සව් යොදාගෙන රසට හදාගන්න පුළුවන් කෑම වර්​ග 7ක්

සව් කියන්නෙ ගොඩක් අයට වැඩිය කැවෙන්නෙ නැති කෑමක්… හැදුවත් ඉතින් කිරි දාල හැමදාම හදන විදියම තමා… අද අපි ගෙනාවෙ සව් වලින් හදාගන්න පුළුවන් වෙනස් රස කෑම ගොන්නක්.

 

1. සව්බොර

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සව් ග්‍රෑම් 100
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. බිස්කට් කුඩු ග්‍රෑම් 100
  4. සීනි ග්‍රෑම් 100
  5. ලුණු
  6. වැනිලා ස්වල්පයක්

 

  • සව්, පොල්, සීනි, බිස්කට් කුඩු එකට කලවම් කරගන්න. 
  • මේකට රස අනුව ලුණු හා වැනිලා දාගන්න. වතුර ටිකක් දාලා ඩෝ එක වගේ අනාගන්න. 
  • තුනී කරලා, කැමති හැඩයකට කපලා සෙල්සියස් 150°ට විනාඩි 40ක් බේක් කරගන්න.

 

2. සව් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සව් ග්‍රෑම් 100
  2. රුලං ග්‍රෑම් 100
  3. පොල්කිරි කෝප්ප 2
  4. ලුණු
  5. කලරින්

 

  • කිරි ටික ලිපේ තියලා රත්වෙනකොට සව් සහ රුලං ටිකත් දාගන්න.  ලුණු රස අනුව දාලා කැමති පාටකින් කලරින් දාගන්න. 
  • කිරි කැටි ගැහෙන්න නොදී හැඳිගාගන්න. කිරි මදි නම් තව එක්කරන්න.
  • හොඳට උකුවෙලා නටනකොට ලිපෙන් බාලා නිවෙන්න තියලා බටර් ගාගත් මෝල්ඩ් එකකට හරි බෝල් එකකට හරි දාලා ෆ්‍රිජ් දාගන්න. සෙට් උනාම අනිත් පැත්ත හරවගන්න.

 

3. සව් දොදොල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සව් ග්‍රෑම් 100
  2. සීනි ග්‍රෑම් 250
  3. ගාගත් පොල් බෑයක්
  4. ලුණු

 

  • සව් වලට පොල් හා ලුණු ටිකක් දාලා කලවම් කරලා විනාඩි 40ක් ස්ටීම් කරගන්න.  
  • භාජනයක් ලිපේ තියලා සීනි වලින් ටිකක් දාලා කැරමල් උනාම වතුර ටිකක් දාගන්න. ඉතුරු සීනි ටිකත් දාලා පැණි වගේ උනාම ස්ටීම් කරගත් සව් ටික දාලා කලවම් කරගන්න.
  • භාජනෙන් වෙන් වෙලා ගුලිවෙන පදම එනකම් හැඳිගාලා බටර් ගාගත් තැටියක දාලා තුනී කරලා කෑලි කපාගන්න.

 

4. සව් මස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සව් කෝප්ප 1
  2. සීනි කෝප්ප 2
  3. මාගරින් මේස හැඳි 4
  4. කැමති වර්ණකයක්
  5. එනසාල් ඇට 2
  6. කජු ස්වල්පයක්

 

  • භාජනයකට වතුර කෝප්ප 3ක් විතර දාලා ඒකට සව් ටිකත් දාලා ලිපේ තියන්න. 
  • සව් ටික දියවේගෙන එනකොට සීනි ටික දාලා දිගටම හැඳිගාන්න. ලුණු සහ මාගරින් ටික එකතු කරලා හොඳට හැඳිගාන්න.
  • ගුලියක් වගේ හැදීගෙන එනකොට කලරින් දාලා කජු ටික එකතු කරගන්න. මේ ගාණට එන්න විනාඩි 35ක් විතර හැඳිගාන්න ඕන. 
  • ලිපෙන් බාලා, බටර් ගාපු තැටියක දාල කෑලි කපාගන්න.

 

5. සව් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සව් ග්‍රෑම් 100
  2. මුං ඇට ග්‍රෑම් 100
  3. පොල්කිරි කෝප්ප 2
  4. කජු ස්වල්පයක්
  5. මුද්දරස්පලම් ස්වල්පයක්
  6. කරදමුංගු කුඩු ස්වල්පයක්

 

  • වතුර කෝප්ප 3ක් ලිපේ තියලා උණුවෙනකොට සව් ටික දාගන්න. හොඳට ගැඳිගාන්න. 
  • මුං ඇට කබලෙ බැදලා කුඩු කරගන්න. පොල්කිරි වලට මුං පිටි දාලා කලවම් කරලා සව් එකට එකතු කරන්න. හොඳට නටනකල් හැඳිගාන්න.
  • රස අනුව ලුණු එකතු කරගන්න. අන්තිමට කරදමුංගු කුඩු ටික සහ කජු හා මුද්දරස්පලම් දාලා ලිපෙන් බාගන්න.

 

6. සව් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රැයක් පෙඟෙන්න දාගත් සව් කෝප්ප 1
  2. තම්බාගත් අල ගෙඩි 4
  3. බැදගත් රටකජු ස්වල්පයක්
  4. තලාගත් ඉඟුරු ස්වල්පයක්
  5. චොප්කරගත් අමුමිරිස් කරල් 1
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  7. ලුණු
  8. ලෙමන් බෑයක යුෂ

 

  • සව් ටික සෝදලා වතුර පෙරලා ඒකට පොඩි කරපු අල ටික දාගන්න. රටකජු හා චොප්කරගත් සියල්ලද එකතු කරන්න.
  • රස අනුව ලුණු හා දෙහි යුෂ දාගන්න. දැන් ඉතිරි සේරමත් කලවම් කරලා අනාගෙන පොඩි බෝල හදාගන්න. 
  • ඒ බෝල පොඩ්ඩක් තලලා පැතලි කරන් ගැඹුරු තෙලේ බැදගන්න.

 

7. සව් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රැයක් පෙඟෙන්න දාගත් සව් කෝප්ප 1
  2. තම්බාගත් අලගෙඩි 2
  3. පාන්පිටි මේස හැඳි 2
  4. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  5. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1/2
  6. බිත්තර 1
  7. ලුණු

 

  • මේ ඔක්කොම ටික කලවම් කරලා ඩෝ එකක් හදාගන්න. වියළි වැඩි නම් වතුර මේස හැන්දක් වගේ දාලා ඩෝ එක හදලා පොඩි ගුලි අරන් රොටිය වගේ තුනී කරගන්න.
  • තෙල් ගාගත් පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *