ඉස්සර අපේ ආච්චිලා හදල දෙන අග්ගලා මතකද? හීල් බත් වේලල, බැදල, කොටල හදන මේ බත් අග්ගලා තේ වෙලාවකට කියාපු කෑමක්. දැන් දැන් එහෙම කෑම අපෙන් ඈත් වෙලාම ගිහින්. කොටින්ම හුඟක් ගෘහණියන් ඉතුරු වෙන බත් ටික විසි කරල දානවා මිසක් ඕකෙන් වෙන දෙයක් හදන්න හිතන්නෙම නෑ. ඒත් ආර්ථිකය පැත්තෙන් ගත්තත්, සමාජීය පැත්තෙන් ගත්තත් කිසිම කෑමක් අහක නොදා නැවත ප්‍රයෝජනයට ගන්න එක තමා වඩාත්ම හොඳ. ලෝබකම් කරන්න කියනව නෙවෙයි, ඔය සුද්දොත් ලෙෆ්ටෝවර්ස් කියල ඉතුරු කෑම වලින් එක එක කෑම හදාගන්න එකේ, අනාදිමත් කාලයක් තිස්සෙ අරපරිස්සම කියාදුන්න ආච්චිල, අත්තම්මල උන්නු අපි ඇයි මහන්සියෙන් උපයගන්න බත් ඇටයක්වත් අහක දාන්නෙ? අද අපි මේ ලියන්න හදන්නෙ එදිනෙදා ගෙදර ඉතිරි වෙන බත් වලින් හදාගන්න පුළුවන් රසවත් කෑම ටිකක් ගැන. බත් නොකන පොඩ්ඩන්ට බත් කවාගන්නත් මේ ක්‍රම ටික ගැලපෙනව.
1. චීසි රයිස් බෝල්ස්

Image Source – kudoskitchenbyrenee.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කප් 1 1/2
- තම්බාගත් අල ගෙඩියක්
- කැමති චීස් වර්ගයකින් කුඩා කොටු කීපයක්
- ලුණු
- ගම්මිරිස්
- චොප් කරගත් ළූණු ගෙඩි බාගයක්
- චොප් කරගත් අමු මිරිස් කරලක්
- බිත්තරයක්
- පාන් කුඩු
- බත් ටික සහ අල ගෙඩිය වෙන වෙනම පොඩි කරගන්න. අල වලට ලුණු, ගම්මිරිස්, ළූණු සහ අමු මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට බත් ටික එකතු කරගෙන මිශ්‍ර කරගන්න.
- සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් අතේ තෙල් තවරාගෙන අල්ලට ගෙන, එය මැදින් චීස් කැබැල්ලක් තබා බෝල කරගන්න.
- සාදාගත් බෝල බිත්තර සාරු තවරා, පාන් කුඩු දවටා, ගැඹුරු තෙලේ බැදගන්න.
2. රයිස් පුඩින්

Image Source – thegirllovestoeat.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කප් 1 1/2
- සීනි කප් 1/2
- ලොකු බිත්තර 2
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1 1/2
- සාදික්කා කුඩු තේ හැඳි 1/2
- වියලි මිදි කප් 1/4
- බෝල් එකක් ගෙන එයට බිත්තර, කිරි, සාදික්කා සහ සීනි එක් කර හොඳින් ගසාගන්න. එයට තරමක් පොඩි කළ බත් සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න.
- මිශ්‍රණය බේක් කළ හැකි බටර් තවරාගත් බඳුනක දමාගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක දමා විනාඩි 45ක් බේක් කරගන්න.
3. රයිස් තෝසේ

Image Source – khanapoor.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කප් 1
- හාල් පිටි කප් 1/2
- මීකිරි කප් 1/2
- වතුර කප් 1/2
- ආප්ප සෝඩා පින්ච් දෙක තුනක්
- ලුණු
- සිහින්ව ලියා තෙම්පරාදු කරගත් ළූණු, කරපිංචා
- බත්, මීකිරි, ලුණු, වතුර සහ හාල් පිටි එකට එක් කර, බ්ලෙන්ඩරයක දමා මෘදු බැටරයක් එන තෙක් බ්ලෙන්ඩ් කරගන්න.
- එය බෝල් එකකට දමාගෙන, ආප්ප සෝඩා සහ ළූණු, කරපිංචා එක් කර විනාඩි දහයක් තබා, තෙල් තවරාගත් තැටියක සාමාන්‍ය තෝසේ ආකාරයටම සාදාගන්න.
4. රයිස් කීශ්

Image Source – larenaissancedollie.wordpress.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කප් 1 1/2
- පිටි කප් 1/4
- ලුණු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- බිත්තර සුදු මද 1
- ෆිලින්ග් එක සඳහා
- බිත්තර 3
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4
- චොප් කරගත් ළූණු
- කුඩාවට කපාගත් තක්කාලි
- කොටු කපාගත් මොසරැල්ලා චීස්
- ලුණු සහ ගම්මිරිස් රස අනුව
- කපාගත් ළූණු කොළ
- බත් ටික තරමක් පොඩි කර ඒකට පිටි, බිත්තර සුදු මදය, ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
- මෆින් ට්‍රේ එකක් හෝ බේක් කළ හැකි කුඩා කප් කීපයක් හෝ තනි ට්‍රේ එකක් ගෙන හොඳින් බටර් තවරාගන්න. සාදාගත් බත් මිශ්‍රණය එයට දමා එහි අඩිය සහ වටේ ආවරණය වන පරිදි අතින් සකසාගන්න.
- ෆිලින්ග් එක සාදා ගැනීමට බිත්තර තුන තරමක් ගසාගෙන එයට අනෙක් සියල්ලම එක් කර හොඳින් කලවම් කරගන්න. සාදාගත් ෆිලින්ග් එක මෆින් ට්‍රේ එකට දමාගත් බත් කප් වලට පුරවා ගන්න. සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් පමණ බේක් කරගන්න.
5. රයිස් පකෝරා

Image Source – craftlog.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කප් 1
- චොප් කරගත් පොඩි ළූණු ගෙඩියක්
- සිහින්ව කපාගත් අමු මිරිස් කරලක්
- සූදුරු ඇට තේ හැඳි 1/4
- අබ ඇට තේ හැඳි 1/4
- කඩල පිටි මේස හැඳි 5
- කපාගත් කොත්තමල්ලි කොළ කප් 1/4
- කහ ස්වල්පයක්
- ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු රස අනුව
- පෙරුම්කායම් පින්ච් එකක්
- මී කිරි මේස හැඳි 2
- බත් ටික හැන්දකින් හොඳින් පොඩි කරගන්න. ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එයට එක් කර හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි 10-15ක් වසා තබන්න. දියාරු නොවන මෘදු ගතියක් ලබා ගැනීමට අවශ්‍ය තරම් වතුර එක් කරගන්න.
- හොඳින් රත් වූ ගැඹුරු තෙලට මිශ්‍රණයෙන් හැන්ද බැගින් එක් කර, රන්වන් පැහැ වනතුරු බැදගන්න.
Cover Image Source – great-secret-of-life.com/ youtube.com
Leave a Reply