ග්‍රීන්පීස් වලින් හදන්න පුලුවන් කෑම වර්ග 7ක්

ලංකාවේ බහුලවම වගා නොකෙරුනත් අපිට නිතර කන්න පුලුවන් කෑමක් තමා ග්‍රීන්පීස් කියන්නෙ. මේක තම්බා ෆ්‍රීස් කළ ඒවා හෝ වියළි ග්‍රීන්පීස් විදියට වෙලඳපොළෙන් ගන්න පුලුවන්. ඉතින් ඔන්න අද ගෙනාවා ග්‍රීන්පීස් වලින් හදන්න පුලුවන් කෑම සෙට් එකක්ම. මැග්නීසියම්, පොටෑසියම් හා කැල්සියම් අඩංගු ධාන්‍ය වර්ගයක් වන මේ ග්‍රීන්පීස් ආහාරයට එකතු කර ගැනීම ගොඩක් වටිනවා. එහෙනම් මේ ටික කියවලා බලලා රස කෑම හදලා කන්න.

01. ග්‍රීන්පීස් පැටී

අවශ්‍ය ද්‍රව්‍ය:-
ග්‍රීන්පීස් කෝප්ප 2
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
චොප්කරගත් සුදුළූණු තේහැඳි 1
චොප්කරගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
චොප්කරගත් ළූණු ගෙඩි 1
සූදුරු තේහැඳි 1
තල ඇට තේහැඳි 1
මිරිස්කුඩු තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
කහකුඩු තේහැඳි 1/2
කඩලපිටි මේසහැඳි 2
හාල්පිටි මේසහැඳි 1
බැදීමට තෙල්

ග්‍රීන්පීස් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න.මේකට තෙල් හැර අනික් සියල්ලම දාලා හොඳට අනාගන්න.වතුර මේසහැඳි 2ක් වගේ දාගන්න.හොඳට අනලා අතේ තෙල් ටිකක් ගාලා ඩෝ එකෙන් ටිකක් අරන් බෝල හදලා පැතලි කරගන්න.පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේ ටික දාල බැදගන්න.

02. ස්පයිසි ග්‍රීන්පීස්

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 3
තෙල් ස්වල්පයක්
සූදුරු තේහැඳි 1/2
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
චොප්කරගත් අමුමිරිස් කරල් 2
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
ලෙමන් යුෂ මේසහැඳි 2

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සූදුරු හා ඉඟුරු ටික දාගන්න.මේකට චොප්කරගත් අමුමිරිස් ටිකත් දාලා හොඳට බැදෙන්න අරින්න.ටිකකින් තම්බාගත් ග්‍රීන්පීස් ටික දාලා කලවම් කරන්න.රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.ග්‍රීන්පීස්ටික හොඳට බැදුනම චොප්කරගත් කොත්තමල්ලි කොළ හා ලෙමන් යුෂ දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.

03. ක්‍රීමි ග්‍රීන්පීස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :-
ග්‍රීන්පීස් ග්‍රෑම් 200
තෙල් මේසහැඳි 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 4-5
වතුර කෝප්ප 1
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් කොත්තමල්ලි හා මින්චි කොළ

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු හා සුදුළූණු ටික දාගන්න.මේ ටික හොඳට තෙම්පරාදු වෙනකොට ග්‍රීන්පීස් ටික එකතු කරන්න.දැන් මේකට වතුර කෝප්පයක් දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.මේකට කොත්තමල්ලි හා මින්චි කොළ එකතුකරන්න.ග්‍රීන්පීස් හොඳට තැම්බිලා වතුර ටිකක් හිඳෙන්න දෙන්න. දැන් ලිපෙන් බාලා වතුර පෙරලා ග්‍රීන්පීස් ටික ග්‍රයින්ඩ් කරගන්න.ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක පිරිසිදු රෙදි කෑල්ලකට දාලා පෙරාගන්න.දැන් මේ පෙරාගත් පේස්ට් එකට උණුවතුර කෝප්පයක් දාලා චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාලා නැවත ලිපේ තියන්න.උඩින් ෆ්‍රෙශ්ක්‍රීම් ටිකක් දාගන්න.උතුරනකොට ලිපෙන් බාගන්න.

04. ග්‍රීන්පීස් කරි

අවශ්‍ය ද්‍රව්‍ය:-
ග්‍රීන්පීස් කෝප්ප 1
කොටුවට කපාගත් කැරට් කෝප්ප 1
අමු කජු කෝප්ප 1/4
ලියාගත් ළූණු ස්වල්පයක්
අමුමිරිස් කරල් 2
මිටිකිරි කෝප්ප 1
දියකිරි කෝප්ප 1
ලුණු ස්වල්පයක්
කහකුඩු තේහැඳි 1/4
තුනපහකුඩු තේහැඳි 1/2
කරපිංචා ස්වල්පයක්

ග්‍රීන්පීස් ටික පැය බාගයක් පෙඟෙන්න තියලා ලුණු ටිකක් දාලා හොඳට තම්බගන්න.ඊලඟට වෙනම භාජනයක් ලිපේ තියලා තම්බාගත් ග්‍රීන්පීස්, කැරට් හා ළූණු ටික දාලා කහකුඩු, තුනපහකුඩු, අමුමිරිස් හා කරපිංචා දාලා දියකිරෙන් ලිපේ තියන්න.කැරට් ටික තැම්බුනාම කජු ටික දාගන්න.ටිකකින් මේකට මිටිකිරි දාලා රස අනුව ලුණු දාලා උතුරවලා ගන්න.

05. ග්‍රීන්පීස් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය:-
තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
කපාගත් තක්කාලි ගෙඩි 1
කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
ඔලිව්තෙල් මේසහැඳි 2
පාමසාන් චීස් මේසහැඳි 1
චොප්කරගත් සුදුළූණු බික් 2
මින්චි කොළ ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු
ලෙමන් යුෂ ස්වල්පයක්
සීනි තේහැඳි 1

මුලින්ම සැලඩ් ඩ්‍රසින් එක හදමු. බෝල් එකකට දෙහි යුෂ, ඔලිව්තෙල්, ලුණු, ගම්මිරිස්කුඩු, සුදුළූණු, මින්චි කොළ හා සීනි දාලා හොඳට කලවම් කරගන්න.වෙනම බෝල් එකකට ග්‍රීන්පීස්, තක්කාලි, බෙල්පෙපර් හා ළූණු දාලා සාදාගත් ඩ්‍රසින් එක දාලා කලවම් කරගන්න. උඩින් පාමසාන් චීස් ටිකක් ඉසගන්න.

06. ග්‍රීන්පීස් පරාතා

අවශ්‍ය ද්‍රව්‍ය:-
ග්‍රීන්පීස් කෝප්ප 1 1/2
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
ඉඟුරු කෑල්ලක්
අමුමිරිස් කරල් 2
වතුර මේසහැඳි 2
පාන්පිටි කෝප්ප 2
සූදුරු තේහැඳි 1
ගරම් මසාලා තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
තෙල් තේහැඳි 2

ග්‍රයින්ඩර් එකට ග්‍රීන්පීස් ,කොත්තමල්ලි කොල, ඉඟුරු, අමුමිරිස් හා වතුර දාලා ස්මූත් පේස්ට් එකක් හදාගන්න.වෙනම බෝල් එකක පාන්පිටි ටික දාලා ඒකට සූදුරු, ගරම් මසාලා, ලුණු හා තෙල් දාලා හොඳට කලවම් කරගන්න.මේකට ග්‍රයින්ඩ්කරගත් ග්‍රීන්පීස් පේස්ට් එකත් දාලා වතුර මේසහැඳි 2ක් වගේ දාලා හොඳට අනලා ස්මූත් ඩෝ එකක් හදාගන්න.දැන් මේකෙන් පොඩි බෝල හදලා තුනී කරලා පෑන් එකට දාලා දෙපැත්තෙම තෙල් ගාලා පුළුස්සාගන්න.

07. ග්‍රීන්පීස් පුලාව්

අවශ්‍ය ද්‍රව්‍ය:-
ග්‍රීන්පීස් කෝප්ප 1
තෙල් ස්වල්පයක්
සූදුරු තේහැඳි 1
කුරුදුපොතු කෑල්ලක්
කරාඹුනැටි 2
ස්ටාර් ඇනීස් 1
බේ ලීෆ් 1
කරදමුංගු ඇට 2
ගම්මිරිස් ඇට ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 1
කපාගත් අමුමිරිස් කරල් 2
ඉඟුරු සුදුළූණු පේස්‍ට් තේහැඳි 1
සෝදාගත් හාල් කෝප්ප 1

පෑන් එකට තෙල් ටිකක් දාගන්න.මේකට සූදුරු, කරදමුංගු, කරාඹුනැටි, ස්ටාර් ඇනීස්, ගම්මිරිස්, බේ ලීෆ් හා කුරුදුපොතු ටික දාලා බැදෙන්න අරින්න.ඊලඟට මේකට ලියාගත් ළූණු ටික එකතු කරන්න.මේකට අමුමිරිස් හා ඉඟුරු සුදුළූණු පේස්ට් ටික දාලා කලවම් කරගන්න.ටිකකින් මේකට ග්‍රීන්පීස් ටික දාලා කලවන් කරලා විනාඩි 5ක් වගේ තියන්න.ඊලඟට හාල් ටික දාලා බත පිසින්න ඇතිතරම් වතුර දාගන්න.රස අනුව ලුණු දාලා වහලා බත් එක පිසගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *