බොලිවුඩය කියන්නේ තරු ගොඩක් පායන අහසක් වගේ. සමහර තරු එදා පටන් අද වෙනකන් ඒ අහස ආලෝකමත් කරනවා. තවත් තාරකාවන් අහස ලස්සන කරල නොසිතූ විදිහට මැකිල යනව. කාලයක් යද්දී අනිත් අයගේ මතකයෙනුත් ගිලිහෙනව.
ඉතින් අපි අද අපේ ලිපියට තෝරාගත්තේ ඒ විදිහට බොලිවුඩය වර්ණවත් කරල, ජනප්‍රිය වෙලා ඉඳලා, නොසිතූ විදිහට ක්ෂේත්රයෙන් අතුරුදහන් වෙලා ගිය බොලිවුඩ් නිළියන් කීප දෙනෙක්වයි. බලන්න මේ අයව ඔයාට තාම මතකද කියල?
1. මම්තා කුල්කර්නි
90 දශකයේ තිරගත කරපු ‘බාසි’ සහ ‘සබ්සේ බඩා කිලාඩි’ වගේ ජනප්‍රිය චිත්‍රපටිවල එක හුරුබුහුටි අලුත් මූණක් දැකගන්න ලැබුණා. ඒ නිළිය තමයි මම්තා කුල්කර්නි. 90 දශකයේ හැටියට මම්තා බොහොම නිර්භීත නිළියක් වුණා, ශරීරය නිරාවරණය වෙන කෙටි ඇඳුම් අඳිමින්, තොල් සිපගන්නා දර්ශනවලට පෙනී සිටිමින් වගේම සඟරා කවරවලට උඩුකය නිරුවතින් පෙනී සිටිමින් ඇය ආන්දෝලනයට ලක්වුණා. කොහොම වුණත් දෙදාහෙන් විතර පස්සේ මේ නිළිය එක්වරම අතුරුදහන් වෙනවා. කටකතාවලින් කියවුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන විකී ගෝස්වාමි නම් පුද්ගලයෙක් එක්ක හාද වුණු මම්තා කෙන්යාවේ සිරගතව සිටින බවක්. මේ වෙද්දි ඇය කෙන්යාවේ වෙනත් ව්‍යාපාර කිහිපයක් හසුරුවමින් ඉන්න බවකුත් තව පැත්තකින් වාර්තා වෙනවා. මම්තා දැන් තමන්ගේ නමත් වෙනස් කරගෙන ඉන්න බවකුයි ඒ ආරංචි වල සඳහන් වෙන්නේ. ඒ නිසා ඇයව හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ.
2. අනූ අග්ගර්වාල්
මෑත කාලේ තිරගත වුණු ආශිකී 2 චිත්‍රපටයට තරම්ම උන්මාදයක් 1990 තිරගත කරපු ආශිකී මුල් චිත්‍රපටයටත් ලැබුණා. ඒකෙ ප්‍රධාන චරිත රඟපාපු රාහුල් රෝයි සහ අනූ අග්ගර්වාල් එක රැයින් ජනප්‍රිය තරු වුණා. ඉන් පස්සේ ‘කිං අංකල්’ චිත්‍රපටයෙනුත් අනූගෙ මතක හිටින විනෝදබර රංගනයක් දකින්න ලැබුණා. හැබැයි ඉහළ ජනප්‍රියත්වයක හිටපු අනූ, අනූ ගණන් වල මැද හරියෙන් පස්සේ එකපාරටම අතුරුදහන් වුණා.
මෙයට හේතුව වුණේ ඇය ජීවිතය වුණත් අහිමි වී යාමට ඉඩ තිබුණ දරුණු රිය අනතුරකට මුහුණ පෑමයි. මේ අනතුරෙන් පස්සේ මාසයක විතර කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවීමටත් ඇයට සිදුවී තිබෙනවා. ඇගේ සුන්දර රූ සපුවටත් මේ අනතුරින් දැඩි සේ හානි වී තිබෙනවා. මේ සිදුවීම නිසා බොලිවුඩයෙන් ඈත් වුණත්, ඇය හිතින් නම් වැටුණේ නැහැ. මේ වෙද්දි ඇය යෝගා ව්‍යායාමවලට යොමු වෙලා ඉන්නවා.
3. ග්‍රේසි සිං
‘ලගාන්’ සහ ‘මුන්නාභායි MBBS’ හරහා තමයි ග්‍රේසි සිං අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ. ඇයට තිබ්බේ ගැමි පැත්තට බර පෙනුමක් කිවුවොත් අපි නිවැරදි වෙයි. බොලිවුඩයේ දිග ගමනක් යයි කියලා හිතුවත් පස්සෙ කාලෙදි අපිට ග්‍රේසි සිංව නිතර දකින්න ලැබුණේ නැහැ. දකින්න ලැබුණත් ඇය හිටියේ ආරාධිත රංගනවලට වගේ බොහොම කෙටි චරිතවලට තමයි. ග්‍රේසි සිං ක්‍රම ක්‍රමයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්රයටත්, පංජාබ්, බෙංගාල වගේ එතරම් ජනප්‍රිය නොමැති සිනමාපට වලටත් එක්වුණා. ඒ නිසයි බොලිවුඩය ඇතුළේ ඇගේ ජනප්‍රියතාවය කෙමෙන් කෙමෙන් ගිලිහුණේ.
4. මීනාක්ෂි ශේෂාද්‍රි
අසූව අනූව දශක වලදි නිතර බොලිවුඩයේ දකින්න ලැබුණු මුහුණක් තමයි මීනාක්ෂි ශේෂාද්‍රි කියන්නෙ. ඇය අමිතාබ් බච්චන්ගේ ඉඳලා ගෝවින්දා දක්වා විවිධ නළුවන් රැසක් එක්ක පෙම්වතිය චරිතය රඟපෑවා. ඒ වගේම දමිළ, තෙළිඟු ආදී වෙනස් සිනමා කර්මාන්තවලටත් සම්බන්ධ වුණා. හැබැයි 90 ගණන් වල මැදින් පස්සේ වැඩිහිටි චරිතයක් හරහාවත් මීනාක්ෂිව දැකගන්න ලැබුණේ නැහැ. ඊට හේතු වෙන්නේ ඇය විවාහ වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යාමයි.1995 අවුරුද්දෙදි ඇය හරීෂ් මයිසූර් නැමති බැංකුකරුවෙක් එක්ක විවාහ වෙනවා. ඊට පස්සේ තමයි ඇය සිනමාවට සමු දීලා ඇමරිකාවට සංක්‍රමණය වෙන්නේ. සාම්ප්‍රදායික ඉන්දීය නර්තන ක්‍රම රැසක් හදාරල තියන මීනාක්ෂි, මේ වෙද්දි ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ නැටුම් පාසලක් පවත්වගෙන යනවා.
5. මහීමා චෞද්රී
බොහොම සුන්දර වගේම ගාම්භීර පෙනුමක් තිබ්බ මහීමා චෞද්රී හින්දි සිනමාවට පිවිසෙන්නෙ 1997 වර්ෂයේදි අතිශය ජනප්‍රිය වෙච්ච, ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතය රඟපාපු පර්දේස් චිත්‍රපටය හරහායි. ඒ චරිතය සඳහා වසරේ නවක නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත් ඇය හිමිකරගත්තා.ඊට පස්සේ ‘ධර්කන්’,’කුරුක්ශේත්ර’ වගේ ජනප්‍රිය චිත්‍රපටවලිනුත් ඇයව දකින්න ලැබුණා. නිතර බොලිවුඩයේ පෙනෙන්න හිටි චරිතයක් වුණත් ඇය ක්‍රම ක්‍රමයෙන් බොලිවුඩ් නිර්මාණ වලින් වගේම ප්‍රේක්ෂක මතකයෙනුත් ඈත් වෙලා ගියා. මේ වෙද්දි ඇය විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා.
6. ස්නේහා උල්ලාල්
මේ නම නම් ඔයාලට එච්චර හුරු නැති වුණත්, මේ රූපය නම් අමතක වෙන්න බැහැ. සල්මාන් ඛාන් සහ අයිෂ්වර්යා රායි අතර සම්බන්ධේ බිඳී ගිය අලුත සල්මාන් රඟපානවා ‘ලකී’ කියල චිත්‍රපටයක. මේකේ පෙම්වතිය චරිතෙට හිටියේ ‘ස්නේහා උල්ලාල්’ නමැති නවක නිළියක්. ඇගේ පෙනුම අයිෂ්වර්යා රායිට බොහෝම සමාන වුණ නිසා ඇය එක රැයින් බොලිවුඩයේ පුවත් මවන චරිතයක් වුණා. නමුත් ඉන් පස්සේ ඇය රඟපාපු බොලිවුඩ් චිත්‍රපටය සාර්ථක එකක් වුණේ නැහැ. ඊට පස්සේ ඇය තෙළිගු සිනමාවට තමන්ගේ දායකත්වය සැපයුවා. අතරින් පතර ඇය රඟපාපු තෙළිඟු චිත්‍රපට කීපයක්ම අති සාර්ථකත්වයකුත් ලැබුවා. නිහැඬියාවකින් පස්සේ මේ වෙද්දි ඇය නැවතත් සිනමා රංගනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවක් තමයි දැනගන්න ලැබෙන්නෙ.
7. නම්රතා ශිරෝද්කාර්
මෝස්තර නිරූපණ ශිල්පිණියක් හැටියට තමන්ගේ වෘත්තීයමය ජීවිතය අරඹපු නම්රතා, 1993 වසරෙදි මිස් ඉන්දියා හැටියටත් කිරුළ පළඳිනවා. අනූව දශකයේ අග භාගයේ තිරගත කළ ‘ජබ් ප්යාර් කිසීසේ හෝතා හේ’ චිත්‍රපටය හරහා තමයි ඇය බොලිවුඩයට පිවිසෙන්නේ. ඊට පස්සේ ‘වාස්තව්’,’පුකාර්’,’හේරා පේරි’ වගේ ජනප්‍රිය වුණු චිත්‍රපට හරහා ඇයව අපට දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් ඇය වැඩි කාලයක් ක්ෂේත්රයේ රැඳෙන්නෙ නැහැ. සුප්‍රකට තෙළිඟු සිනමා නළු මහේෂ් බාබු සමග 2005 අවුරුද්දේදි ඇය විවාහ වෙලා ක්ෂේත්රයට සමු දෙනවා. ඒ විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා මේ වෙද්දි.
Leave a Reply