චෙන්නයි යනු ලංකාවේ කොළඹට ආසන්නතම විශාලතම නගරයයි. ඉන්දියාවේ සයවන තැනට විශාලතම චෙන්නයි නුවර තමිල්නාඩුවේ අගනුවරද වේ. මීට වසර හතරකට පෙර මහා ගංවතුර උවදුරකට මුහුණ දුන් චෙන්නයි හි දැන් මහා ජල හිඟයකි. නාගරික ජනතාවගෙන් බොහොමයකට නල ඇතිමුත් නගරයේ බොහෝ පළාත්වල නල වල ජලය එන්නේ නැත. ජල සැපයුම නොමැති කමෙන් නගරය ජුනි මාසයේ දැඩි පීඩාවකට පත් විය. ලංකාවේම ජනගහනය මිලියන 21කි. චෙන්නයි නගරයේ පමණක් මිලියන 9ක ජනතාවක් සිටී. ඒ මිලියන 9 ඇතුළු ඒ පළාතේම ජනයා වතුර නැති ගැටුමකට මැදි වී සිටිති.
1. අහසේ සිට බැලූ විට
නාසා ආයතනයෙන් 2018 මැයි සහ 2019 ජුනි ගත් ඡායාරූප අනුව නගරයේ ප්‍රධානතම ජල මුලාශ්‍රයක් වන පසල් ලේක් හි ජලය අඩුවීම මැනවින් පෙනේ. 2018 මැයි වලදි ජලය පිරී තිබු පසල් විලේ දැන් ඇත්තේ මඩ ගොඩක් පමණි. ඒ ඉතුරු වී ඇති ජලයටද අපද්‍රව්‍ය එකතු වී ඇති නිසා බොන්නට ගන්නට විදියක් නැත. චෙන්නයි වලට වතුර දෙන ප්‍රධාන මූලාශ්‍ර හතරේ ජලය ඝන අඩි මිලියන 11,257ක් රඳවාගත හැකිය. ඒත් දැන් ඇත්තේ ඝන අඩි මිලියන 23ක වතුර පමණි. මේ වනවිට චෙන්නයි හි පානීය ජල මූලාශ්‍ර වල ඉතිරිව ඇත්තේ සමස්ථ ජලාශ ධාරිතාවෙන් 0.2ක් පමණි.
2. එතකොට කොහෙන්ද දැන් මිනිස්සුන්ට වතුර?
නල වලින් එන ජල සැපයුම නැවතුනාට පස්සේ බවුසර තමයි මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව. බවුසර වලට වතුර පුරවගන්නත් කිලෝමීටර තිහ හතලිහ චෙන්නයි වල ඉඳලා යන්න වෙලා. දුම්රියෙනුත් වතුර චෙන්නයි වලට ප්‍රවාහනය කරනවා. මේ බවුසර වතුර ගැලුමක් රුපියල් තුන හතරක් විතර වෙනවා. සමහර වෙලාටව ගොඩක් දුර ඉඳලා ගේන වතුර ඊටත් වඩා මිලයි. දැන් චෙන්නයි වල සැප එපාර්ට්මන්ට් වල ඉන්න ජනතාවගේ සිට පහළ මුඩුක්කු වල ඉන්න ජනතාව දක්වා ඔක්කෝම බවුසර එනකල් පෙර මග බලාගෙන ඉන්නවා. තමුන්ගේ ගම් වල තියෙන ජල මූලාශ්‍ර හිඳෙනකල් වතුර බවුසර වලට පුරෝගන්නවා කියලා ඇතැම් බවුසරකරුවන්ට තර්ජනත් එල්ලවෙලා.
3. කර්මාන්ත සහ අධ්‍යාපන කටයුතු වලට ඇති බාධාව
චෙන්නයි කියන්නේ ඉන්දියාවේ ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ ජනප්‍රිය පළාතක්. ඒ වගේම චෙන්නයි මෑතකදි අයි ටී සමාගම් අතරත් හොඳ නමක් දිනාගත් නගරයක් වුනා. ඒත් මේ සමාගම් ෆැක්ටරි ඔක්කෝම දැන් ජල ගැටුමත් එක්ක අඩපණ වෙලා. වැසිකිළි වලවත් වතුර නැතිව සේවකයින්ට එන්න කියන්න බැරි නිසා සමහර අයිටී සමාගම් වල සේවකයින්ට ගෙදර ඉඳන් වැඩ කරන්න අවසර දීලා තියෙනවා. ඉස්කෝල වල දරුවෝ දැන් පොත් වලටත් වැඩිය බරට වතුර ඉස්කෝලේ අරං යනවා. මොකද ඉස්කෝලේ සේදුම් කටයුතු, ආහාර ගැනීම්, වගේම වැසිකිළි වලටවත් වතුර නැහැ. මේ නිසා නගරයේම සාමාන්‍ය තත්ත්වය යම් තරමකින් අඩපණ වෙලා තිබුනා.
4. ආපන ශාලා සහ හෝටල
සැප පහසු හෝටල වල නම් මිල වැඩියෙන් දීලා ඉන්න අයට ජලය ටික නාන්න එහෙම ලැබෙනවා. ඒත් සාමාන්‍ය හෝටල වල වතුර සැපයුම් සීමා කරලා. කෑම කන්න පොඩි තැනකට ගොඩ වුනත් දැන් පිඟන් නැහැ. පේපර් ප්ලේට් වලට කෑම දීලා කෑම පිඟන් හෝදන්න යන වතුර ටික පිරිමහගන්න හෝටල් සේවකයින් කටයුතු කරනවා. සමහර හෝටල හිමියන් කියන විදියට වතුර ගැටුම නිසා සංචාරකයින් පිටින් එනවා අඩු නිසා හෝටල දැන් වහන්නත් වෙන තත්ත්වයට ඇවිල්ලා.
5. මොකද්ද හේතුව?
චෙන්නයි වලටත් වැහි වැටෙන්නෙ අපට වගේම මෝසම් වැහි වලින්. අපිටත් දැනට බලපාලා තියෙන විදියට මෝසම් වැහි වෙනදා තරම් මේ පාර වැටුන් නැහැ. ඒ නිසා වැස්සට පිරෙන ජලාශ මේ පාර පිරුණේ නැහැ. චෙන්නයි කියන්නෙත් කොළඹ වගේ මූද අයිනේ තියෙන නගරයක්. නගරයේ තිබුන වගුරුබිම් ගොඩ කරලා පහුගිය කාලේ ගොඩනැගිලි හැදුවා. ඒ වගේම නගරයටම ජලය සපයන ජලාශ වල පෝෂක පළාත් වලත් ගොඩනැගිලි හැදුනා. ඒත් එක්ක වෙනදා තරම් වතුර ප්‍රමාණයක් ජලාශ වලට එකතු වුනේ නැහැ. මේ අවිධිමත් විදියට සිදුවන නාගරිකකරණය නිසා මීට අවුරුදු හතරකට කලින් චෙන්නයි නගරය නොකවුට් වෙන්නම යට වුනා. අද ඒ පිලිවෙලක් නැති නාගරික වටපිටාවම චෙන්නයි නගරයට වතුර නැතිකරලා තියෙනවා.
6. වතුර ගැටුමට විසඳුම්
ඉන්දියාවේම රාජස්ථානය කියන්නේ කාන්තාර පරිසරයක්. ඒ පැතිවල ජනතාව වැස්සට පස්සේ ජලය එකතුකරගෙන පසුකාලෙක පාවිච්චියට තියාගන්නවා. රාජස්ථාන් ගම් වල භූගත ටැංකිවල මිනිස්සු මාස ගණන් වැසි ජලය ආරක්ෂා කරගෙන පාවිච්චි කරනවා. චෙන්නයි පළාතට ලැබෙන වැසි ජලය ඉතිරි කරගන්න එක ගැන මේ දිනවල කතා වෙනවා. කුඩා පරිමාණයේ සිට විශාල මට්ටම දක්වා වැසි ජලය ඉතිරිකරගන්න සැලසුම් ගැන කතා වෙනවා. ඒ වගේම අප ජලය විදියට ඉවත යන ජලය නැවත භාවිතයට ගන්න එක ගැනත් චෙන්නයි වල විද්වතුන් අදහස් දක්වලා තිබුනා. මේ වගේ දීර්ඝකාලීන ලෑස්තිවීම් හැර වැස්ස වැටෙනකල් චෙන්නයි වල ජනතාවට දෙන්න විසඳුමක් පාලකයින්ට, විද්වතුන්ට නැහැ.
7. දැක්ම සහ වතුර
අලුත් අයිටී කම්පැනි, කර්මාන්තශාලා එක්ක නගරයට ඇදෙන ජනතාව වැඩිවෙනවා. එහෙම ජනතාව සහ අවශ්‍යතා වැඩිවුනා කියලා නගරයට සහ නගරයේ ජල මූලාශ්‍ර වලට වැටෙන වැස්ස වැඩිවෙන් නැහැ. ඒ නිසා ලැබෙන වැසිජලය කොහොමත් ඉදිරියේදී මදිවෙන තත්ත්වයක් ඉන්දියාවේ නගර කීපයකටම බලපාලා තියෙනවා. මේ ජල සැපයුම ඉන්දියාවේ දිල්ලි, බැංගලෝර් වගේ නගර කීපෙකටම බලපාලා තියෙන ප්‍රශ්නයක්. 2018 දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයත් ජලය නැතුව දැඩි සේ පීඩාවින්දා. දූෂිත දේශපාලකයින් සහ නිළධාරින් හිතුමනාපයට නගරයේ ඉදිකිරීම් වලට ඉඩ දුන්නා. ඉන් පස්සේ නගරයේ ජල ගැටළු ඒ නිසා දැන් උග්‍ර තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.
අපේ රටෙත් දැනටම කළුතර මාතර වගේ නගර වල පොඩි නියං තත්ත්වයකදිත් ජල සැපයුම ප්‍රශ්නයක් වෙනවා. කොළඹ වුනත් විශාල ව්‍යාපෘති ඉදිකිරීම් රාශියක් ඇතිවෙද්දි ජල සම්පත කොහොමද ඒවාට සපයන්නේ කියන එක ගැන තවදුරටත් හිතන්න කාලය ඇවිත්. නිතරම දේශපාලන පොර පිටියේ සිදුවන නාටක බලනවා සේම අනාගතයේ අපිට ඕනි ජලය ටිකවත් හරිහැටි සපයන්න පාලකයන්ට හැකිවේවිද කියලා හොයාල බලන එක අපේ ජනතාවගෙත් වගකීමක් වෙනවා.
Leave a Reply