ලංකාවේ ව්‍යාපාර ලෝකය ජයගත් කාන්තාවන්

බොහෝ දෙනෙකුගේ අදහසක් තියෙනවා ලංකාවේ සිංහලයන්ට ව්‍යාපාර කටයුතු කරන්න බැහැයි කියලා. හැබැයි ඒක අර්ධ සත්‍යයක් කියලා ඕනාවටත් වඩා සිංහලයෝ ඔප්පු කරලා තියෙනවා. ලංකාවේ ඉහළම පෙළේ ධනවතුන් අතර වෙනත් ජනවර්ග වල අය ඉන්න හින්දා වෙන්න ඇති ඔය කතාව ගොඩනැගෙන්න ඇත්තේ. ඒ වගේම ගොඩක් දෙනෙක් හිතන්නේ ව්‍යාපාරික ලෝකය කියන්නේ පිරිමින්ගේ ලෝකයක් කියලා. අද අපේ මේ සටහන ලංකාවේ ව්‍යාපාරික ලෝකය ජය ගත්ත සිංහල කාන්තාවෝ කීප දෙනෙක් ගැන.

 

1. සෝමා එදිරිසිංහ

වසර ගණනාවක් මුළුල්ලේ ඊ. ඒ. පී සමාගම් ජාලයේ සභාපතිනිය විදිහට කටයුතු කළේ සෝමා එදිරිසිංහ මහත්මිය. තම සැමියාගේ මරණයෙන් පස්සේ දූ දරුවන් පිරිස හදාගෙන ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනිච්ච ඇය අවසානයේ දී ව්‍යාපාර රාශියක් තමන්ගේ දරුවන්ට උරුම කරලා ගියා. හැබැයි එතුමියගේ දරුවෝ තමන්ගේ දෙමව්පියෝ ආරක්ෂා කරපු උරුමය රැකගත්තද කියන එක නම් ප්‍රශ්නයක්. ස්වර්ණවාහිනිය, සැවෝයි සිනමා ජාලය, සැෆායර් හෝටලය මේ ඊ. ඒ. පී ව්‍යාපාර ජාලයට අයිති වුණු සමාගම් සමූහයෙන් කීපයක් පමණයි

 

2. මිලිනා සුමතිපාල 

සෝමා එදිරිසිංහ මහත්මියට වගේම මෙතුමියත් ව්‍යාපාර කටයුතුවලට යොමු වෙන්නේ තමන්ගේ සැමියාගේ මරණය නිසා. ප්‍රායෝගික ඥානයෙන් සහ ව්‍යාපාරික බුද්ධියෙන් යුතුව ඇය සුමති සමූහ ව්‍යාපාරය වෙනස්ම තැනකට ගෙන යාමට සමත් වුණා. ජීවිතයේ අවසානය කාලය වෙනකල්ම ඒ සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය  විදිහට කටයුතු කළේ ඇය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිනිය විදිහට රටේ බුද්ධාගමට වගේම චිත්‍රපට නිෂ්පාදිකාවක් විදියට ලංකාවේ කලාවටත් ඇය අතිමහත් සේවයක් කළා.

 

3. ජැනට් බාලසූරිය 

ජැනට් බාලසූරිය මහත්මිය ක්ෂේත්‍රයට එද්දි ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අධිපතිත්වය හිමි කරගෙන තිබ්බේ බටහිර සමාගම්. ඒත් එතුමිය සාර්ථකව දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් රූපලාවණ්‍ය නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දුන්නා. ඒ වගේම ඒ නිෂ්පාදන අපනයන මට්ටමකටත් ගෙනාවා. ඇය ගමන් කරේ රෝස මල ඇතිරවූ පාරක නම් නෙමෙයි. ඒ සඳහා ඇයට සිය සැමියාගෙන් ලොකු සහයක් ලැබුණේ නැහැ. මේ සියලු ජයග්‍රහණයන් ඇය ලබා ගත්තේ තනිවම. 

 

4. ඔටාරා ගුණවර්ධන 

ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන්ට ඔටාරා කියන්නේ තේරුම් ගන්න අමාරු චරිතයක්. ගොඩක් දෙනෙක් හිතනවා ඔඩෙල් වගේ සුවිශාල ව්‍යාපාරයක් ගොඩ නගලා අවසානයේදී එය විකුණා දැමීම වැරදියි කියලා. ඒත් ඇය අලුත්ම පරම්පරාවේ ව්‍යාපාරික කාන්තාවක්. මේ පරම්පරාවේ ව්‍යාපාරිකයන් පරම්පරා ගණනක් සිදු කිරීමට ව්‍යාපාර ගොඩ නඟන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ව්‍යාපාර සුවිශාල ලාභයක් සහිතව විකුණලා තමන්ගේ සිහින කරා යනවා. දැන් ඇය එම්බාර්ක් ආයතනය හරහා  ජය ගන්න හදන්නේ ඒ සිහිනය.

 

5. මල්ලිකා හේමචන්ද්‍ර 

ඇය විවාහ වෙද්දී ස්වර්ණාභරණ සැකසීම ගැන වැඩි දෙයක් දැනගෙන හිටියේ නැහැ. එම කර්මාන්තය පිළිබඳව දැනුමක් සහිත පරපුරකින් පැවත එන, වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ තමන්ගේ සැමියාගේ සහයෝගයෙන් ඇය එංගලන්තයේදී මේ කටයුතු ආරම්භ කරනවා. මුලින්ම ඇගේ සේවක පිරිස දෙන්නයි. නමුත් තමන්ගේ වෘත්තීය කෙරෙහි දක්වපු අසීමිත කැපවීම සහ ධෛර්යය නිසා ලංකාව පුරා ජනප්‍රිය සන්නාමයක් වීමට ඇයට හැකියාව ලැබෙනවා.

 

6. නීලමනී ජයවර්ධන

නීලමනී මේ ගමන එන්නේ තනියම නෙමෙයි. ඇගේ සැමියා වුණ ප්‍රීතී ජයවර්ධන සෙවනැල්ලක් වගේ ඇගේ පිටිපස්සෙන් හිටියා. ඒ නිසා වසර ගණනාවක් තුළ දී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඳුම් ව්‍යාපාරයක් වෙන්න House of Fashions ආයතනයට හැකියාව ලැබුණා. මෙම ව්‍යාපාරය ඊට දශකයකට විතර පස්සේ ඉන්දියාවටත් තරගයක් ලබා දුන්නා. කාලයක් රෙදිපිළි ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පතුරවාගෙන හිටපු විවිධ ජන වර්ග වල ආධිපත්‍ය බිඳ දැමීමේ පෙර ගමන් කරුවෙක් විදිහට මේ ව්‍යාපාර ජාලය හඳුන්වන්න පුළුවන්. මේ අඩි පාරේ යමින් තව තව අය මේ ව්‍යාපාර ලෝකයට එකතු වුණා.

 

7. ලීලාමනී ඩයස් බෙන්සන්

මේ නම බොහෝ දෙනාට හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ නියුතු අයට මේ නම ජීවමාන පුරාවෘත්තයක්. කාන්තාවක් මෙහෙයවන ලද පළවෙනි දැන්වීම්කරණ ආයතන අතරින් එකක් විදිහට LDB Lintas හඳුන්වන්න පුළුවන්. තමන්ගේ සැමියාගේ සහයෝගය ලැබෙන ඇය තමන්ගේ සිහින සහ අරමුණු ඉෂ්ට කරගත්තා. ඒ වගේම ඒ හරහා විවිධ බහු ජාතික සමාගම් සමග නිර්භීතව තරග කිරීමට ඇයට හැකි වුණා.

 

එහෙම නම් මේ ලිස්ට් එකට තවත් ඇතුළත් විය යුතු කාන්තාවන් ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *