පුංචි කාලේ ඉඳලම කොල්ලන්ට කෙල්ලන්ට රහස් ඔත්තුකාරයෝ වෙන්න ආසාව තියෙන්නේ මේ හේතු නිසයි

who wants to be a spy

දැන් ඔය ජේම්ස් බොන්ඩ් ‍ෆිල්ම් බලපු වැඩිමහලු ඈයෝ, ජේසන් බෝර්න්ගේ ‍ෆිල්ම් බලපු තරුණ ඈයෝ වගේම මිෂන් ඉම්පොසිබල් අලුත්ම ‍ෆිල්ම් එක බලන්න දත කට මැදගෙන ඉන්න පුංචි ඈයෝ වගේ හැමෝටම ගොඩක් දුරට පොදු දෙයක් තියෙනවා. ඒ තමයි සීක්‍රට් ඒජන්ට් කෙනෙක්, එහෙම නැතිනම් සුපිරි රහස් ඔත්තුකාරයෙක් වෙන්න තියෙන ආසාව. ගොඩක් එවුන් ඕවා එලිපිට කියන්නෙ නෑ, හැබැයි ඉතින් ඇමරිකාවේ සී.අයි.ඒ එකට හරි බ්‍රිතාන්‍යයේ එම්.අයි.සික්ස් එකට හරි එහෙම බැරි නම් ඉම්පොසිබල් මිෂන් යුනිට් වගේ කවුරුත් දන්නෙ නැති, අගමැතිතුමාට විතරක් වග කියන සීක්‍රට් යුනිට් එකකට හරි සෙට් වෙලා ලෝකේ වටේ කරක් ගහන ගමන් සතුරු රහස් ඔත්තුකාරයින්ට බැස්ටිය දෙන්න, වෙන රටවල රහස් හොයන්න, තමන්ගේ රටේ රහස් හොයන්න වගේ අටෝරාසියක් වීර ක්‍රියා කරන්න ආසාවක් අපි හැමෝම ගාව වගේ හැංගිලා තියෙනවා.

ඇයි හැබෑටම අපිට එහෙම සුපිරි වීර රහස් ඔත්තුකාරයෙක් වෙන්න ආසාවල් තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඔය ආසාව එන්නේ එක්කෝ රහස් ඔත්තුකාරයින්ගේ පොත් කියෝලා, නැතිනම් ‍ෆිල්ම් බලලා, නැතිනම් ටෙලි සීරීස් බලලා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

 

1. දේශමාමක, දේශප්‍රේමී රහස් ඔත්තුකාර මහතා!

who wants to be a spy

Source – youtube.com

අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ඔය දේශප්‍රේමී සීන් එක තියෙනවනේ, නැද්ද? එතකොට එහෙම දේශප්‍රේමී සීන් එකේ ඉන්න ඕනම කෙනෙක් කැමතියි රහස් ඔත්තුකාරයෙක් වෙලා රටට ගේම දෙන්න එන විදේශ රටවල් කොර කරලා දාන්න පුලුවන්, රට ඇතුළෙම ඉඳන් රටට කෙලින්න එන දුස්ට අයියලට ටොපිය සෙට් කරන්න පුලුවන් සුපිරි වීරයෙක් වෙන්න. හරි, රහස් ඔත්තුකාරයෙක් නිසා රටට කරලා තියෙන මෙහෙය කවුරුවත් දන්නෙ නැති වෙන්න පුලුවන්, දැනට. ඒත් කවදාහරි අපේ නමෙනුත් ‍ෆිල්ම් එකක්වත් හැදෙයිනේ!

 

2. ලයිසන්ස් ‍ටු කිල්!

who wants to be a spy

Source – youtube.com

ප්‍රාණඝාතය කියන්නේ ෆුල් අබ්ලික්, පවු සිද්ද වෙන වැඩක් කියලා ඕනැම ආගමක උගන්නනවානේ. හැබැයි අබ්ලික් නොවෙන ප්‍රාණඝාතයන් තියෙන්න පුලුවන්ද? ගොඩක් වෙලාවට රටට ගේම දෙන්න එන රටේ සතුරෙක්ව, සතුරු ඔත්තුකාරයෙක්ව මරන එක, විශේෂයෙන්ම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න දුෂ්ටයෙක්ගේ ජීවිතයක් නැති කරන එක අවුලක් නෑ කියලා ඔය ‍ෆිල්ම් වල එහෙම පෙන්නනවනේ. ආන්න ඒ ආතල් එක ගොඩක් වෙලාවට හැම මනුස්සයෙක්ම ගන්න ආසයි. ඇත්තටම මිනිහෙක්ව මරන එක

කරන්න අමාරු දරුණු වැඩක් තමයි. ඒත් ඉතින් ‍ෆිල්ම් වල පෙන්නන විදියට එහෙම දුෂ්ටයෙක්ට බැස්ටිය දීලා අහිංසක මිනිස්සුන්ව බේරාගන්න අපි ආසයි. හැබැයි ඉතින් ආරක්ෂක අංශයක වැඩට ගියා කියලා එහෙම මිනිස්සුන්ව මරන්න බෑ. ඒත් අපි බලපු සීක්‍රට් ඒජන්ට් ‍ෆිල්ම් වල නං පෙන්නන්නේ ඔය සීක්‍රට් ඒජන්සි වල ඉන්න අයට අහිංසකයෝ බේරගන්න හරි රට බේරගන්න හරි දුෂ්ටයන්ව මරන්න ලයිසන් දීලා තියෙනවා කියල තමයි. කවුරුවත් ප්‍රශ්න කරන්න එන්නෙ නෑ. අන්න ඒ වගේ බලසම්පන්න භාවයකටත් අපි ආසයිනේ!

 

3. බැලූ බැලූ අත තුවක්කු!

who wants to be a spy

Source – youtube.com

සාමාන්‍යයෙන් පොලිසියට බැඳුනොත් දෙන්නේ අර පරණ ටී56 තුවක්කුවක් විතරයි. ඒකත් ගෙදර අරං යන්න බෑ. ආරක්ෂක අංශයක ඉහළ නිලයකට ගියත් තමුන්ට කැමති කැමති නවීන තුවක්කු අවි ආයුධ ‍තෝරගන්න බෑ. හැබැයි ඔය ‍ෆිල්ම් වල පෙන්නන රහස් ඔත්තුකාරයින්ට එහෙම සීමාවන් නෑ. ගොඩක් වෙලාවට ඒජන්සිය ඇතුළේම තියෙනවා අර අති නවීන ආයුධ පිරුණු ආමරියක්. ගිහින් තමන්ට කැමති තුවක්කුවක්, පිස්‍තෝලයක් ‍තෝරගන්න තමයි තියෙන්නේ.

තව සමහර වෙලාවට සුපර්ම සුපර් සීක්‍රට් ඒජන්ට්ලගේ ගෙදරත් රහස් බිත්තියක් ඇරියහම ඒකේ ලස්සනට පිළිවෙලට තැන්පත් කරලා තියෙනවා නවීන අවි ආයුධ. ඉතින් ඔය තුවක්කු පිස්තෝල වලට ආස ඩයල් එකකට ඔයිට වඩා සීක්‍රට් ඒජන්ට් කෙනෙක් වෙන්න ආස හිතෙන දෙයක් තියෙනවද?අනික තමන් කැමති අති නවීන පිස්තෝල එකක් නෙවෙයි දෙකක් ඉණේ ගහගෙන ගියත් කවුරුවත් නවත්තන්න එන්නෙ නෑ. ඇයි සීක්‍රට් ඒජන්ට්නේ!

අමතක කරන්න එපා, ආනෝල්ඩ් ස්වාසනේගර් ඉන්න පරණ කොමාන්ඩෝ ‍ෆිල්ම් එකේ අපි ආසම කෑල්ල තමයි පොර තුවක්කු ෂොපින් කරන කෑල්ල. ඊළඟට අන්තිම සටනට යන්න කලින් අතේ, පයේ, කරේ, බෙල්ලේ නානාවිධ තුවක්කු, පිස්තෝල එල්ල ගන්න එක!

ඔයිට අමතරව ජේම්ස් බොන්ඩ් ඉන්න එම්.අයි.6 වගේ ඒජන්සියක රහස් ඔත්තුකාරයෙක්ට නම් එක එක විදියේ අරුම පුදුම ගැජට් ලැබෙනවා. නිදිමන්තරකාර ඊතල විදින පෑන්, පුපුරන ඔරලෝසු, වෙඩි තියන්න පුලුවන් වාහන වගේ නවීනතම ගැජට්.

 

4. රහසිගත තැන්වල සඟවපු අත්‍යාවශ්‍ය භාණ්ඩ!

who wants to be a spy

Source – youtube.com

දැන් සීක්‍රට් ඒජන්ට් කෙනෙක්ට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවද? පිස්තෝලයක් හෝ දෙකක් අනිවා ඕන. ඊළඟට එක එක නම් වලින් තියෙන පාස්පෝට්, හැඳුනුම්පත්, ඩ්‍රයිවින් ලයිසන් කීපයක් ඕන. ඇයි රහස් ඔත්තුකාරයෙක්ට රහස් අනන්‍යතාවයන් කීපයක්වත් ඕනනේ. ඊළඟට ඕන සල්ලි. මේකත් රුපියල් වලින් විතරක් හරියන්නෙ නෑ. ඩොලර්, යුරෝ වලින් එහෙමත් සැලකිය යුතු ගාණක් තියෙන්න ඕන. ඊට අමතරව රහසිගතව සවන්දෙන්න පුලුවන් හයි ටෙක් උපාංග, විවිධ රහස් ඔත්තුකාරයන්ට වුවමනා වෙන ගැජට් කීපයක් එහෙමත් ඔය අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණයට වැටෙනවා. මෙන්න මේවා කාටවත් හොයාගන්න බැරි, ඒත් තමන්ට හොයාගන්න පුලුවන් තැන්වල හදිසියකට ගන්න හංගලා තියන්න ඕන. එක්කෝ තමන්ගේ ගෙදර බේස්මන්ට් එකේ පොළවේ වල දාලා වෙන්න පුලුවන්. නැතිනම් බැංකුවක සේෆ්ටි ඩිපොසිට් බොක්ස් එකක වෙන්න පුලුවන් කොහොම කළත් තමන්ගේ අත්‍යාවශ්‍ය බඩු හංගලා තියෙන තැන ගැන හෝඩුවාවක් ඇ‍ඟේ කොහේ හරි පච්ච කොටලා තිබ්බත් කමක් නෑ. ඇයි හදිසියේ මතකය නැති වුනොත් එහෙම!

 

5. හොරෙං හොරෙං හැංගිමුත්තං!

who wants to be a spy

Source – youtube.com

නෑ එහෙම පොඩි කාලේ කරපු හැංගිමුත්තං නෙවෙයි. හැබැයි රහස් ඔත්තුකාරයෙක් කියන්නේ රහසෙන් ඔත්තු බලන හාදයෙක්නේ. ඒ කියන්නේ ඉතින් ජීවිතේ වැඩි හරියක් රහසෙන් තමයි. එක්කෝ කාට හරි නොදැනෙන්න ඒ මනුස්සයාගේ පස්සෙන් රහසෙන් ගිහින්, මිනිහගේ ඔත්තු බලන එක. නැතිනම් මොකක් හරි කොම්පැණියකට බොරු නමකින් වැඩට ගිහින්, අහිංසක මූණ දාගෙන ඉන්න අතරේ එතන වෙන නසරානි වැඩ ගැන ඔත්තු බලන එක. මේ වගේ රහසෙන් කරන්න ඕන වැඩ අටෝරාසියක් රහස් ඔත්තුකාරයෙක්ට සෙට් වෙනවා. වෙන එකක් තියා ලවු එකක් කළොත්, ඒකත් කරන්න වෙන්නේ රහසෙන්. එතකොට කෙල්ල හිතාගෙන ඉන්නවා මිනිහා කරන්නේ කොම්පියුටර් විකුණන එක කියලා. හැබැයි කොම්පියුටර් කඩේ ඇතුළට ගිහින්, එතන තියෙන රහස් විදුලි සෝපානෙන් පොළව යටට කිලෝමීටරයක් විතර ගියහම තියෙන්නේ රජයේ රහස් ඔත්තු ඒජන්සියක්! කොහොමද ඒකේ තියෙන ආතල් එක!!

 

6. අයි හෑව් අ ස්පෙෂල් සෙට් ඔෆ් ස්කිල්ස්! ඔව් වොව්!!

who wants to be a spy

Source – youtube.com

මෙන්න මේකත් අපි රහස් ඔත්තුකාරයෝ වෙන්න හීන දකින්න ලොකු හේතුවක්. ඒ තමයි ඕනැම රහස් ඔත්තුකාරයෙක්ට තියෙන්න ඕන විශේෂ හැකියාවන්. ඒ කියන්නේ සටන් ක්‍රම දැනගන්න ඕන. යාර පණහක් දුර බිත්තියේ වහලා ඉන්න මැස්සෙක්ට වුනත් ඉලක්කෙට වෙඩි තියන්න හරි පිහිය විසි කරන්න හරි පුලුවන් වෙන්න ඕන. රහස් ඔත්තු හොයාගන්න ක්‍රම දැනගන්න ඕන. කවුරුහරි තමන්ගේ පස්සෙන් එනව නම් මිනිහව ගොනාට අන්දලා පනින එක ගේමක් නැතිවෙන්න ඕන. එතකොට කොම්පියුටර් හැකින් වැඩ පුලුවන් වෙන්න ඕන. සුපිරි වේගෙකින් වාහන එළවන්න පුලුවන් වෙන්න ඕන. එතකොට ඕනම සමාජෙක හැසිරෙන්න දැනගන්න ඕන හදිසියකට හෙලිකොප්ටරයක් වුනත් පැදගන්න පුලුවන් වෙන්න ඕන.

මේ වගේ දහසකුත් එකක් වැඩ කෑලි පරතෙරටම පුලුවන් සුපිරිම ඔත්තුකාරයෙක් වෙන්න තමයි අපි හැමෝටම වුවමනා වුනේ. එතකොට දවසක හෙන ගේමක් දීලා, ලෝකේ විනාස වෙන්න ගියපු සීන් එකක් වළක්වලා අගමැතිතුමා හම්බුවෙන්න සීක්‍රට් රූම් එකට ආවට පස්සේ, පොර පිටට තට්‍ටු කරලා කියනවා “යූ ආර් අවර් බෙස්ට් ඒජන්ට්” කියලා!

 

7. දේශසීමා අපිට නතිං!

who wants to be a spy

Source – youtube.com

දැන් අපි රටකින් රටකට යන්න කොයි තරම් දුකක් විඳින්න ඕනද? වීසා අරන්, සල්ලි හොයාගෙන, පාස්පෝට් එක අරගෙන එයාර්පෝට් එකට ගිහිල්ලා වැඩ කෝටියයි. හැබැයි අපේ රහස් ඔත්තුකාරයෙක්ට නං රටකින් තව රටකට යන එක ගේමක්ම නෑ. පාස්පෝට් වලින් පාවිච්චි කරන්නේ කෝකද කියලා ‍තෝරගන්න එක විතරයි අමාරු වැඩේ. ඒකට තත්පර දහයක් වියදං කලාට පස්සේ අනික් ටික ගේමක්ම නෑ. ඔය දුෂ්ටයෙක්ව පස්සෙන් පන්නගෙන රටකින් රටකට රටකින් රටකට යන අතරේ සොබාව සවුන්දර්යය විඳින්න එහෙමත් කාලවෙලාව තියෙනවා. හවසට ඒ රටක සුන්දරියක් එක්ක වයින් වීදුරුවක් හේම බීලා, රාත්තිරිය ගත කරන්නත් වෙලාව තියෙනවා. ඒවනේ ජීවිත!

 

8. අන්ලිමිටඩ් සල්ලි

who wants to be a spy

Source – youtube.com

කවදාවත් දැකලා තියෙනවද ඔය ‍ෆිල්ම් එකක ඉන්න රහස් ඔත්තුකාරයෙක්ට සල්ලි හදිසියක් වෙනවා? අඩුම ගාණේ ලන්ඩන් වල ඇල්බට් අංකල්ටවත් කතා කරන්න වුවමනා වෙන්නෙ නෑ. දැන් ඔය ජේම්ස් බොන්ඩ් ‍ෆිල්ම් එකක ජේම්ස් ගොයියගේ ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම අත්හි‍ටුවනවා ඒජන්සියෙන්. එහෙමයි කියලා ජේම්ස්ට රෑට ඉන්න හිටින්න තැනක් නැතිවෙනවද? නැහැනේ. ඊළඟට බලනකොට පොර සුපර් ලක්ෂරි කාර් එකක කියුබාවටත් යනවා. එහේ සුපර් හෝටලේක නවතිනවා. ඉතින් එහෙම බලනකොට රහස් ඔත්තුකාරයින්ට සල්ලි ප්‍රශ්න නම් ඇත්තේම නෑ.

අනික් ආතල් එක තමයි සමහර රහස් ඔත්තුකාරයින්ට අන්ලිමිටඩ් ක්‍රෙඩිට් ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාඩ් තියෙන එක. ආයෙ ප්ලේන් එකක් ගන්න හිතුනත් ගත්තා. හොටෙල් එකක් ගන්න හිතුනත් ගත්තා!

 

බෝනස්!

9. කෙල්ලෝ!

who wants to be a spy

Source – youtube.com

මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනද. ජැන්ඩියට ඇඳලා පැළඳලා කැසිනෝ ෆ්ලෝ එකට බහිනකොට වටේම ඉන්න කෙල්ලොන්ගේ ඇස් තියෙන්නේ අපේ රහස් ඔත්තුකාරයා දිහා. පොර පෝකර් සෙල්ලම් කරලා දිනන්නේ, පුංචි කාලේ ඉඳන් පෝකර් සෙල්ලම් කරන ගාණට. ඉන් පස්සේ බාර් ටෙන්ඩර්ට ළඟට කතා කරලා ‘ඩර්ටි මාටිනි’ කියලා ඇඟිල්ලෙන් සංඥාව දුන්නහම ඊළඟට එතන ඉන්න ලස්සනම කෙල්ල උකුලේ!

ඉතින් හිතෙන්නේ නැද්ද හෙටම ගිහින් සී.අයි.ඒ එකට බැරි නම් අඩුම ගාණේ ලංකාවේ සී.අයි.ඩී. එකටවත් බැ‍ඳෙන්න!

 
Cover Image Source – asiamarketinginsights.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *