අඹ වලින් හදාගන්න පුළුවන් රස කෑම වර්ග 7ක්

මේ කාලේ අඹ කාලේ… රස පිරුණු අඹ වලින් හදාගන්න පුළුවන් සුපිරි රෙසිපි ටිකක් එක්කයි මේ සතියෙ ආවේ. ඩෙසර්ට් එකක්, කරි එකක්, ඩ්‍රින්ක් එකක් කිය​න මේ ඕනම විදියකට අඹ හදාගන්න හැටි අද අපි බලමු.

 

1. මැංගෝ කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හොඳින් ඉදුණු අඹ ගෙඩි 1
  2. සීනි කෝප්ප 1
  3. පාන්පිටි කෝප්ප 1
  4. කිරි කෝප්ප 3/4
  5. බටර් මේස හැඳි 5
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  7. වැනිලා ස්වල්පයක්
  8. ලුණු

 

  • අඹ ගෙඩිය පොඩි කෑලි වලට කපාගෙන බ්ලෙන්ඩ් කරගන්න.
  • භාජනයක් ලිපේ තියලා මේ බ්ලෙන්ඩ් කරගත් අඹ, සීනි කෝප්ප 1/2ක් හා ලුණු ටිකක් දාලා සීනි දියවෙනකල් හැඳිගාන්න. සීනි ටික දියවෙලා අඹ ටික තික් ජූස් එකක් වගේ උනාම ලිප ඕෆ් කරගන්න.
  • ඉතිරි සීනි හා බටර් එකතු කරලා බීට් කරගන්න. හොඳට බීට් වුනාම වැනිලා, කිරි දාලා බීට්කරගන්න.
  • පිටි වලට බේකින් පව්ඩර් දාලා දෙපාරක් හලාගන්න. මේක සීනි හා බටර් මිශ්‍රණයට එකතු කරල මුලින්ම හදාගත්තු අඹ මිශ්‍රණයෙන් තේ හැඳි 5ක් වගේ දාලා කලවම් කරගන්න.
  • බටර් ගාගත් ට්‍රේ එකකට මිශ්‍රණය දාලා විනාඩි 40ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.
  • කේක් එක බේක් වුනාම නිවෙන්න තියලා හදාගත් ටොපින් එක උඩින් දාගන්න. කැමති නම් අඹ කෑලිත් කපලා සරසගන්න.

 

2. අඹ කරි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කපාගත් අඹ ගෙඩි 3
  2. චොප්කරගත් රතුළූණු ගෙඩි 3
  3. කපාගත් අමුමිරිස් කරල් 2
  4. රම්පේ හා කරපිංචා
  5. තලාගත් ඉඟුරු හා සුදුළූණු ටිකක්
  6. කුරුඳු පොතු කෑල්ලක්
  7. මිටිකිරි කෝප්ප 1
  8. දියකිරි කෝප්ප 1/2
  9. සීනි මේස හැඳි 2
  10. කරදමුංගු ඇට 2
  11. පොල්තෙල් මේස හැඳි 2
  12. මිරිස්කුඩු තේ හැඳි 3
  13. අමු තුනපහකුඩු තේ හැඳි 1
  14. කහකුඩු තේ හැඳි 1/2
  15. බැදපු තුනපහකුඩු තේ හැඳි 1
  16. සේර කෑල්ලක්

 

  • භාජනයක් ලිපේ තියලා තෙල් ටික දාගන්න. තෙල් රත්වීගෙන එනකොට චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න.
  • ටිකකින් චොප්කරගත් රතුළූණු, කරදමුංගු, රම්පේ හා කරපිංචා, අමුමිරිස්, කුරුඳු පොතු එකතු කරන්න. 
  • ඒ ටික තෙම්පරාදු උනාම මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු එකතු කරන්න. කලවම් කරලා සීනි හා ලුණු දාලා අඹ ටික එකතු කරලා ආයෙත් කලවම් කරන්න. දියකිරෙන් අඹ ටික තම්බාගන්න.
  • අඹ තැම්බුනාම සේර කෑල්ල අන්තිමට එකතුකරන ගමන් මිටිකිරි දාලා හොඳට හොද්ද උකු වෙනකල් ලිපේ හිඳෙන්න අරින්න.

 

3. අඹ ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට ඉදුණු අඹ ගෙඩි 4
  2. සීනි ග්‍රෑම් 200
  3. දෙහි යුෂ ස්වල්පයක්

 

  • පොතු අයින් කරලා අඹ ටික කපාගෙන වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • භාජනයකට මේ ටික දාලා සීනි එකතු කරලා ලිපේ තියලා හැඳිගාන්න. වතුර ගතිය ඉවත් වෙලා උකු වෙනකොට දෙහි යුෂ ටික දාගන්න.
  • දිගටම හැඳි ගාන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන එකයි වෙන්න ඕනේ. නැත්තන් ජෑම් එකේ පාට වෙනස් වෙන්න බලනවා.
  • නූල් ඇදෙන පදමට ආවම ලිපෙන් බාගන්න. උණුවෙන්ම ජීවාණුහරණය කරපු බෝතලේකට දාගන්න.

 

4. අඹ චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට පැහුණු අඹගෙඩි 2
  2. සීනි කෝප්ප 1 1/2
  3. විනාකිරි කෝප්ප 1
  4. චොප්කරගත් ඉඟුරු සුදුළූණු ටිකක්
  5. කරාබුනැටි 2
  6. කරදමුංගු ඇට 2
  7. කුරුඳු පොතු පොඩි කෑල්ලක්
  8. මිරිස්කුඩු තේ හැඳි 2
  9. මුද්දරස්පලම් ස්වල්පයක්
  10. ලුණු

 

  • අඹ ටික පොතු ඇරලා පොඩි කෑලි වලට කපාගන්න.
  • කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු, ඉඟුරු, සුදුළූණු, මිරිස්කුඩු හා මුද්දරස්පලම් සියල්ලම විනාකිරි කෝප්ප 1/2ක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • ඉතිරි විනාකිරි වලට සීනි ටික දාලා ලිපේ තියන්න. සීනි දියවුණාම අඹ ටික දාලා හැඳිගාන ගමන් අඹරාගත් කුළුබඩු ටික එකතු කරන්න. උකු වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.

 

5. මැන්ගෝ කොබ්ලර් (Mango Cobbler)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

අඹ මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩි කෑලි කපාගත් අඹ ගෙඩි 4
  2. සීනි කෝප්ප 1
  3. ආමන්ඩ් එසන්ස් ස්වල්පයක්
  4. වැනිලා ස්වල්පයක්
  5. කුරුඳු කුඩු පින්ච් එකක්

 

කේක් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය   

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. කිරි කෝප්ප  1/2
  3. සීනි කෝප්ප  1
  4. බිත්තර 1
  5. බේකින් පව්ඩර් තේ හැඳි 2
  6. වැනිලා ස්වල්පයක්
  7. දියකරගත් බටර් කෝප්ප  1/2

 

  • අඹ මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සේරම එකට කලවම් කරගන්න.
  • කේක් එකට කිරි, සීනි, බිත්තරය හා වැනිලා එකතු කර බීට් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් එකතු කරගෙන පාන්පිටි ටික බිත්තර මිශ්‍රණයට එකතු කරලා පත්තකින් කලවම් කරගන්න.
  • කේක් ට්‍රේ එකට දියකරගත් බටර් ටික දාලා ඊට උඩින් අඹ මිශ්‍රණ​ය අතුරගන්න. ඊලඟට උඩින් කේක් මිශ්‍රණය දාලා සෙල්සියස් 180°ට විනාඩි 40ක් බේක් කරගන්න.

මේක අයිස්ක්‍රීම් එක්ක කන්න පුළුවන් රසවත් අතුරුපසක්…

 

6. අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හොඳින් ඉදුණු අඹ ගෙඩි 4
  2. මිල්ක්මේඩ් ටින් 1
  3. ජෙලටින් තේ හැඳි 1
  4. වතුර

 

  • අඹ ටික පොඩි කෑලි වලට කපාගෙන වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • ජෙලටින් වලට වතුර තේ හැඳි 1ක් දාලා පෙඟෙන්න තියන්න. ටිකකින් උණුවතුර ටිකක් දාලා හොඳට දියකරගන්න.
  • දැන් පියනක් සහිත භාජනයක් අරගෙන මිල්ක්මේඩ් එක දාගන්න. ඊලඟට ඒ ටින් එකෙන්ම වතුර එකක් දාලා කලවම් කරන්න. ඒකට ජෙලටින් හා අඹ පල්ප් එක දාලා හොඳට කලවම් කරලා පියනෙන් වහල පැය 5ක් ෆ්‍රීස් කරගන්න.
  • පැය 5කින් එළියට අරගෙන ඒ භාජනය ඇතුළෙම විනාඩි 15ක් වගේ බීට් කරගන්න.
  • ආයෙ පැය 5ක් ෆ්‍රීස් කරලා ආයෙ කලින් විදියටම විනාඩි 15ක් බීට් කරගන්න. ඔය වගේ අවම 4 පාරක් වගේ කරලා තවත් පැය 5ක් ෆ්‍රීස් කරලා කෑමට ගන්න.

 

7. මැන්ගෝ පන්න කොත්තා (Mango Panna Cotta)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට ඉදුණු අඹ ගෙඩි 2
  2. ජෙලටින් තේ හැඳි 4
  3. කිරි කෝප්ප 1/2
  4. අයිසින් ෂුගර් කෝප්ප 1/2
  5. වැනිලා ස්වල්පයක්
  6. ලුණු
  7. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1

 

  • අඹ ටික පොඩි කෑලි වලට කපලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් ජෙලටින් තේ හැඳි 2ක් වතුර තේ හැඳි 2ක් එක්ක ඩබල් බොයිල් කරලා අඹ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • ඩෙසර්ට් ග්ලාස් කිහිපයක් ඇලේට වෙන්න සෙට් කරගෙන මේ අඹ පල්ප් එක දාගන්න. පැය 2ක් ෆ්‍රිජ් එකේ සෙට්වෙන්න තියන්න.
  • ඒ අතරෙ කිරි මිශ්‍රණය හදන්න කිරි ටික භාජනයකට දාලා රත් කරන ගමන් ජෙලටින් තේ හැඳි 2ක් දාලා කලවම් කරගන්න.
  • වැනිලා ටිකක් දාගන්න. ලුණු ටිකකුත් දාලා කලවම් කරන ගමන් අයිසින් ෂුගර් ටික එකතු කරගන්න. අන්තිමට ෆ්‍රෙශ් ක්‍රීම් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • දැන් ෆ්‍රිජ් දාපු ඩෙසර්ට් ග්ලාස් කෙලින් කරලා කිරි මිශ්‍රණය දාලා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියල කෑමට ගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *