දැන් ඔය එදිනෙදා අපි අඳින පළඳින ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ගත්තහම, සමහරුන්ට මාරෙට සෙට් වෙන ෆැෂන් සෙන්ස් එකක් තියෙනවා. සමහරුන්ට මෙලෝ ෆැෂන් සෙන්ස් එකක්වත්, තමන් අඳින පළඳින දේවල් ගැන මෙලෝම ෆැෂන් රහක් වත් නෑ. සමහරුන්ගේ වෝඩ්රෝබ් එක, ඒ කියන්නේ ඇඳුම් අල්මාරිය ඇතුලේ අඳින ඇඳුම් වලට වඩා අඳින්නෙ නැති ඇඳුම් වැඩියි. සමහරු එක ඇඳුමක් දවස් කීපෙකට වඩා අඳින්නෙ නෑ. සමහරු අවුරුද්දකට සැරයක් වගේ ඇඳුම් අල්මාරිය අස්කරන්න ගත්තහම පුදුම වෙනවා “මේ ඇඳුම් කාගෙද ඕයි” කියලා. ඒ අතරේ තවත් සමහරුන්ට තියෙන්නේ හැමදාම අඳින ඩෙනිමයි, ටී ෂර්ට් කෑලි දෙකයි, බාටා දෙකයි තමයි. ඔය විදියේ නානාප්‍රකාර ඇඳුම් අල්මාරි සහ ඇඳුම් කෑලි අපි හැමෝටම තියෙනවා.
හැබැයි ඇත්තටම ලස්සනට අඳිනවා පළඳිනවා කියන්නේ මාසෙකට ඇඳුම් වලට විතරක් රුපියල් විසිතිස්දාහක් වියදම් කරන එක නෙවෙයි. ඊට වඩා වැදගත් වෙන්නේ තමන්ට තියෙන ඇඳුම් අල්මාරිය බැරිනම් ඇඳුම් පෙට්ටිය හරියට කළමනාකරණය කරන්න. ඉතින් ඕක ගැන කියනකොට අපේ මිත්‍රයෙක් කිව්වා, කැප්සියුල් වෝඩ්රෝබ් කියන කන්සෙප්ට් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ආන්න ඒ නිසා අපි හිතුවා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අපි හැමෝටම වැඩක් වෙයිනේ!
1. මොකද්ද මේ කැප්සියුල් වෝඩ්රෝබ් කියන්නේ?
ඇත්තටම කැප්සියුල් වෝඩ්රෝබ් කියන්නේ, තමන්ගේ ඇඳුම් අල්මාරිය කල් පවතින විදියට හදාගන්න පුළුවන් එක විදියක් කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. කල් පවතින විදියට අඳින පළඳින විධි ක්‍රමයක් නිර්මාණය කරගැනීම කිවුවොත් වඩාත් හරි මම හිතන්නේ. ඒ වගේම අනවශ්‍ය ඇඳුම් පැළඳුම් තොගයක් එක්ක කරදර විඳින්නේ නැතුව අත්‍යාවශ්‍ය දේවල් කීපයක් එක්ක විතරක් තමන්ගේ වෝඩ්රෝබ් එක නිර්මාණය කරගැනීමත් මේ කැප්සියුල් වෝඩ්රෝබ් කියන එක ඇතුළේ තියෙනවා. එතකොට ආයෙමත් සරලවම ගත්තොත්, අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් කීපයකින්, කල් පවතින විදියට, ෆැෂන් කල් පනින්නේ නැති විදියට තමන්ගේ වෝඩ්රෝබ් එක හදාගැනීමේ ක්‍රමයක් තමයි කැප්සියුල් වෝඩ්රෝබ් කියන්නේ.
හරිනේ. දැන් එහෙමනම් බලමු කැප්සියුල් වෝඩ්රෝබ් එකක් හදාගන්න ටිප්ස් කීපයක් ගැන.
2. යතාර්ථවාදී වෙන්න
මේක කැප්සියුල් වෝඩ්රෝබ් එක හදන්න පටන් ගන්න කලින්ම කියන්න ඕන කාරණයක්. අපි අපේ වෝඩ්රෝබ් එක ගොඩක් වෙලාවට ෆැන්ටසියක් විදියට තමයි හදාගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ කැප්සියුල් වෝඩ්රෝබ් එක හදාගන්න හදන්නේ එක්කෝ අපේ ප්‍රියතම ස්ටාර් කෙනෙක් අඳින පළඳින ආකාරය අනුව. එහෙම නැතිනම් අපි ආස කරන ෆැෂන් වලට මුල්තැන දීලා. හැබැයි අපි ආස කරන ෆැෂන් හරි, අපි ආස ස්ටාර් ආස කරන ෆැෂන් හරි අපේ ප්‍රායෝගික ජීවිතේට නොගැලපෙන්න පුළුවන්.
ආන්න ඒ නිසා තමන් වැඩිපුරම කාලය ගත කරන්නේ කොහේද, තමන්ගේ දෛනික ජීවිතයේ යෙදෙන ගමන් බිමන් මොනවාද කියන කාරණා හිතේ තියාගෙන තමයි තමන්ගේ කැප්සියුල් වෝඩ්රෝබ් එක නිර්මාණය කරන්න පටන් ගන්න ඕන.
අනිත් කාරණාව: තමන්ගේ යාලුවා අඳින්නේ මොනවද, අල්ලපු ගෙදර නංගි අලුතෙන් ගත්තේ මොනවද වගේ කාරණා තමන්ගේ කැප්සියුල් වෝඩ්රෝබ් එක හදන්න මුල් කරගන්න එපා. තේරුමක් නෑ.
3. පදනමක් දා ගමු
මේ පදනමය කියන්නේ තමන්ගේ ගමන් බිමන් වලට අනුව අවශ්‍ය වෙන ඇඳුම් පැළඳුම් තමයි. අපි දැනට ගෙදරට අඳින එව්වා අයින් කරමුකෝ. ඊට පස්සේ ගමු මොනවද අවශ්‍ය කියලා. (1) ජිම් එකට අඳින්න, (2) ඔෆිස් අඳින්න, (3) කැෂුවල් අඳින්න, (4) පාටි වලට අඳින්න ෆෝමල්, (5) පාටි වලට අඳින්න කැෂුවල්. හරිනේ. දැන් ජිම් එකට අඳින්න ඕන කරන්නේ ජිම් පෑන්ට්ස් හරි බොටම් හරි එක්ක ටී ෂර්ට් එකක් හරි ටොප් එකක් හරි. මේවා ඕන නම් දෙක දෙක තිබ්බට කමක් නෑ. ඊට වඩා ඕනෑම නැත. ඊට පස්සේ ඔෆිස් අඳින්න? කලිසම් කීපයක්, කමිස කීපයක්. මෙන්න මේ විදියට හදාගන්න පුළුවන්.
4. ඕනෑවට වඩා ඕනෑම නැත
දැන් උඩින් අපි කිවුවනේ අපේ දිනචරියාවන්, දෛනික වුවමනා එපාකම් එක්ක කැප්සියුල් වෝඩ්රෝබ් එකට වුවමනා ඇඳුම් පැළඳුම් සෙට් කරගමු කියලා. හැබැයි එතකොට ඔෆිස් අඳින්න ෂර්ට් දහයක් තියෙන්න ඕනද? අවශ්‍ය නෑ. දිනපතා ඔෆිස් යන ඩයල් එකකට නම් ෂර්ට් හතරක් පහක් හොඳටම ඇති නැද්ද? මේවා තමන්ගේ ප්‍රියතම චෙක් හරි වෙනත් මොකක් හරි ලඟින් යන ෆැෂන් එකකින් ගත්තොත් ලේසි නැද්ද? කලිසම් වුනත් එහෙමයි. දෙක තුනක් වුනත් වෝඩ්රෝබ් එකට හොඳටම ඇති.
අනික සපත්තු වුනත් ඔෆිස් දාන්න සපත්තු ජෝඩු දෙකක් තියෙන එක වටිනවා. මොකද, ඒකෙන් සපත්තු වල ආයුකාලය වැඩි වෙනවා.
5. මික්ස් ඇන්ඩ් මැච්
කැප්සියුල් වෝඩ්රෝබ් එකක් හදන ඊලඟ රහස මේක තමයි. ඒ කියන්නේ අර උඩ කියපු තමන්ට ප්‍රමාණවත් ඇඳුම් පැළඳුම් හරියට තෝරාගැනීම. වෙනත් විදියකට කියනවා නම්, ෂර්ට් සහ කලිසම් තෝරගන්න ඕන, එක කලිසමකට එක ෂර්ට් එකක් විතරක් මැච් වෙන විදියට නෙවෙයි. හරි නම් එක කලිසමක් එක්ක තමන්ගේ ඔෆිස් ෂර්ට් පහෙන් ඕන එකක් අඳින්න පුළුවන් වෙන්න ඕන. ඒකට සාර්ථක ක්‍රමයක් තමයි. කලිසම් තෝරගන්නකොට කළු, කාකි, අළු, නේවි වගේ පාට වලින් තෝරගන්න එක. දැන් ඇත්තටම කලිසම් පහකුයි කමිස පහකුයි එක්ක මාරු කර කර අඳින්න පුළුවන් දීර්ඝ කාලයක් යනකල්ම.
කැෂුවල් ඇඳුම් පැළඳුම් ගැන ගත්තත් එහෙමයි. ඔය පාටියකට අඳින්න එහෙම වුනත්, තමන්ට වෙනත් ඕනම ටොප් එකක් එක්ක යන ඇඳුමක් බේස් එක හැටියට තියාගන්න එක වටිනවා. උදාහරණයක් විදියට ගත්තොට්, ඔය අන්කොමන් කෝට් එකක් ගත්තොත්, ඒක ඩෙනිමට වුනත්, හොඳ කලිසමකට වුනත් අඳින්න පුළුවන්. ඇතුළට අඳින ෂර්ට් එකෙන් ඒකේ තීම් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ.
6. ඇක්සසරීස්
ඔව්. වෝඩ්රෝබ් එකක් කිවුවහම ඒකට ඇතුළත් වෙන්නේ අඳින ඒවා විතරක් නෙවෙයි, පළඳින ඒවාත් ඒකට ඇතුළත්. දැන් අපේ කැප්සියුල් වෝඩ්රෝබ් එකට අපි ඇතුළත් කර ගමු, සරලව පාවිච්චි කරන්න පුළුවන් පැළඳුම් ටිකක්.
සපත්තු සෙරෙප්පු ගැන කියනවා නම්, ඒවා කෝකටත් එක කුට්ටම තියාගන්න නරකයි. ජිම් දාන ස්පෝට්ස් ෂූස් දෙක තියෙන්න ඕන ඒකට විතරයි. උඩිනුත් කිව්වා වගේ ඔෆිස් දාන්න සපත්තු කුට්ටම් දෙකක් තිබ්බත් කමක් නෑ. හැබැයි කැෂුවල් ගමනකට දාන්න හාෆ් ෂූස් දෙකක් එහෙමත් තියෙන එක වටිනවා.
ඔය ආභරණ එහෙම වුනත්, එක එක අරුමෝසම් විසිතුරු එව්වා විස්සක් තිහක් මේන්ටේන් කරනවට වඩා, කෝකටත් ගැලපෙන, මික්ස් ඇන්ඩ් මැච් කරලා දාන්න පුළුවන් කීපයක් තියෙන එක වටිනවා.
7. පිළිවෙලක් තියාගමු
මේක නම් ඇත්තටම කැප්සියුල් වෝඩ්රෝබ් එකට නෙවෙයි, මොන වෝඩ්රෝබ් එකටත් අදාළ කාරණයක්. දැන් තමන්ගේ ඇඳුම් තියෙන්නේ හෝදලා මැද්දට පස්සේත් සාලේ පුටුවක් උඩ හරි, ඇඳක් උඩ හරි නම්, ගමනක් ඇඳගෙන ගිහින් ආවට පස්සේ ඒ ඇඳුම් කොහේ හරි දාලා, හෝදන්නේ තව මාසෙකට පස්සේ නම්, ඒ ඇඳුම් වල කොලිටිය සහ කල්පැවැත්ම ගැන වැඩි විශ්වාසයක් තියාගන්න එපා. වැඩක් නෑ.
අන්න ඒ නිසා කැප්සියුල් වෝඩ්රෝබ් එකක් හදනවා නම්, ඒ එක්කම තමන්ට ප්‍රමාණවත් ඇඳුම් අල්මාරියකටත් ආයෝජනය කරන්න. මේක මැහෝගනී ලීයෙන් හදපු එකක් වෙන්න ඕන නෑ. ප්ලාස්ටික් ඇඳුම් අල්මාරියක් වුනත් කමක් නෑ. හරියට කැප්සියුල් වෝඩ්රෝබ් එකක් හදනවා නම් තමන්ට අල්මාරියට දාන්න තියෙන්නෙත් අයිටම්ස් ඉතාම පොඩ්ඩයි. හැබැයි ඒ ඇඳුම් අල්මාරියට සත්තු එන්නෙ නැති වෙන්න කපුරු බෝල එහෙම දාලා, බොහොම පිළිවෙලට එක් එක් ඇඳුම් නවලා, එල්ලලා තියාගන්න තමයි ඕන. ආන්න එතකොට ඇඳුම් වල කල්පැවැත්මත්, කොලිටියත් ආරක්ෂා කරගන්න පුළුවන්.
කියවලා ඉවරද? එහෙමනම් මේ යූටියුබ් වීඩියෝ එකත් පොඩ්ඩක් බලමු. කැප්සියුල් වෝඩ්රෝබ් ගැන තවදුරටත් අදහසක් ගන්න පුළුවන් වෙයි.
Leave a Reply