අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු නෑදෑයෝ ගැන රසවත් ලිපියක් අපි පහුගිය සතියක ගෙන ආවා ඔයාලට මතක ඇති. මේ ලිපියට අපි පාදක කරගන්නෙත් නෑදෑයෝ සෙට් එකක් තමයි. මෙයාලාත් ලේසි පාසු උදවිය නෙමෙයි, ලංකාවේ අංක එකේ ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරේ නියෝජනය කරන්න සමත් වෙච්ච අය තමයි මේගොල්ලො. මේ සමහරක් අය එකම කණ්ඩායම නියෝජනය කරලත් තියෙනවා. අපි බලමුද මේ අය කවුද කියලා…
1. රණතුංග සහෝදරයෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් වල ජනප්‍රියම පවුල හැටියට රණතුංග පවුල අපිට අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. මේ පවුලේ ජනප්‍රියම සහ දක්ෂම ක්‍රීඩකයා ඉතින් අපේ කැප්ටන් කූල් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කැප්ටන් කූල් අර්ජුන රණතුංගට අමතරව නිශාන්ත රණතුංග, ධම්මික රණතුංග සහ සංජීව රණතුංග කියන රණතුංග සහෝදරයොත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සමත්වෙලා තියනවා. මේ අය අතරින් අර්ජුන ගාවට වැඩිම දස්කමක් දක්වන්න සමත්වෙලා තියෙන්නේ සංජීව රණතුංග තමයි. ඔහු ටෙස්ට් තරග 9කට ක්‍රීඩා කරල ශතක 2කුත් අර්ධ ශතක දෙකකුත් වාර්තා කරගන්න සමත්වෙලා තියනවා.
2. සමරවීර සහෝදරයෝ
දුලිප් සහ තිලාන් සමරවීර කියන්නේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නට වාසනාව උදාකරගත්ත තවත් සහෝදර දෙපළක්. මේ දෙන්නා අතරින් මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව උදාකරගන්නෙ වැඩිමල් සහෝදරයා දුලිප් සමරවීරයි. 1993 අවුරුද්දෙ බටහිර ඉන්දීය කොදෙවුවන්ට එරෙහිව ටෙස්ට් සහ එක්දින වරම් ලබන්නට දුලිප් සමරවීර සමත්වෙනවා. කොහොම වුණත් කැපීපෙනෙන තරම් දස්කම් දක්වන්න නම් දුලිප් සමරවීරට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දුලිප්ගේ බාල සොයුරා තිලාන් සමරවීර මුලින්ම ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට තමයි සුදුසුකම් ලබන්නේ. නමුත් පස්සෙ කාලෙකදි තිලාන් කැපී පෙනෙන්නෙ ලංකාවෙන් බිහිවෙච්ච අතිදක්ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියටයි. ටෙස්ට් තරඟ 81කට ක්‍රීඩා කරල ලකුණු 5000 සීමාවත් පහුකරල යන්න තිලාන් සමත්වෙනවා.
3. බන්දුල මාමා සහ මලින්ද පුතා
බන්දුල වර්ණපුර කියන්නේ ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවෙන සටහන් දෙකක් තැබූ පුද්ගලයෙක්. ඉන් එකක් සතුටුදායක මතකයක් වෙන අපේ මුල්ම ටෙස්ට් තරඟය. ඒ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙන්නෙ ඔහුයි. බන්දුල ගැන අනිත් සටහන නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කළු පැල්ලමක් හැටියට සටහන් වෙන දකුණු අප්‍රිකා තහනම් සංචාරයට සහභාගි වීම. බන්දුල ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහින් දශක කීපයක් යද්දි ඔහුගේ ඥාති පුතෙක් වෙන මලින්ද වර්ණපුර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබන්න සමත්වෙනවා. 2007-2009 කාලසීමාවෙදි ටෙස්ට් තරඟ 14කටත් එක්දින තරඟ 3කටත් ඔහු ක්‍රීඩා කරනවා.
4. සිල්වා සහෝදරයෝ
චතුරංග ද සිල්වා සහ වනිඳු හසරංග ද සිල්වාව තමයි සිල්වා සහෝදරයො කියල අපි හැඳින්වුවෙ. මේ දෙන්නගෙ නමේ මුලට එනවා පින්නදූවගේ කියල කෑල්ලක්. ඒ කෑල්ල කියපු ගමන් අපේ මතකයට එන්නෙ ලංකාවෙ ක්‍රිකට් වලින් බිහිවුණු දක්ෂතම පිතිකරුවෙක් වෙන පින්නදූවගේ අරවින්ද ද සිල්වාව. කොහොම වෙතත් අරවින්ද ද සිල්වා සහ සිල්වා සහෝදරයන් අතර ඥාති සම්බන්ධයක් තියෙන බවක් නම් දැනගන්න ලැබෙන්නෙ නැහැ. චතුරංග සහ වනිඳු හසරංග ගැන කියද්දි ඒ දෙන්නාට ලැබුණු අවස්ථා වලින් නිසි ප්‍රයෝජනයක් ගත්තාද කියන එක සැකයක්. වනිඳු හසරංග තමන්ගේ මංගල එක්දින තරඟයේදි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුළු ත්‍රිත්වයක් දවාගෙන යම් බලාපොරොත්තුවක් දැල්වුවත්, ඉන් පස්සේ ඔහුට දක්ෂතා අතරට එන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
5. වෙත්තමුනි සහෝදරයෝ
1983 අවුරුද්දෙ මාර්තුවේදි නවසීලන්තයත් එක්ක පවත්වපු ටෙස්ට් තරඟයකදි එක් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා පිතිකරණ ඉනිම අරඹමින් සහෝදරයෝ දෙදෙනෙක් පිටියට පිවිසීම. මේ දෙන්නා නමින් සිදත් වෙත්තමුනි සහ මිත්‍ර වෙත්තමුනි. ඒ ඉනිමේදි මේ සහෝදරයෝ දෙන්නා පළමු කඩුල්ලට ලකුණු 49ක සම්බන්ධතාවයක් පවත්වන්න සමත්වෙනවා. මේ දෙන්නගේ වැඩිමල් සොයුරා වෙන සුනිල් වෙත්තමුනිත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිළට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. මේ තුන්දෙනා අතරින් වඩාත් ජනප්‍රියත්වයක් ලබන්නෙ සහ දක්ෂතා අතරට එන්නෙ බාලම සහෝදරයා වෙන සිදත් වෙත්තමුණියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ වාර්තාව හිමිවෙන්නෙත් සිදත් වෙත්තමුනිට තමයි.
6. මාවන් අතපත්තු සහ රණතුංග පවුල
මාවන් අතපත්තු කියන්නේ අර්ජුනගෙන් පස්සේ කාලෙකදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උසුලපු ක්‍රීඩකයෙක්. ඒ වගේම තාක්ෂණයෙන් පිරිපුන් ආරම්භක පිතිකරුවෙක්. මාවන් අතපත්තුත් අර්ජුන රණතුංගත් නෑ කමට මස්සිනාලා වෙන දෙන්නෙක්. අර්ජුනගේ බාල සහෝදරයා වෙන සංජීව රණතුංග විවාහ වෙලා ඉන්නේ මාවන්ගේ සහෝදරියක් එක්කයි. මේ නෑදෑකම් නිසා කාලෙන් කාලෙට මාවන්ට සහ අර්ජුනට ඥාති සංග්‍රහය ගැන කියලා නොයෙකුත් චෝදනාත් එල්ල වෙනව අපිට දකින්න ලැබුණා.
7. කළුපෙරුම සහෝදරයෝ
ලලිත් සහ සනත් කළුපෙරුම සහෝදරයන් දෙන්නා 1970-80 ගණන් වලදි තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නෙ. හැබැයි දෙන්නට එකතුවෙලා එකම තරඟයකට ක්‍රීඩා කරන්න නම් අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. මේ දෙන්නාගෙන් මුලින්ම ටෙස්ට් වරම් ලබාගන්න ලලිත් කළුපෙරුම එංගලන්තයත් එක්ක පවත්වපු අපේ මංගල ටෙස්ට් තරඟයටත් ක්‍රීඩා කරනවා. පළමුපෙළ තරඟාවලිවල දක්ෂ දඟපන්දු යවන්නෙක් හැටියට වාර්තා ඉසිලුවත් ජාත්‍යන්තර තරඟවලදී ඒ හැටි දස්කම් දක්වන්න ලලිත් කළුපෙරුමට හැකියාව ලැබුණෙ නෑ. ටෙස්ට් තරඟ 2කටත් එක්දින තරඟ 4කටත් පමණයි ඔහුට ක්‍රීඩා කරන්න ලැබෙන්නෙ. ලලිත්ගේ බාල සොයුරු සනත් කළුපෙරුමත් පහුකාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමට තේරෙනව. ඔහුට ක්‍රීඩා කරන්න ලැබෙන්නෙත් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින තරඟ 2කට විතරයි.
බෝනස් – ගයී ද අල්විස් සහ රසංජලී ද අල්විස්
මේ කියන්න යන්නෙත් ක්‍රිකට් පවුලක කතාවක්. සැමියා සහ බිරිඳ කියන දෙන්නම එකම කණ්ඩායම නොවුනත්, ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් නියෝජනය කිරීමේ වාර්තාවක් මේ. ගයි ද අල්විස් කියන්නේ 80 ගණන් වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කඩුළු රකින්නෙක් හැටියට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ඒ වගේම පසු කාලෙකදි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හැටියට කටයුතු කළ අයෙක්. රසංජලී ද අල්විස් කියන්නේ ගයි ගේ බිරිඳ. ඇය ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩිකාවක්. 2013 වර්ෂයේදී පිළිකා රෝගයට ගොදුරු වීම නිසා ගයි ද අල්විස් මහතා මෙලොවින් සමුගත්තා.
Leave a Reply