ඕන ගෙදරක නිතර හදන බෝංචි වෙනස් විදියට හදාගන්න රෙසිපි 7ක්

හැමදාම කන පරිප්පු කරියට…නෑ නෑ බෝංචි කරියට වෙනසක් කරන්නයි අද ආවේ…. ගොඩක් අයට කාලම එපා වෙලා තියෙන එළවළුවක් උනත් වෙනස් රස වලින් හදලා ගත්තම කන්න ආස හිතෙනවා. අද අපි එහෙම රෙසිපි ටිකක් බලමු.

 

1. ස්ටර් ෆ්‍රයිඩ් ග්‍රීන් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දික් අතට කපාගත් බෝංචි ග්‍රෑම් 150
  2. තලාගත් සුදුළූණු බික් 2
  3. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  4. තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  5. රම්පේ හා කරපිංචා
  6. ලුණු හා ගම්මිරිස්කුඩු
  7. බටර් තේ හැඳි 2
  8. තල ඇට තේ හැඳි 1/2
  9. පොල් තෙල් ස්වල්පයක්
  10. ඔලිව්තෙල් ස්වල්පයක්

 

  • මුලින්ම බෝංචි වලට ලුණු ටිකක් දාලා බාගෙට ස්ටීම් කරගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට කපාගත් ළූණු හා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. 
  • රම්පේ, කරපිංචා, ඉඟුරු ටිකත් එකතු කරන්න. දැන් ඒකට බෝංචි ටිකත් දාලා තෙම්පරාදු කරගන්න. 
  • ගම්මිරිස්කුඩු හා රස අනුව ලුණු දාගන්න. ඊළඟට බටර් ටික දාලා කලවම් කරලා අන්තිමට තල ඇට ටික ඉසගන්න. ලිපෙන් බාලා උඩින් ඔලිව්තෙල් ටිකක් ඉසගන්න. 

 

*ලිපේ තියන් තෙම්පරාදු කරන වෙලාව උපරිම විනාඩි තුන හතරකට වඩා වැඩි කරගන්න එපා. බෝංචි වල ලස්සන කොළපාට නැතිවෙයි.

 

2. ගාලික් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් බෝංචි ග්‍රෑම් 100
  2. බටර් මේස හැඳි 2
  3. කපාගත් සුදුළූණු බික් 6-7
  4. සෝයාසෝස් මේස හැඳි 2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • බටර් ටික පෑන් එකට දාලා රත් උනාම සුදුළූණු ටික දාලා බැදෙන්න අරින්න.
  • ඊළඟට බෝංචි, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. සෝයාසෝස් ටික දාගන්න. බෝංචි ටික තැම්බෙන්න අරින්න.
  • ලස්සන කොළපාට හිටින ගාණට තැම්බුනාම ලිපෙන් බාගන්න.

 

3. බෝංචි මැකරෝනි කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් මැකරෝනි කෝප්ප 1
  2. හීනියට දිගට කපාගත් බෝංචි ග්‍රෑම් 100
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. කපාගත් අමුමිරිස් කරල් 2
  5. කරපිංචා ටිකක්
  6. ලුණු
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. අබ ස්වල්පයක්
  9. මිටිකිරි කෝප්ප 1/2
  10. තෙල් ස්වල්පයක්

 

  • පෑන් එකට තෙල් ටික දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට ඒකට ළූණු, කරපිංචා හා අමුමිරිස් එකතු කරන්න.
  • හොඳට තෙම්පරාදු කරලා බෝංචි ටික එකතු කරන්න. ලුණු හා කහකුඩු දාගන්න. දැන් මැකරෝනි ටික දාලා කිරි එකතු කරන්න. උතුරනකොට ලිපෙන් බාගන්න.

 

4. බෝංචි මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සිහින්ව රවුමට කපාගත් බෝංචි ග්‍රෑම් 100
  2. ගාගත් පොල් කෝප්ප 1/2
  3. අමු තුනපහකුඩු තේ හැඳි 1/2
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. ලුණු
  6. අබ ස්වල්පයක්
  7. කරපිංචා
  8. සුදුළූණු බික් 3

 

  • කහකුඩු, තුනපහකුඩු, අබ, ලුණු, සුදුළූණු හා කරපිංචා එකතු කරලා අඹරගන්න. මේකට පොල් ටිකත් එකතු කරලා අඹරගන්න.
  • බෝංචි ටික ලිපේ තියල වතුර ටිකක් උඩින් ඉහගෙන යන්තම් තැම්බෙන්න තියන්න. වතුර හිඳෙනකොට පොල් ටික දාලා කලවම් කරලා පොල් මැලවෙනකම් කලවම් කර කර පිසගන්න.

 

5. බෝංචි සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බෝංචි ග්‍රෑම් 100
  2. සුදුළූණු ගෙඩි 1
  3. විනාකිරි මේස හැඳි 1
  4. මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1
  5. මී පැණි මේස හැඳි 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • සුදුළූණු ගෙඩිය ෆොයිල් එකකින් ඔතලා සෙල්සියස් 180ට රත් කරගත් අවන් එකට දාලා විනාඩි 10ක් බේක් කරගන්න.
  • එළියට අරන් පොතු අයින් කරලා ක්‍රීම් එකක් වගේ හදාගන්න.
  • මේකට මස්ටර්ඩ් ක්‍රීම්, විනාකිරි, මී පැණි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ​ඩ්‍රෙසින් එක හදාගන්න.
  • දැන් බෝංචි ටික මේ මිශ්‍රණයට දාලා හොඳට තවරගෙන කෑමට ගන්න.

 

*බෝංචි තම්බනකොට වහලා තම්බන්න එපා. ඒ වගේම ලිපෙන් බාපු ගමන් වතුරට අල්ලන්න. එතකොට හොඳ ලස්සන කොළපාට එනවා.

 

6. ෆ්‍රයිඩ් බීන්ස්

  1. බෝංචි ග්‍රෑම් 100
  2. පාන්පිටි කෝප්ප 1
  3. බිත්තර 2
  4. කිරි කෝප්ප 1/2
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. ඔලිව්තෙල් මේස හැඳි 2
  7. පාන්කුඩු කෝප්ප 1

 

  • බිත්තර වලට කිරි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරගන්න. පාන්කුඩු වලට ඔලිව්තෙල් දාලා කලවම් කරගන්න.
  • බෝංචි මුලින්ම පාන්පිටි වල තවරලා බිත්තර සාරු වල දවටලා පාන්කුඩු වල තවරගන්න. 
  • මේ ටික බටර් ගාගත් ට්‍රේ එකක අතුරලා 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.

 

7. කට්ල්ෆිශ් බීන්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රවුමට කපාගත් දැල්ලො ග්‍රෑම් 100
  2. කපාගත් බෝංචි ග්‍රෑම් 100
  3. කපාගත් ළූණු ගෙඩි 1
  4. කපාගත් තක්කාලි ගෙඩි 2
  5. තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 2
  6. කෑලිමිරිස් තේ හැඳි 1
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. කහකුඩු තේ හැඳි 1/2
  9. රම්පේ හා කරපිංචා
  10. අබ ස්වල්පයක්
  11. මිටිකිරි කෝප්ප 1/2
  12. තෙල් ස්වල්පයක්
  13. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • දැල්ලො වලට ලුණු හා ගම්මිරිස්කුඩු අතගාලා තියාගන්න.
  • තෙල් ටික ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාගන්න. ඒකට ළූණු, රම්පේ, කරපිංචා, තක්කාලි, ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාලා තෙම්පරාදු කරගන්න.
  • දැන් දැල්ලො ටික දාලා මිරිස්කුඩු, කහකුඩු හා කෑලි මිරිස් එකතු කරගන්න.
  • දැල්ලො ටික විනාඩි 3ක් වගේ පිසගෙන බෝංචි ටික දාගන්න. බෝංචි බාගෙට තැම්බීගෙන එනකොට මිටිකිරි ටික එකතු කරලා උතුරවගෙන ලිප නිවාගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *