කඩෙන් ගේන යෝගට් නිකන්ම කන එකේ අපි ඒකෙන් රසම රස ඩෙසර්ට් ටිකක් හදලා කමුද? එකම විදියට කන්න ඕනේත් නෑනේ. ලොකු මහන්සියක් නැතුව රස වෙනසක් කරන්න කැමති නම් හදමුද මෙහෙම?
1. යෝගට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- මිල්ක්මේඩ් කෝප්ප 1/2
- කරදමුංගු ඇට 2ක් කුඩු කරලා
- යෝගට් කෝප්ප 1 1/2 (මෙශරින් කප්)
කැරමල් එකට
- සීනි කෝප්ප 1/2
- වතුර මේස හැඳි 4
- බිත්තර ටික කඩලා බිත්තර වල කහමදය අයිනේ ඇති ඝණ සුදුපාට කොටස ඉවත් කරන්න. බිත්තර වලට මිල්ක්මේඩ් ටික දාලා කරදමුංගු කුඩු ටිකත් දාලා හොඳට විස්ක් කරගන්න.
- යෝගට් ටික වෙනම බෝල් එකක ලාවට දියාරු වෙනකල් විස්ක් කරගන්න.
- මේ යෝගට් ටික බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
- කැරමල් එක හදාගන්න වතුර නැති භාජනයක් ලිපේ තියලා සීනි ටික දාලා දුඹුරුපාට වීගෙන එනකොට වතුර ටික දාලා සීනි දියකරගෙන කැරමල් එක හදාගන්න.
- දැන් මේ කැරමල් එක පුඩින් එක හදාගන්න ට්‍රේ එකට දාගෙන ඊට උඩින් අපි හදාගත්ත පුඩින් මිශ්‍රණය දාගන්න. උඩින් ෆොයිල් කොළයකින් වහලා අවන් එකේ180°ට විනාඩි 20-30ක් බේක් කරගන්න.
2. යෝගට් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් ග්‍රෑම් 200
- බිත්තර 3
- සීනි ග්‍රෑම් 160
- වැනිලා තේ හැඳි 1
- ගාගත් දොඩම් පොතු තේ හැඳි 2
- පාන්පිටි ග්‍රෑම් 80
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- එළවළු තෙල් කෝප්ප 1/2
- යෝගට් ටික විස්ක් කරගෙන ඒකට බිත්තර ටික දාලා බීට් කරගන්න.
- ටිකකින් සීනි දාලා සීනි කැට දියවෙනකල් හොඳට බීට් කරගන්න. ඊලඟට දොඩම් පොතු හා වැනිලා ටික දාගන්න.
- පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු ටික දාගෙන එකපාරක් හලාගෙන ඒක බිත්තර සහ යෝගට් මිශ්‍රණයට එකතු කරන්න.
- ඊට පස්සෙ එළවළු තෙල් ටික දාගන්න. හොඳට විස්ක් කරගන්න විනාඩි 10ක් විතර.
- කේක් ට්‍රේ එකට ඔයිල් ටිකක් බ්‍රශ් කරලා පිටි ටිකක් ඉසගෙන කේක් බැටර් එක දාගෙන 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.
3. යෝගට් පෑන් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් කෝප්ප ග්‍රෑම් 400
- බිත්තර 2
- පාන්පිටි ග්‍රෑම් 200
- ලුණු
- බටර්
- බිත්තර ටික විස්ක් කරලා ඒකට යෝගට් ටික දාගන්න. මේකට වතුර කෝප්ප 3/4ක් වගේ දාලා කලවම් කරගන්න.
- ඊලඟට පාන්පිටි හා ලුණු කලවම් කරලා යෝගට් මිශ්‍රණයට එකතු කරලා කැටි නොගැසෙන්න විස්ක් කරගන්න.
- බටර් ටිකක් පෑන් එකට දාලා දියවෙනකොට බැටර් එකෙන් ටිකක් දාලා පෑන් කේක් එක දෙපැත්තම ගෝල්ඩන් කලර් වෙනකල් පෑන් ෆ්‍රයි කරගන්න.
4. යෝගට් ඩෝනට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් එකක්
- සම්පූර්ණ බිත්තර 1
- බිත්තර කහමද 1
- අයිසින් ෂුගර් මේස හැඳි 2 1/2
- ලුණු පින්ච් එකක්
- පාන්පිටි කෝප්ප 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- බැදගැනීමට තෙල්
- සීනි මේස හැඳි 2
- කුරුඳු කුඩු පින්ච් එකක්
- යෝගට් වලට බිත්තරය හා බිත්තර කහමදය දාලා හොඳට විස්ක් කරගන්න. ඊලඟට අයිසින් ෂුගර් හා ලුණු එකතු කරලා කලවම් කරගන්න.
- වෙනම බෝල් එකක පාන්පිටි වලට බේකින් සෝඩා එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඒ ටික යෝගට් මිශ්‍රණයට දාලා බැටර් එකක් හදාගන්න.
- දියාරු වැඩි නම් තව පිටි ටිකක් දාගන්න. ගොඩක්ම තික් කරගන්නත් එපා.
- දැන් තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට මේ බැටර් එකෙන් හැන්දක් අරන් තෙලට දාගන්න.ඔය වගේ තාච්චියේ තැනින් තැනට බැටර් එකෙන් ටික ටික දාලා ගැඹුරු තෙලේ බැදගන්න.
- සීනි වලට කුරුඳු කුඩු කලවම් කරලා මේ බැදගත් ඩෝනට් උණුවෙන්ම සීනි වල තවරලා කෑමට ගන්න.
5. යෝගට් ජෙලි මූස්
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් 4ක්
- ජෙලි පැකට් 3ක් ෆ්ලේවර්ස් 3කින්
- මිල්ක්මේඩ් පොඩි ටින් 1
- ජෙලි පැකට් එකක් උණුවතුර කෝප්ප එකක දියකරලා බටර් ගාගත් ට්‍රේ එකක දාලා සෙට් වෙන්න තියන්න.
- ඊලඟට ඉතුරු ෆ්ලේවර්ස් දෙක වෙන වෙනම හදලා බාගෙට සෙට් කරගන්න. සම්පූර්ණයෙන් සෙට් වෙන්න දෙන්න එපා.
- බාගෙට හදපු එක ජෙලි එකක් අරන් ඒකට යෝගට් 2ක් හා
- මිල්ක්මේඩ් ටින් එකෙන් බාගයක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් මේක අර හොඳටම සෙට් කරගත් ජෙලි එක උඩින් දාගන්න. මේක හොඳට සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියාගන්න.
- ඊලඟට අනික් බාගෙට සෙට් කරගත් ජෙලි එකයි ඉතුරු යෝගට් 2යි ඉතුරු මිල්ක්මේඩ් ටිකයි දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගෙන ඊලඟ ලේයර් එක දාගන්න. හොඳටම සෙට් උනාම අනික් පැත්ත හරවල පිළිගන්වන්න.
Leave a Reply