දැන් කාලේ ගෑස් මිල සහ විදුලි බිල එක්ක අපිට කේක් එකක් පුච්චා ගන්න එක, මාළු පාන්, බනිස් ටිකක් හදාගන්න එක ගැන නැවත හිතන්න වෙලා. වත්ත ටිකක් ඉඩ පහසුව තියෙනවා නම් අපිට දර පෝරණුවක් පොඩියට හදාගන්න පුළුවන්. ට්‍රැඩිශනල් මී, විලේජ් කුකින් වගේ චැනල් වලත් ඔයාල දකින්න ඇති ගේ ඉස්සරහ සකස් කරගත් බොහොම හුරුබුහුටි පෝරණුවක් පාවිච්චි කරලා එයාලා බේකරි වැඩ ටික කරනවා. ඉතින් ඒ ගැන කරුණු ටිකක් තමයි මේ…
1. දර පෝරණුවේ රස වෙනස
විදුලි පෝරණුවකින් කේක් හදන්න, පීසා හදන්න, මාළු මස් පුළුස්සා ගන්න පුළුවන්. පාන් ගෙඩියක් වුණත් හදාගන්න පුළුවන්. ඒත් මේ බේකරි කෑම හරියටම හැදෙන්නේ පැරණි දර පෝරණුවල. අපේ අම්මලා ඉස්සර දර ලිපේ බත් උයද්දි අඩිය අල්ලලා දංකුඩ හැදෙනවා. ඒත් දර ලිපේ උයපු කෑම වල අමුතු රසවත් බවක් තියෙනවා. ඒ වගේම දර ලිපේ උයන්න ටිකක් මහන්සි වෙන්නත් ඕනි. ඒ වගේ මේ දර පෝරණුවක් හදාගෙන උයන එකත් තරමක මහන්සියක් වෙන්න ඕන වැඩක්. ඒත් ඒ බේකරි කෑම වල තියෙන ඔරිජිනල් රසය මේ දර පෝරණුවෙන් එනවා කියල තමයි කියවෙන්නේ.
2. දර පෝරණුවක් හදාගන්න තැන
දර පෝරණුව හදාගන්නකොට වතුර එන්නේ නැති තැනක හදාගන්න ඕනි. මේ දර පෝරණුව සිමෙන්ති වලින් හදනවා නම් කිසි අවුලක් නැහැ. තෙමෙන තැනක තියන්න පුළුවනි. ඒත් නිවැරදි ක්‍රමයට පැරණි විදිහට හදනවා නම් පෝරණුව මැටි වලින් තමයි හදන්නේ. එතකොට වැහි වතුර එන්නෙ නැති, වැස්සට අහුවෙන්නෙ නැති තැනක හදාගන්න පුළුවන් නම් හොඳයි.
3. තාවකාලික පෝරණුව
තාවකාලිකව පොඩි සවාරියක් ගියාම වුණත් මේ දර පෝරණුවක් හදාගන්න පුළුවන්. මුලින්ම පෝරණුවට අවශ්‍ය සැකිල්ල ඒ කියන්නේ වෙසක් කූඩුවක් වගේ එකක් ලී කෝටු, දඬු වලින් පිළියෙල කරගන්න ඕනි. ඉන් පස්සේ ළඟ පාත තියෙන පස් වලට වතුර දාලා හොඳට අනලා දර පෝරණුව හදාගන්න පුළුවන්. මේකෙදි මැටි වතුර අඩුවෙන් වියළි බව වැඩියෙන් ගන්න එක හොඳයි. මේ පෝරණුව හදලා ගින්දර දාලා පුළුස්සනකොට යම් පිපිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඒත් තාවකාලික පාවිච්චියකට මේ වගේ පෝරණුවකින් වැඩ ගන්න ඒක අවුලක් වෙන්නෙ නැහැ.
4. තාක්ෂණිකව පෝරණුවේ බේස් එක
පෝරණුව බිම ඉඳන් අඩියක් දෙකක් වත් උසින් හදනවා නම් තමයි හොඳ. පෝරණුවේ යට නිමවා ගැනීම ටිකක් හිතල මතල කරන්න ඕනි දෙයක්. ඒකෙදි මේ පෝරණුවෙ යටට වැළි පුරවපු වීදුරු බෝතල් දාන්න පුළුවන්. එහෙම නැතිනම් තිරුවානා ගල්, කළු ගල් ආදී තාපය රඳවා ගන්නා දේවල් දාන්නත් පුළුවන්. මේ පෝරණුවේ බේස් එකට ඒ වගේ ගල් හෝ වීදුරු බෝතල ආදිය දමලා ඊට උඩින් තුනී මැටි ගඩොල් තට්ටුවක් අතුරගන්නවා. ඒ මැටි ගඩොල් තට්ටුව උඩ තමයි අපි පෝරණුව සකස් කරගන්නේ.
5. සැකිල්ල හැදීම
පෝරණුවේ බේස් එක හැදුවට පස්සේ අපිට ඒ කුහර කොටස නිමවා ගන්න පටන් ගන්න පුළුවන්. මේ කුහර කොටස ආකාර දෙකකට හදාගන්න පුළුවන්. එක ක්‍රමයක් කමයි කුහර කොටස දැව පොතු, පොල් පිති, කුඩා කෝටු ආධාරයෙන් හදාගන්න එක. එහෙම හැදුවට පස්සේ බොහාම ඝනට සෙට් කරගත් මේ සැකිල්ල උඩින් පත්තර කොළ දාලා ඒකට උඩින් මැටි ගහගන්න ඕනි. එහෙම නැතිනම් චෛත්‍යයක් ආකාරයට වැලි ගොඩක් ගහනවා. වැලි ගොඩ පත්තර වලින් වහලා මැටි ගහලා පස්සේ වේලුනාට පස්සේ ඇතුලේ වැලි හිමිහිට ඉවත් කරන්න පුළුවන්. අර කලින් සැකිල්ල හදන ක්‍රමයෙදි සැකිල්ල ලී නම් ඇතුළට ගිනි දාලා ගිනි ගහද්දි සැකිල්ල දැවිලා යනවා.
6. දොර සකස් කරගැනීම
මේ පෝරණුවේ දොර සකස් කරගැනීම විශේෂ විධි ක්‍රමයකට කරන්නට ඕනි. සම්මතය අනුව සමස්ථ පෝරණුවේ උසින් 63%ක් පමණ උසින් තමයි පෝරණු දොර තියන්නේ. සැකිල්ල සකස් කරගන්නේ වැලි වලින් නම් මැටි අතුරන විට පරෙස්සමින් මේ දොර නිර්මාණය කරගන්න ඕනි. සැකිල්ල හදනවා නම් එයිනුත් දොර කොටස අයින් කරලා ඉන් පසුව තමයි මැටි ගහන්න වෙන්නේ. මේ දොර හදනකොට දොර කොටස ගඩොල් වලින් හෝ සිමෙන්ති වලින් හදන්නත් පුළුවන්. කොහොම වුණත් ලී වලින් හදපු දොර හොඳට සීල් වෙන විදිහට මේ දොර හදාගත්තොත් ලේසියි.
7. මැටි තෝරාගැනීම
මේ මැටි තේරාගැනීමේදී මැටි කොටස් එකට වැලි කොටස් 2ක් එකතු කරලා සකස් කරගන්න පුළුවන්. මෙතනදි අපිට ගම් වල නම් හුඹස් මැටි වගේ ශුද්ධ මැටි ගන්න පුළුවන්. ඒ වගේම පැරණි ගෙවල් වල අම්මලා කළ විදිහට මේ මැටි වලට ගොම එකතු කරලා ගන්නත් පුළුවන්. මේ ගොම එකතු කරනවා නම් ගොම ඇතුළත් ලේයර් එක පිටට එනවා නම් හොඳයි. මේ මැටි සකස් කරගැනීමේදි මැටි වලට පිදුරු එකතු කරලා අනලා ගත්තොත් එයින් මේ පෝරණුවේ ඇතිවන පිපිරීම් වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම පෝරණුව සකස් කරගන්නකොට එක මැටි ලේයර් එකකට වඩා මැටි තට්ටු කිහිපයක් විදිහට ශක්තිමත් බව වැඩිවෙන පිළිවෙලට සකස් කරගන්න පුළුවන් නම් වටිනවා.
මේක අවුළුවා පාන් බනිස් පුච්චගන්නත් පිළිවෙලක් තියෙනවා. හොඳින් පෝරණුව සකස් කරගන්න වැඩේ බනිස් පාන් පුච්චගන්න විනාඩි තිහකට කලින් විතර පටන් ගන්න ඕනි. හොඳට ගිනි තියලා ඇතුළ හොඳට රත් වුණාට පස්සේ තමයි පාන් බනිස් වර්ග දාන්න වෙන්නේ. මේක විදුලි පෝරණුව තරම් ලේසි නැහැ. ඒත් ගෙදර අයත් එක්කාසු කරගෙන අපිම හදාගත්ත පෝරණුවෙන් බනිසක් පුච්චගෙන කන එක වෙනම ආතල් එකක්.
Leave a Reply