ව්‍යාපාරිකයින් කියන්නේ දක්ෂයින්. ඔවුන්ගෙන් අපිට, අපේ ජීවිත වලට ගන්නට ආදර්ශ තියෙනවා. ඒත් තුන්වෙනි ලෝකයේ රටවල ඉන්න ව්‍යාපාරිකයින් කියන්නේ ඒ රටවල් වෙනස් කරන්න තියෙන ලොකු බාධකයක් වෙනවා. මන්ද නොදියුණු රටවල තියෙන දූෂිත යාන්ත්‍රණයේ මහා නට් බෝල්ට් විදියට වැඩ කරන්නේ මේ ව්‍යාපාරික ප්‍රජාව. ඉතින් අපේ රටත් දියුණු වෙමින් පවතින රටක්ය කියලා හිත හදාගන්න කිව්වට ඇත්තටම නොදියුණු දුප්පත් රටක්. ඉතින් අපේ බිස්නස්කාරයො මොන වගේද? අපි ටිකක් ඒ ගැන සොයා බලමු.
1. ටෙන්ඩර් සොරු
රටේ වැදගත් වැඩක්, ව්‍යාපෘතියක් වෙනවා නම් ඒවා විශේෂ මිලදී ගැනීම් ක්‍රමවේද හරහා තමයි සිදු වෙන්නේ. ඉතින් ඒ විදියේ ටෙන්ඩර් වලදි හුවමාරු වෙන මුදල් ලේසි පාසු ගාණක් නෙමෙයි. මැතිවරණ වලට සල්ලි ගොඩක් ඕනි අපේක්ෂකයින්ට ජයග්‍රහණය කරන්නට නම්. ඉතින් ඒ සල්ලි හොයාගන්නේ ව්‍යාපාරිකයින්ගෙන්. ඉන් පස්සේ කාලේක ව්‍යාපාරිකයින් ඒ තමුන් වියදම් කළ මුදල් ටෙන්ඩර් සහ වෙනත් ක්‍රම මගින් දේශපාලඥයින් හරහා උපයා ගන්නවා.
2. ව්‍යාපාරිකයින් ඉන්නේ වෙනම රාජ්‍යයකද?
රටක් දියුණු වන්නට රජයක් පමණක් හේතු වෙන්නේ නැහැ. ඒ සඳහා දක්ෂ ව්‍යාපාරිකයින් සිටින්නට උවමනා කරනවා. අපි සරල උදාහරණයක් ගතහොත්, ලංකාවේ ප්‍රවාහන පද්ධතිය අවුල්. දියුණු රටවල් ගත්තොත් ඒ රටවල සෑම ප්‍රවාහන අවශ්‍යතාවයක්ම සපුරන්නේ රජය නෙමෙයි. දක්ෂ ව්‍යාපාරිකයින් දුම්රිය සේවා, මෙට්‍රො සේවාවන්, ලයිට් රේල්, නවීන බස් සේවාවන් හඳුන්වා දීල ජනතාවට සේවයක් සලසන ගමන්ම ඔවුන් ලාබයක් උපයනවා. ඒත් ලංකාවේ ඇතැම් නමගිය ව්‍යාපාරිකයින් රටේ ජනතාවට සේවාවන් සපයන නව ව්‍යාපාර ආරම්භ කරන්නට ඉඩ ප්‍රස්ථාවන් සොයනවා වෙනුවට ඔවුන්ම මුදල් දීලා පෝෂණය කරන දේශපාලකයින්ට බනිනවා.
3. ටැක්ස් වංචා
අපේ රටේ තියෙන්නේ භාණ්ඩ සහ සේවාවන් මූලික බදු ක්‍රමයක්. ඒත් දියුණු රටවල සෑම පුද්ගලයෙකුම තමුන්ගේ ආදායම්, වියදම් ආදිය නිවැරදිව රජයට කියන්නට ඕනා. ඒ දියුණු පද්ධති වලදී යම් පුද්ගලයකුගේ ආදායම වැඩිවෙනවා නම් ඔහු විසින් ගෙවන්නට ඕනි බදු මුදල් වැඩිවෙනවා. ඒත් ඇත්තටම ලංකාව වගේ රටවල පොඩි මිනිස්සු හාල් පොල් සීනි වලින් බදු ගෙව්වාට ලොකු ව්‍යාපාරිකයින් ධන කුවේරයින් වගේ සිටියත් ඔවුන් නිසි පරිදි බදු ගෙවන්නේ නැහැ.
4. ව්‍යාපාර පවරාගැනීම්
නව ව්‍යාපාරික අවස්ථාවක් සොයාගෙන එය දියුණු කරගැනීම ඇත්තටම අමාරු වැඩක්. යම් ක්‍රමයකින් හරි හම්බ කරගත් මුදල් ගොඩාක් තියෙන කෙනෙක්ට ඒ වගේ කවුරුහරි දියුණු කරගනිපු බිස්නස් එකක් ක්‍රම සහ විධි පාවිච්චි කරලා තමුන්ට පවරාගන්නට පුළුවන්කම තියෙනවා. කොටස් වෙළඳපොළ හරහාද ව්‍යාපාර ආදියේ අයිතිය වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විදියට අනුන් දියුණු කළ ව්‍යාපාර පසුව විවිධ දක්ෂතා, කුසලතා පාවිච්චි කරලා පවරා ගැනීමත් අපේ රටේ මහා ව්‍යාපාරිකයින් අතර සුලබ දෙයක්.
5. සේවකයින්ට සැලකීම්
සේවකයෝ විදියට ඉහළ මට්ටම්වල ඉන්න උදවියට නම් ගොඩක් ව්‍යාපාර වලදි ලොකු ගෙවීම් ලැබෙනවා. එහෙත් පහළ මට්ටමේ සේවකයින්ගේ දීමනා වැටුප් වගේ දේවල් ගැන විශාල පරිමාණ ව්‍යාපාරිකයින් එතරම් සැලකීමක් නැහැ. ඉතින් අලුතින් ව්‍යාපාර පටන් ගැනීම හැමෝටම කරන්නට බැහැ. පද්ධතියක් තුළ තිබෙන ව්‍යාපාරික අවස්ථා තියෙන්නේ සීමිත ගණනක්. තමුන්ගේ ආයතනවල පහළ සේවකයින්ට හරිහැටි සලකන්නේ නැති ලොක්කන්, රූපවාහිනී නාලිකා වලට ඇවිත් ජනතාව සුඛිත මුදිත කරන ආකාරය ගැන බොහොම හරබර දේශනා දෙනවා.
6. විශාල ලාබ ලැබෙන ව්‍යාපාර
ලංකාවේ නම් සූදු පවත්වාගැනීම සහ එතනෝල් ආදී අනුමත මත් නිෂ්පාදන විකිණීම කියන්නේ සැරටම ලාබ ගන්න පුළුවන් ව්‍යාපාර. හොඳ මට්ටමේ මසාජ් සෙන්ටර් ආදියෙනුත් නූතනයේ ව්‍යාපාරිකයින් මුදල් උපයනවා. ඒ වගේම වෙන රටවලින් ප්‍රතික්ෂේප කරන පරිසරයට හිතකර නොවන රබර් කර්මාන්ත ශාලා වගේ ඒවත් ලංකාවට එනවා. ඉතින් මේ වගේ විශාල ලාබ ලැබෙන ව්‍යාපාර වලට දේශපාලන අනුග්‍රහයත් නොමදවම ලැබෙනවා.
7. රට තුළම සල්ලි කැරකවීම
ලංකාවේ නිපදවෙන යම් භාණ්ඩයක් හෝ සේවාවක් විදෙස් වලට අලෙවි කළ හැකිනම් ඒ මුදල් එන්නේ රටටය. අඩුතරමේ කිහිලිකරුවක, පුටු සෙටියක තරමක දෙයක් වත් අපනයන වෙළඳපොළට නිකුත් කරන්නේ එහෙමත් ව්‍යාපාරික මහතෙකි. ලංකාව තුළම මුදල් ගැවසෙන ව්‍යාපාර වලට වඩා විදෙස් වලට අපේ දේ විකුණන ව්‍යාපාර රටේ ආර්ථිකයට රුකුලකි. එහෙත් ලංකාවේ සුපිරි ව්‍යාපාරිකයින් ගත් කළ ලංකාවෙන් පිටතට ඔවුන් විකුණන්නේ මොනවාද යන්න ගැටළුවකි.
ඕනෑම අයෙකුට මයික් එකකුත්, කැමරාවකුත් දුන් විට ඔහුට අදහස් ප්‍රකාශ කළ හැකිය. එසේම ලංකාවේ සුපිරි ව්‍යාපාරිකයෝද මයික් එකක්, කැමරාවක් හසු වූ විට විවිධ අන්දමේ සුරංගනා කතා මවා පෑමෙහි රුසියෝය. එයින් ආදර්ශයට ගත හැකි තැන්ද තිබේ. එහෙත් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු වූයේ මේ නිසායැයි ඔවුන් කියන බොහෝ හේතු සැබෑ හේතුන් නොවේ. ඇතැම්විට ඒ ව්‍යාපාරිකයින් සමග අතීතයේ එකට වැඩකළ පුද්ගලයින් මහා ව්‍යාපාරිකයින්ගේ සැබෑ ව්‍යාපාර හැකියාව ගැන දන්නවා ඇත. එහෙත් සත්‍යයට වඩා මුදල් ගෙවා දමන දැන්වීම සැබැවින්ම බලවත්ය.
Leave a Reply