තේ වෙලාවට බිස්කට් එකක් කන එක දැන් පුරුද්දටම ගිහින් වගේ නේද? නිකම්ම තේ එකේ පොඟවගෙන කන බිස්කට් එකෙන් ඊට වඩා රස කෑම ටිකක් හදන්න පුළුවන්. තේ වෙලාවට විතරක් නෙවෙයි, අතුරුපසක් විදියටත් ගන්න පුළුවන් රසම රස කෑම ටිකක් බිස්කට් වලින් හදන රෙසිපි ටිකක් තමයි අද අරන් ආවෙ.
1. මික්ස්ඩ් ෆෘට් බිස්කට් පුඩින්

Image Source – sanaasrecipes.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් 16
- ක්‍රීම් චීස් තේ හැඳි 3
- ෆ්‍රෙශ් ක්‍රීම් කප් 1
- මික්ස්ඩ් ෆෘට් ජෑම්
- සීනි තේ හැඳි 2
- දොඩම්, කෙසෙල්, ඇපල්, මිදි වගේ කැමති පළතුරු කීපයක් (කපාගත්)
- ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1
- ජෙලි පැකට් එක වතුර කෝප්ප 1/2කට මිශ්‍ර කර, එයට කපාගත් පළතුරු එකතු කර, ලිපේ තියාගෙන විනාඩි දෙක තුනක් පිසගෙන ලිපෙන් ඉවත් කරන්න.
- මාරි බිස්කට් වල ජෑම් තවරා බිස්කට් දෙක බැගින් එකිනෙක අලවගෙන එක් බිස්කට් ජෝඩුවක් හතරට කපාගන්න.
- ෆ්‍රෙශ් ක්‍රීම් වලට සීනි සහ ක්‍රීම් චීස් එක් කර බීට් කරගන්න. පිලිගැන්වීමට සුදුසු වීදුරු බඳුනක බිස්කට් ලේයර් එකක් දමා එයට උඩින් පළතුරු සහ ෆ්‍රෙශ් ක්‍රීම් ලේයර් එකක් විදියට දමාගන්න. නැවත ඒ ආකාරයට ලේයර් කරගන්න.
- ශීතකරණයේ පැය තුන හතරක් තබා පිළිගන්වන්න.
2. බිස්කට් ඇන්ඩ් ක්‍රීම් ෆජ්

Image Source – mogofudge.com
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප් කරගත් චොකලට් බිස්කට් 75g
- සීනි මෙශරින් කප් 1
- කැබලි කපාගත් බටර් 125g
- මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
- චොප් කරගත් චොකලට් 200g
- ග්ලූකෝස් සිරප් මේස හැඳි 2
- මිල්ක්මේඩ්, සීනි, බටර් සහ ග්ලූකෝස් සිරප් එකට මිශ්‍ර කර, බුබුළු නගින තෙක් ඩබල් බොයිල් ක්‍රමයට රත් කරමින් මිශ්‍ර කරගන්න.
- ලිපෙන් ඉවත් කර හොඳින් චොප් කරගත් චොකලට් සහ බිස්කට් එක් කර චොකලට් දිය වෙනතුරු මිශ්‍ර කරගන්න.
- සෙන්ටිමීටර් 18ක් දිග සහ පළල හතරැස් ට්‍රේ එකකට ඔයිල් පේපර් අතුරා ගෙන එයට මිශ්‍රණය දමාගන්න. නිවෙනකම් තබා ශීතකරණයේ රැයක් තියා කෑලි කපාගන්න.
3. බිස්කට් චොකලට් ලොග්ස්

Image Source – cruisewhat.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි හෝ එවැනි ප්ලේන් බිස්කට් වර්ගයකින් 6ක්
- බටර් මේස හැඳි 1
- අයිසින් සීනි මේස හැඳි 2
- වැනිලා තේ හැඳි 1/2
- කොකෝවා පව්ඩර් තේ හැඳි 1/2
- ක්ෂණික කෝපි තේ හැන්දයි
- වතුර කප් 1/2
- කුඩු කරගත් කජු ටිකක්
- කෝපි වලට වතුර එක් කර විනාඩි කීපයක් තියෙන්න හැර දියකරගන්න. බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දියකරගෙන, එයට සීනි එක් කර, හැන්දකින් ගසා මිශ්‍ර කරගන්න.
- බටර් සහ සීනි මිශ්‍රණයට කොකෝවා පව්ඩර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගන්න.
- බිස්කට් එකක් ගෙන සාදාගත් කෝපි මිශ්‍රණයේ ඔබා ඉක්මණින්ම ඉවතට ගෙන සාදාගත් චොකලට් මිශ්‍රණය එයට උඩින් තවරාගන්න. නැවත පෙර පරිදිම බිස්කට් එකක් කෝපි වල ඔබා අරගෙන කලින් චොකලට් තවරාගත් බිස්කට් එක මත තියාගන්න.
- මේ ආකාරයට බිස්කට් සියල්ල එක උඩ එක වන ලෙස තබා වටේටම සාදාගත් චොකලට් මිශ්‍රණය තවරන්න. කජු ඉස, ශීතකරණයේ පැය කීපයක් තබා ගන්න. හතරට කපා පිලිගන්වන්න.
4. බිස්කට් කේක්

Image Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් 200g
- සීනි 50g
- බිත්තර 3
- බටර් 100g
- මිල්ක් චොකලට් 150g
- බේකින් පව්ඩර් 16g
- බිස්කට් ටික ග්‍රයින්ඩර් එකට දමා කුඩු කරගන්න. බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන වෙනම බෝල් එකකට දමාගන්න. ඒකටම සීනි එකතු කරගෙන හොඳින් සීනි දියකරගන්න.
- දියකරගත් සීනි සහ බටර් මිශ්‍රණයට බිත්තර එකතු කරගෙන බීට් කරගන්න. ඒකට බිස්කට් කුඩු සහ බේකින් පව්ඩර් ටික එකතු කරන් මිශ්‍ර කරගන්න.
- චොකලට් කුඩා කැබලි වලට කපා එයටම එකතු කරගන්න. බටර් තවරා තෙල් කඩදාසි දමාගත් ට්‍රේ එකකට මිශ්‍රණය දමාගෙන සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. හොඳින් නිවුණු පසු උඩින් අයිසින් සීනි ඉස සරසා පිළිගන්වන්න.
5. බිස්කට් මිල්ක්ශේක්

Image Source – shakeandsnack.com
අවශ්‍ය ද්‍රව්‍ය
- චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් 2
- කිරි කප් 1
- චොකලට් බිස්කට් 4ක්
- සැරසීමට චොකලට් සෝස්
- කිරි සහ අයිස්ක්‍රීම් එකට බ්ලෙන්ඩ් කරගන්න. එයටම කැබලි කඩාගත් බිස්කට් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. චොකලට් සෝස් වීදුරුවකට දමා, එය විනාඩි කීපයක් ශීතකරණයේ තබා, සාදාගත් මිල්ක්ශේක් එක දමා පිළිගන්වන්න.
Cover Image Source – odlums.ie/ communitytable.parade.com
Leave a Reply