගමු.
1. ඩී ඩී ටී කියන්නේ මොනවාද?
ඩී ඩී ටී කියන්නේ කෘමිනාශකයක් ලෙස භාවිතා කරලා පස්සේ ඇමරිකාවේම විරෝධතා ඇවිත් තහනම් වුණ රසායනික ද්‍රව්‍යයක්. මේ රසායනිකය කෘමීන්ට, කුරුල්ලන්ට සහ ජලජ ජීවීන්ට වගේ ගොඩක් ජීවීන්ට අහිතකර විදිහට බලපානවා. ඒත් මිනිස්සුන්ට සහ කිරි බී වැඩෙන සතුන්ට එයින් වන සෘජු බලපෑම් සාපේක්ෂව අවමයි. ඒත් පරිසරයට ඇතිවෙන හානිය ගැන ඇතිවුණු කතාබහ නිසා අද වෙද්දි ඇමරිකාව ඇතුළු දියුණු ලෝකේ බොහෝ රටවල ඩී ඩී ටී තහනම් වෙලා. ඩී ඩී ටී අනෙක් රසායනික ද්‍රව්‍යයන් වලට වඩා නිපදවන්න ලේසියි. ඒ නිසා ඒ කාලේ ඉඳන් ඩී ඩී ටී මිලත් අඩුයි. දෙවන ලෝක යුද්ධ කාලේ පටන් ඩී ඩී ටී දශක ගණනාවක් පුරා කෘමි සතුන් නැතිකරන්නට පාවිච්චි වුණා. ලංකාවෙත් මැලේරියා මර්දන කටයුතු වලට ඩී ඩී ටී පාවිච්චි වුණා.
2. කාසන් ගේ පොත
රේචල් කාසන් නැමැති ලේඛිකාව 1950 දශකයේ ලියූ පොතක ඩී ඩී ටී ගැන විවේචන ඇතුළත් වුණා. ඒ වෙද්දි ලෝක යුද්ධය ඉවර වීමත් එක්ක ඇමරිකාවේ ගුවනින් ගම් නගර සිසාරා ඩී ඩී ටී ඉස්සා. මැලේරියා මර්දනය, කෘමි සතුන් නැතිකිරීම ආදී කරුණු රැසක් උදෙසා ඒ කාලේ ඩී ඩී ටී පාවිච්චි වුණා. මේ අධික ඩී ඩී ටී පාවිච්චි වූ පළාත්වල කුරුල්ලන්, මාළුන් ඇතුළු පාරිසරික පද්ධතිවල අසමතුලිතතාවයන් හට ගත්තා. කුරුල්ලන් මාළුන් මැරෙන්නට ගත්තා. ඒත් මේ හරහා මිනිසාට දැඩි හානියක් නැති නිසා එකවරම ඩී ඩී ටී තහනම් උනේ නැහැ… කාලයක් තිස්සේ වාද විවාද ගිහින් 1960 ගණන් වල රේචල් කාසන් මැරුණාටත් පස්සේ ඩී ඩී ටී ගැන නව නීති රෙගුලාසි, පාලන නීති ආවා.
3. ඩී ඩී ටී සාර්ථක විසඳුමක් වන්නේ ඇයි?
ඩී ඩී ටී මගින් කෘමි සතුන්ගේ ස්නායු පද්ධතියට හානි කරනවා. ඒ වගේම ඩී ඩී ටී ඉතා පහසුවෙන් කෘමීන් ගේ සිරුර හරහා ඔවුන් ඇතුළට යනවා. ඩී ඩී ටී මිනිසාට ඒ තරම් ලේසියෙන් ඇතුළත් වෙන්නෙ නැහැ. ඒ වගේම ඩී ඩී ටී වරක් ඉසුවාම එය සෑහෙන කාලයක් තිස්සේ ඒ අදාළ ස්ථානයේ පවතිනවා. මේ හේතුව නිසා ඩී ඩී ටී මැලේරියා මර්දන කටයුතු වලට ලෝක මට්ටමින් පාවිච්චි වුණා. දැනටත් අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ දුප්පත් පළාත් වල ඩී ඩී ටී පාවිච්චි වෙනවා. මේ ඩී ඩී ටී බිත්ති වගේ නිවෙස් ඇතුළත ආලේප කිරීමෙන් මදුරු මර්දනය ඉක්මන් කරගන්න පුළුවන්. මිල අඩුවීම, නිෂ්පාදනය පහසුවීම සහ ඩී ඩී ටී මගින් සැබෑවටම කෘමීන් ඉක්මනින් නැසීම නිසා එය ලොව පුරා කෘමීන් නසන්නට පාවිච්චි වුණා.
4. ඩී ඩී ටී වලට ඔරොත්තු දීම
ඩී ඩී ටී නිවෙස්වලට ඉස්සත් ගෙමැස්සන් වැනි ජීවීන් ඩී ඩී ටී වලට ප්‍රතිරෝධී බවක් අත්කරගන්නා බව සොයාගත්තා. ඩී ඩී ටී වලට ප්‍රතිරෝධී වීමත් එක්ක වෙනත් රසායනික සංයෝග නැවත නැවතත් ඉහින්නට සිද්ධ වෙනවා. මෙයින් ඩී ඩී ටී බලපෑමෙන් කුරුල්ලන්ට ඔවුන්ගේ බිත්තර සම්බන්ධයෙන් අවුලක් ඇති වුණා. කුරුල්ලන්, මාළුන් වැනි සතුන්ට මේ ඩී ඩී ටී පාරිසරික වශයෙන් නරක අතට කළ බලපෑම විශාල පරාසයක විහිදුනා. ඒ වගේම කෘමීන් මගින් සිදුකරන පාරිසරික කාර්යයක්ද තිබෙන නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම වඳ වීමත් පරිසරයට එතරම්ම හොඳ දෙයක් නෙමෙයි.
5. ඩී ඩී ටී සොයාගැනීම සහ ඉතිහාසය
ඩී ඩී ටී පළමුවර 1874 දී නිෂ්පාදනය කෙරුණා. එහෙත් 1939 දී ස්විස් විද්‍යාඥ හර්මන් මුලර් ගේ සොයාගැනීමෙන් පසුවයි එය කෘමීන් නැසීමට පාවිච්චි වන්න පටන් ගත්තේ. දෙවන ලෝක යුද්ධයේදී නිවර්තන රටවල සිටි කෘමීන් සහ කෘමීන් මගින් බෝවන රෝග ආදිය සෙබළුන්ට විශාල තර්ජනයක් වුණා. ඒ අවධියේ මේ ඩී ඩී ටී, යුද්ධ බිමේ සෙබළුන්ට කෘමීන්ගෙන් ගැලවෙන්න හොඳ අස්වැසිල්ලක් වුණා. පසුකාලීනව මේ ඩී ඩී ටී වලින් කෙලින්ම මිනිසුන්ට අනතුරු අඩු බව සොයාගත් නිසා එය ගුවනින් අමරිකාවේ බොහෝ පළාත් වලට ඉසිනු ලැබුවා.
6. ඩී ඩී ටී තහනම සහ දේශපාලනය
ඩී ඩී ටී විවාදය අමරිකාවේ පනහේ දශකයේ සිට ක්‍රියාත්මක වුණා. එහිදී සැබැවින්ම ඩී ඩී ටී වල ඇති පරිසරික හානිය පැහැදිළි වුවත් කෘමිනාශක ලෙස ගෘහ පාවිච්චියට එහි භාවිතයේ ඇති දෝෂය නිරාවරණය කරගන්න ඩී ඩී ටී විරෝධීන්ට නොහැකි වුණා. ඇමරිකානු රජය මගින් පත් කළ සංවිධාන මගිනුත් ඩී ඩී ටී වල ඇති අනතුර හරියට අනාවරණය කරගන්න බැරි වුණත් එවකට ආන්දෝලනාත්මක ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් දේශපාලන වාසි තකා දෝ හෝ ඩී ඩී ටී අමරිකාවේ තහනම් කළා. ඇමරිකාවේ තහනම් කළ දෙයක් සාමාන්‍යයෙන් ඇමරිකානු ආධාර ලබන රටවල පාවිච්චි කරන්නට බැහැ. ඒ වගේම ලොව පුරා ඇමරිකානු ආධාර මත ක්‍රියාත්මකව මැලේරියා මර්දන වැඩසටහන් ආදියෙනුත් ඩී ඩී ටී ඉවත් වුණා. යම් යම් දොස් ඇතත්, ගෘහ පාවිච්චියට, මදුරුවන් මර්දනයට තවමත් ඩී ඩී ටී සුදුසු කෘමිනාශකයක් විදිහට හැඳින්වෙනවා.
7. ඩී ඩී ටී සහ අද ඇති රසායනික
ඩී ඩී ටී වල අර්ධ ආයුකාලය ටිකක් වැඩියි. ඉස්සර ඩී ඩී ටී මදුරු මර්දන වැඩවලට ගනිද්දිත් වසර පහකට වතාවක් තමයි මදුරු තෙල් ගෙවල් වලට ඉස්සේ. ඒ නිසාම ඩී ඩී ටී අපේ පරිසරය තුළ වෙනත් රසායනික ප්‍රභේද බවට පත් වෙලා අපිට සහ ජෛව පද්ධති වලට කරන්න තියෙන හානිය වැඩියි. ඒත් ඒක කෘමිනාශකයක්, මදුරු නාශකයක් විදිහට නම් මිනිස්සුන්ට තිබෙන වාසියක්. අද අපි පාවිච්චි කරන ඇලත්‍රින් වගේ මදුරු නාශකයක ජීවය තිබෙන්නේ දවස් කිහිපයක් විතරයි. මදුරු නෙට් සඳහා යොදාගන්නා කෘමිනාශක දියරයක් වුවත් ජීව කාලය අවුරුද්දක් ඇති. ඒ වගේම අද වනවිට ඒ අදාළ කෘමීන්ට පමණක් පහර දෙන රසායනික තියෙනවා. ඒ නිසා ඉස්සර වගේ සත්තු ගොඩකට සැරට බලපාන කෝකටත් තෛලයක් වගේ ඩී ඩී ටී පාවිච්චි කරන්න උවමනාවක් නැති තරම්.
මිනිසුන්ට පරිසරය එක්ක තියෙන ගනුදෙනුව විශේෂ එකක්. සම්පූර්ණයෙන්ම පරිසරය ආරක්ෂා කරගන්න බැරි වුනත් අපි හැකි පමණ පරිසරය හොඳින් තියාගන්නට ඕනි. මේ නිසා මිනිසුන්ට කෙලින්ම හානියක් නැතත් පරිසරයට දැඩිව බලපාන ඩී ඩී ටී වලින් ඈත්වෙන්නට ලෝකෙම තීරණය කළා.
Leave a Reply