කේක් හදන්න ආසයිද? එහෙනම් මෙන්න මේ ටූල්ස් ඔයාල ළඟ තියෙන්නම ඕන

කේක් හදන්න ආස උනත් ඕන කරන දේවල් ගැන බේසික් දැනුමක්වත් නැති අය අපි අතරෙ ගොඩක් ඉන්නව. ඉතින් කේක් එකක් හදන්න ඕන කරන උපකරණ ගැන අද අපි කතා කරන්න හිතුවා. ඔන්න ඔයාලටමයි මේ ආටිකල් එක. මේක කියවලා නොතේරෙන තැන් කමෙන්ට් එකකින් අහන්න අමතක කරන්න එපා. 

 

1. කේක් බේකින් තැටි (Baking Trays) 

කේක් එකක් හදනකොට අවධානය දෙන්න ඕනෙ කාරණා අතරෙ මේකට ලොකු තැනක් දෙන්න ඕනේ. මොකද කේක් එක බේක් කරන ට්‍රේ එක කේක් එකේ නිමාවට ගොඩක් වැදගත් වෙනවා. බේකින් ට්‍රේස් එක එක ප්‍රමාණ වලින් තියනවා. අපි හදන කේක් එක අනුව අපිට අවශ්‍ය කරන ට්‍රේ එක රවුම්, හතරැස්, සෘජුකෝණාස්‍රාකාර හෝ කේක් ඩිසයින් එක අනුවත් ලබාගත හැකියි. ඒ වගේම පහළින් දාලා තියෙනවා හදන්න ගන්න කේක් ප්‍රමාණය අනුව ගන්න ඕනෙ ට්‍රේ වල දිග, පළල, විෂ්කම්භය. හතරැස් ට්‍රේ එකේ වර්ගඵලය අනුව සෘජුකෝණාකාර ට්‍රේ වල ප්‍රමාණය ඔයාලට හදාගන්න පුළුවන්. 

 

රවුම් ට්‍රේ

 

ග්‍රෑම් 500 – අඟල් 6

ග්‍රෑම් 750 – අඟල් 7

කිලෝ 1 – අඟල් 8-9

කිලෝ 2 -අඟල් 12-13

 

හතරැස් ට්‍රේ

 

ග්‍රෑම් 500- අඟල් 6*6

ග්‍රෑම් 750 – අඟල් 7*7

කිලෝ 1 – අඟල් 8*8

කිලෝ 2 – අඟල් 12*12

 

2. මිනුම් උපකරණ (Measurement Tools)

කේක් එකක් සාර්ථකව හදාගන්න නම් දාන අමුද්‍රව්‍ය නියමිත ප්‍රමාණ වලින් තියෙන්න ඕනේ. මේකට ඕන කේක් මෙෂරින් කප්ස්, ස්පූන්ස් වගේම මිනි ස්කේල් (තරාදි) දැන් වෙළඳපොළෙන් ගන්න පුළුවන්.  එක එක අමුද්‍රව්‍ය නියමිත ප්‍රමාණ වලින් මැනගන්න මෙෂරින් කප්ස් ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම ස්කේල් එකකින් අපිට ලේසියෙන්ම හැමදෙයක්ම මැනගන්න පුළුවන්. ස්කේල් එකක් ගන්නකොට ඩිජිටල් ස්කේල් එකක් ගන්න. මොකද බේකින් පවුඩර් වගේ පොඩි ග්‍රෑම් ගණන් මනිනකොට ඒක ගොඩක් වැදගත් අපිට.

 

3. ඉලෙක්ට්‍රික් උපකරණ (Electric Items)

කේක් එකක ජීවය රඳා පවතින අයිටම් දෙක ගැනයි මේ. 

 

අවන්

 

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ගන්න හොඳ අවන් එක මොකද්ද කියලා. ඉස්සර අපේ අම්මලාගෙ කාලෙනම් නැෂනල් තමා ලංකාවේ ප්‍රසිද්ධම. ඒත් දැන් නැෂනල් කම්පැනි එකෙන් අවන් එන්නෙ නෑ. ඒ වගේම ඊට වඩා හොඳ බෙකෝ (Beko) වගේ අවන් තියනවා. ඔයාට ඕන ප්‍රමාණය අනුව අවන් එක තෝරගන්න පුළුවන්. ටිකක් ප්‍රමාණයෙන් ලොකු අවන් එකක් නම් අපිට එකපාර ට්‍රේ 2-3ක් උනත් බේක් කරගන්න පුළුවන්. එහෙම එකක් හොඳ ව්‍යාපාරික මට්ටමින් කේක් හදන කෙනෙක්ට. ගෙදරක පාවිච්චියට නම් සාමාන්‍ය ප්‍රමාණයේ වගේම සාමාන්‍ය කොලිටියක අවන් එකක් හොඳටම ඇති. 

 

මික්සර්

 

කේක් මික්සර් නම් නානාප්‍රකාර බ්‍රෑන්ඩ් වලින් තියනවා. ස්ටෑන්ඩ් මික්සර් හා හෑන්ඩ් මික්සර් මේ දෙවර්ගයෙන්ම ගන්න පුළුවන්. ඔයා කේක් නිර්මාණ ශිල්පියෙක් හෝ නිතරම කේක් හදන කෙනෙක් නම් හොඳ බ්‍රෑන්ඩ් එකක ස්ටෑන්ඩ් මික්සර් එකක් ගන්න එක තමයි පහසු. කේක් එකක ගුණාත්මකභාවය රඳාපවතින්න් කේක් එක හොඳට බීට් වීම තුළයි. කේක් එකක් ගහන්න ඕනෙ නියමිත කාලය බීට් නොවුණාම තමා ඔය කේක් බහිනවා, කේක් එක සොෆ්ට් නෑ, වේළිලා වගේ ප්‍රශ්න එන්නෙ. ඒ නිසා කේක් බීටර් එක ගැන ලොකු අවධානයක් දෙන්න ඕනේ.

 

4. සරලව බටර් කේක් එකක් කවර් කරගන්න ඕන ටූල්ස්

කේක් එකක් හදන්න ඕන ටූල්ස් අපි උඩින් කතා කළානේ. මේ කියන්න යන්නෙ කේක් එක අයිසින් කරන්න ඕන කරන දේවල් ගැන. කේක් අයිසින් කලාවෙ උඩින්ම ඉන්නව ස්පැතූලා (Spatula) එක. මේක නැතුව කේක් එකක් නීට් එකට අයිසින් කරන්න බෑ. කේක් එකේ අයිසින් ගාන්න, නීට් කරන්න මේ ඔක්කොටම මේක හරිම ප්‍රයෝජනවත්. ස්පැතූලා විවිධ සයිස් වලින් තියනවා. 

ඒ වගේම අයිසින් ස්මූතර් (Smoother) කේක් එකේ නීට්නස් එකට ගොඩක්ම වැදගත් මේක. ඩිසයින් වලින් එන ස්මූතර්ස් එහෙමත් දැන් ගන්න තියනවා. 

බේක් කරපු කේක් එක ගාණට කපාගන්න කේක් ලෙවලර්ස් (Leveler) තියනවා. ඒකෙන් ලස්සනට අපිට කේක් එක ලෙවල් කරගන්න වගේම ලේයර් කරගන්න පුළුවන්.

 

 

5. ෆොන්ඩන්ට් කේක් එකකට ඕන ටූල්ස්

ෆොන්ඩන්ට් කේක් එකක් කියන්නෙ ෆොන්ඩන්ට් අයිසින් ශීට් එකකින් කවර් කරලා ෆොන්ඩන්ට් ටොපර්ස් එක්ක හැඩ කරන කේක් එකක්නේ. ෆොන්ඩන්ට් අයිසින් එක හදාගන්න වගේම තුනී කරගන්න ෆොන්ඩන්ට් ශීට් (Fondant Sheet) එක ගොඩක් වැදගත්. ඒ වගේම සිලිකන් රෝලින් පින් (Silicone Rolling Pin) එකකුත් ඕනෙමයි. කේක් එකට ෆොන්ඩන්ට් එක එලලා වටේ කපාගන්න ෆොන්ඩන්ට් කටර් (Fondant Cutter) එකක් ඕනේ. 

එක එක ෆොන්ඩන්ට් ඩිසයින් හදාගන්න සිලිකන් මෝල්ඩ් වගේම කටර්ස් දැන් ගන්න තියනවා. නීට් එකට ලස්සනට ඩිසයින් දාගන්න මේ කටර්ස් ගොඩක් ප්‍රයෝජනවත්. ෆොන්ඩන්ට් ටොපර්ස් වලටත් වෙනමම මෝල්ඩ් දැන් ගන්න තියනවා. ඒ වගේම තවත් අමතක කරන්නම බැරි දේ තමා ෆොන්ඩන්ට් ටූල් සෙට් එක. මේක ප්ලාස්ටික්, ලී හෝ ස්ටීල් වලින් ගන්න පුළුවන්. 

 

6. ඩෙකරේටින් නොසල්

බටර් අයිසින් වලින් ලස්සන ඩිසයින් දාන්නෙ මේ නොසල් වලින්. නොසල් ගැන කතාකරනකොට සෑහෙන කාරණා තියනවා කියන්න. ඒ උනාට අද අපි සරලවම කේක් එකක් අයිසින් කරන නොසල් ගැන කිව්වොත් ස්ටාර් නොසල් එක, 2D, 6B, ලීව් නොසල්, රශියන් නොසල්, විල්ටන් නොසල්, පෙට්ල් නොසල්, බාස්කට්වීව් නොසල්, ඕපන් ක්ලෝස් නොසල් ආදී නොසල් ගොඩක් නම්බර්ස් ගොඩකින් තියනවා. 

බටර් අයිසින් වලින් ඕනම ඩිසයින් එකක් දාගන්න හරිම ලේසියි. පයිපින් බෑග් හෝ නොසල් සිරින්ජර් සෙට් ගන්න තියනවා. හැබැයි මේකෙන් ලේසිම පයිපින් බෑග් එකට නොසල් එක දාලා පයිප් කරන එක. අපි මීට කලින් කරපු අයිසින් නොසල් ගැන ආර්ටිකල් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. 

ඒ ඒ මෝස්තරේට ගැලපෙන අයිසින් නොසල්ස් වර්ග හඳුනාගමු

 

7. පයිපින් බෑග්, ෆොයිල්, කප් කේක් ලයිනර්ස්  හා අනෙකුත් දෑ

කේක් හදන්න අවශ්‍ය දේවල් අතරේ පයිපින් බෑග්ස්, කප්කේක් ලයිනර්ස් විශේෂයි. ලයිනර්ස් සෙට් ගන්න තියනවා කේක් බඩු ශොප් වල. කේක් වලට ගන්න ඔයිල් පේපර්ස් එහෙම නීට් එකට එලාගෙන කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අලුත් ටෙක්නික්ස් එක්ක ටූල්ස් ගොඩක් තියනවා අපිට කේක් හදන වැඩේ පහසු කරන. කේක් කවර් කරන බටර් පෙපර්ස්, ෆොයිල් පේපර්ස් මේ හැමදෙයක්ම අපිට කේක් හදන්න උදව් වෙනවා. 

කේක් ටූල්ස් කිව්වම අයිසින් මල් හදන්න වෙනම විශේෂිත ටූල්ස් තියනවා. 

මේ අද අපි කතා කළේ සරලවම කේක් එකක් හදන්න ඕනේ දේවල්. මේවා එකින් එක ගත්තම තව ගැඹුරට කතා කරන්න පුළුවන්. අපි ඒවා තවත් දවසක කතා කරමු. 

 

අද මේ කිව්ව ටූල්ස් සහ උපකරණ ඔයාලට ගොඩාක් අඩු මුදලකට පිටකොටුවෙන් මිලදීගන්න පුළුවන්. ව්‍යාපාරික මට්ටමින් කේක් හදන්න හිතන කෙනෙක්ට කේක් උපකරණ කඩ ගැන අපි ලිව්ව මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.