සාමාන්‍යයෙන් අපේ සිරිතක් තියෙනවනේ අලුත් අවුරුද්දට හරි, ජනවාරි පළවෙනිදට හරි, ගෙදර අම්මගේ හරි තාත්තගේ හරි උපන් දිනේට හරි ගෙදරට මොනවා හරි ප්‍රයෝජනවත් බඩුවක් භාණ්ඩයක් ගේන. හැබැයි සමහර වෙලාවට මේ සිරිත නිසා අනවශ්‍ය බඩුභාණ්ඩත් ගොඩගැහෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ගෙදර ටිකක් පරණ වුනත් හොඳට, පිරිසිදුවට පාවිච්චි කරන්න පුළුවන් බ්ලෙන්ඩර් එකක් තියෙනකොට, මේ වගේ වෙලාවක වඩාත් නවීන පන්නයේ බ්ලෙන්ඩරයක් ඔන්න ගේනවා. එතකොට පරණ එක එක්කෝ විසික් කරනවා, එහෙම නැතිනම් කාට හරි දෙනවා. හැබැයි ඉතින් හොඳින් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගෙදර තියෙනකොට ඒ වැඩේම කරගන්න පුළුවන් තව එකක් ගේනවට වඩා, වෙනස් විදියේ අවශ්‍යතාවයක් පිරිමැහෙන බඩුවක් තමයි ගෙදරට ගේන්න ඕන. අපි කියන්න යන්නේ අන්න ඒ විදියේ බඩුභාන්ඩ කීපයක්. එතකොට ඊලඟ පාර ගෙදරට බඩුවක් මුට්ටුවක් ගේන්න හිතුණහම, මේ වලින් ප්‍රයෝජනවත් එකක් ගන්න පුළුවන්.
1. එයාර් කූලර්
මේ දවස් වල පොඩ්ඩක් වැස්ස නිසා ෂේප් වුනත්, සාමාන්‍යයෙන් ලංකාවේ අපිට රස්නේ ගැන අමුතුවෙන් උගන්නන්න ඕන නැහැනේ. ඒ වගේම තමයි, ඒ රස්නේ හැම අවුරුද්දක අත්විඳින්න සිද්ධ වෙන දෙයක්. ඒ රස්නෙට නිකම් ෆෑන් එකක් දාගෙන හිටියත් වැඩක් නෑ. අන්න ඒ නිසා එයාර් කූලර් එකකට ආයෝජනය කරන එක කිසිසේත්ම පාඩුවක් නෙවෙයි. ඒකට වතුර පුරවලා ඔන් කළාට පස්සේ, ඒක තියෙන වටාපිටාව බොහොම සිහිලැල් සුළං පහරකින් පුරවලා, පරිසරයත් කූල් කරන්න මේකට පුළුවන්. තමන්ට අවශ්‍ය ප්‍රමාණයන් කීපයකින්ම මිලදී ගන්නත් පුළුවන්.
2. කොෆී මේකර්
අපි සාමාන්‍යයෙන් කෝපි හදනවා කියලා කරන්නේ කෝප්පෙට කෝපි දාලා, උණුවතුර දාලා පෙරලා අරගන්න එකනේ. හැබැයි ඇත්තටම රසවත් කෝපි එකක් හදන එක ඊට වඩා ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ නියම විදියේ කෝපි එකක් හදන ප්‍රොජෙක්ට් එක වඩාත් සරල කරන්න පුළුවන් උපකරණයක් තමයි මේ කොෆී මේකර් එක. සාමාන්‍යයෙන් මේ පොඩිම කොෆී මේකර් එකක වුනත් කෝපි කෝප්ප හතක් හදන්න පුළුවන්. කෝපි එකක් රසට, පහසුවට හදාගෙන බොන්න ඕන නම්, හෙමිහිට නියම ආට් එකට කෝපි හදන්න බැරි තරම් කාර්යබහුල නම්, කොෆී මේකර් එකක් කුස්සියේ නැතිනම් කාමරේ තියෙන එක කිසිසේත්ම පාඩුවක් නෙවෙයි.
3. කින්ඩ්ල් ඊ රීඩර්
කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා කියනවනේ. හැබැයි එහෙම කියලා කියවන්න ඕන සිංහල පොත් විතරක් නෙවෙයි. වෙන වෙන භාෂා වලින් පළවෙන පතපොතටත් විවෘත වෙන්න ඕන. හැබැයි ඉතින් අපිට ලේසිම ඉංග්‍රීසියෙන් කියවන්න පටන් ගන්න එකනේ. එහෙම ඉංග්‍රීසියෙනුත් කියවනවා නම්, දැඩි කියවන්නෙක් නම්, කින්ඩ්ල් ඊ රීඩර් එකක් තමන් ගාව තියෙන එක අනිවාර්යයෙන්ම හොඳ ආයෝජනයක්. විශේෂයෙන්ම කින්ඩ්ල් පේපර්වයිට් 2 වගේ ඊබුක් රීඩර් එකක බැක්ලයිට් එකකුත් තියෙන නිසා රාත්‍රියේ කළුවරකදී වුනත් කියවන්න පුළුවන්. ඒ වගේම පොතකටත් වඩා සැහැල්ලු, ඇහැට පහසු ඊ-ඉන්ක් ඩිස්ප්ලේ එක නිසා පොතක් කියවනවාට වඩා වෙනසක් දැනෙන්නෙත් නෑ. පොත් බර ගාණක් දාගෙන යන්නත් පුළුවන්.
4. ස්ටෑන්ඩින් අයන් ටේබල්
ස්ටෑන්ඩින් අයන් ටේබල් කියන්නේ ඇත්තටම නවීන දෙයක් නෙවෙයි. අපි පුංචි කාලේ ඉඳලම දකින්න තියෙන දෙයක්. හැබැයි ගොඩක් ගෙවල් වල හොයාගන්න නැති දෙයක්. මේකේ වැදගත්කම වෙන්නේ, වඩාත් පහසුවෙන් ඇඳුමක් අයන් කරගන්න පුළුවන් වීම නිසා තමයි. මොකද, වාඩිවෙලා මේසයක් උඩ රෙදි එළලා රෙදි මදින එක හරි, අර බරසාර අයන් ටේබල් වල රෙදි මදින එකට වඩා, මේ හිටගෙන අයන් කරන්න පුළුවන්, පටු, දිග අයන් ටේබල් එක භාවිතය පහසුයි. වැඩ ඉවර වෙලා අකුලලා මුල්ලකින් හෝ යටකින් තියන්නත් පුළුවන්. මේ අයන් ටේබල් එකම දැන් සමහර වෙලාවට කණ්ණාඩියකුත් එක්ක එනවා. එතකොට අයන් කරලා, ටේබල් එක අකුලලා ඒකේ අනික් පැත්තේ කණ්ණාඩියෙන් බලලා ඇඳගන්නත් පුළුවන්.
5. සුවපහසු කුෂන් පුටුවක්
සාමාන්‍යයෙන් ගෙවල් වලට ගන්නේ පුටු සෙට්. එහෙම නැතිනම් සෝෆා සෙට්. හැබැයි පොතක් පතක් කියවන්න, මැහුමක් ගෙතුමක් කරන්න, එහෙම නැතිනම් ඒ වගේ වෙනත් වැඩක් කරන්න ඕන කෙනෙක්ට තේරෙන්න ඕන සුවපහසු තනි පුටුවක තියෙන වටිනාකම. මේක අර හොඳට ඉඩ කඩ තියෙන, වාඩි වුනහම සුවපහසුවට ගිලා බහින තනි කුෂන් පුටුවක් නම් තමයි හොඳ. විශේෂයෙන්ම ඔය ඇඳේ නිදාගෙන පොත් කියවනවට එහෙම වඩා මේ වගේ පුටුවක ඉඳගෙන පොතක් පතක් කියවන එකේ විශේෂත්වයක් සහ පහසුවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ සුවපහසු කුෂන් පුටුවකට සල්ලි යොදවන එක පාඩුවක් නෙවෙයි කියලා.
6. එයාර් ෆ්‍රයර්
එයාර් ෆ්‍රයර් කියන්නේ අලුත් අයිටම් එකක් නොවුණට, ගොඩක් දෙනෙක් තාමත් එයාර් ෆ්‍රයර්ස් මුළුතැන්ගෙයට හඳුන්වලා දෙන්න හිතලා නෑ. සරලවම කියනවා නම්, එයාර් ෆ්‍රයර් එකක් කියන්නේ, අපි සාම්ප්‍රදායිකව ගැඹුරු තෙලේ බදින දෙයක් වුනත්, ඉතාම කුඩා තෙල් ප්‍රමාණයකින් බැදගන්න ඉඩ ලබාදෙන උපකරණයක්. ඒ නිසාම එයාර් ෆ්‍රයර් එකකින් බැදගත්ත කෑම ගැඹුරු තෙලේ බැදගත්තු කෑම වලට වඩා සෞඛ්‍ය සම්පන්නයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සමහර වෙලාවට එයාර් ෆ්‍රයර් එකට තෙල් ඕනම නැහැ කියලා තමයි කියන්නේ. එයාර් ෆ්‍රයර් එකෙන් කරන්නේ රත් වුණු වාතය භාවිතා කරලා කෑම බැදගන්න ඉඩ ලබාදෙන එක. අන්න ඒ නිසා, ඊලඟ වතාවේ කුස්සියට ගන්නේ මොකද්ද කියලා හිත හිතා ඉන්නකොට, එයාර් ෆ්‍රයර් එකක් ගැනත් හිතලා බලන්න.
7. එල්ලෙන වේවැල් පුටුවක්
මෙන්න මේක ගන්න නම් ඔය වේවැල් නිමාවෙන් යුක්ත ගෘහ භාණ්ඩ හදන තැනකට යන්න වෙනවා. මේ වේවැල් පුටුව සාමාන්‍යයෙන් එන්නේ එක පැත්තක් විවෘත වුණු බිත්තරේක වගේ හැඩේකින්. ඒ කියන්නේ වාඩි වුණහම හොඳට දෙපැත්ත ආවරණය වෙලා තියෙනවා. කුෂන් එකක් දාගන්න පුළුවන් පතුල නිසා සුවපහසුවට වාඩි වෙලා ඉන්නත් පුළුවන්. මේකේ විශේෂත්වය වෙන්නේ, මේ වේවැල් පුටුව බිම තියන එකක් නොවීම නිසා. බිත්තර හැඩේට තියෙන මේ වේවැල් පුටුවේ උඩම මුදුනේ තියෙනවා හොඳ ශක්තිමත් යකඩ දම්වැලක්. අන්න ඒ දම්වැලෙන් මේ පුටුව නිවස ඇතුළේ වුනත්, එළියේ වුනත් උසක තියෙන ශක්තිමත් තැනක හයි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ නිසංසලේ පැද්දි පැද්දී වේවැල් පුටුවට වෙලා පොතක් කියවන්න තමයි.
මේ බඩුභාණ්ඩ ගන්න ලංකාව වටේම තැන් තියෙනවා. හොයාගන්න බැරි වුනොත් කමෙන්ට් එකක් දාලා අපෙන් අහන්න. අන්න එතකොට අපි දන්න තැනක ඒ වුවමනා දේ තියෙනවා නම්, අපි හොයලා කියන්නම්.
Leave a Reply