දේශපාලනය ඔලිම්පික් උළෙල මැද්දට ආ හැටි

ඔලිම්පික් උළෙල සෑම අවුරුදු හතරකට වරක් පවත්වන්න අතිශය විශාල රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නියමිත ඔලිම්පික් උළෙලට වසර ගණනකට පෙර පටන් නාමයෝජනා කැඳවනවා. ඔලිම්පික් උළෙලක් තම රටෙහි පැවැත්වීම සඳහා රටවල් අතර තියෙන්නෙ තියුණු තරඟයක්. විශේෂයෙන් තමන්ගේ රට ඔලිම්පික් සත්කාරකත්වය ලබා ගැනීම ජාත්‍යන්තර වේදිකාවේ ලබන ජයග්‍රහණයක් විදිහට රටවල් විසින් සළකනවා. ඒ සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් අනුගමනය කරනු ලබන මාර්ගෝපදේශ වගේම අදාළ රටවල දේශපාලනික තත්ත්වය පිළිබඳවත් සළකා බලනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවල ජාත්‍යන්තර සහ දේශීය දේශපාලන තත්ත්ව ඔලිම්පික් උළෙල කෙරෙහි බලපාන්නේ නිරායාසයෙන්මයි. අපි අද ඔබට කියන්න යන්නේ මේ දක්වා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට දේශපාලනය මැදිහත් වූ ආකාරය පිළිබඳවයි.

 

1. 1936 බර්ලින් ඔලිම්පික් උළෙල

ඇඩෝල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසීවාදීන් ජර්මනියේ බලය ලබා ගැනීමත් සමඟ ඔලිම්පික් උළෙල වර්ජනය කළ යුතු බවට මතයක් යුරෝපය තුළ පැතිර ගියා. කෙසේ නමුත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථකව පැවති අතර අන්තර්ජාතික ඔලිම්පික් ක්‍රීඩා කමිටුව නාසිවාදීන් ප්‍රචලිත කරමින් තිබූ ශුද්ධ වූ ආර්ය සංකල්පය ඔලිම්පික් ක්‍රීඩා උළෙලදී භාවිතා කිරීමට එරෙහි වුණා. ජර්මනිය ද ඊට අවනත වූ අතර අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානු ධාවන ශූර ජෙසී ඕවන්ස් රන් පදක්කම් හතරක් දිනා ගනිමින් නාසි වාදයේ මූලික සංකල්පයකට මරු පහරක් එල්ල කරනු ලැබුවා.

 

2. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙල

දෙවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව පැවැති පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූයේ ලන්ඩනයේදීයි. එහෙත් ඒ සඳහා ජර්මනියට (කොටස් දෙකට) හෝ ජපානයට ක්‍රීඩා කණ්ඩායම් එවීමට ආරාධනා කරනු ලැබුවේ නැහැ. දෙවැනි ලෝක යුද්ධයේ වෛරය සංසිඳුවීමට එම කාලය ප්‍රමාණවත් නොවන බව ලන්ඩන් වැසියන් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය වාසීන්ගේ මතය වීම ඊට හේතුවයි.

 

3. 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙල

සූවස් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල් හමුදා විසින් සිනායි අර්ධද්වීපය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඊජිප්තුව, ලෙබනනය සහ ඉරාකය යන රටවල් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට තීරණය කරනු ලැබුවා. එසේම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සති කීපයකට පෙර සෝවියට් දේශයේ හමුදාව හන්ගේරියාව ආක්‍රමණය කිරීමත් සමඟ නෙදර්ලන්තය ස්පාඤ්ඤය ඇතුළු රටවල් කීපයක් ඊට විරෝධය පළ කරමින් ඔලිම්පික් උළෙලෙන් ඉවත් වුණා.

 

4. 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙල

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින දහයකට පෙර පැවැති ශිෂ්‍ය විරෝධතාවයකට පහර දෙනු ලැබූ මෙක්සිකෝ ආරක්ෂක හමුදා විසින් උද්ඝෝෂකයන් 200කට ආසන්න පිරිසක් ඝාතනය කරනු ලැබුවා. මෙය සමස්ථ ලෝකයම කැළඹීමට ලක් කිරීමට සමත් වූ පුවතක් බවට පත්වුණා. එසේම ඇමෙරිකානු ජාතික ධාවන ශූරයන් වන ටොමි ස්මිත් සහ ජෝන් කාර්ලෝස් සිය පදක්කම් පිරිනැමීමේ උත්සවයේ දී ඇමෙරිකානු ජාතික ගීය වාදනය වනවිට කළු අත්වැසුමක් සහිත සිය එක් අතක් ඔසවා හිස පහතට නවමින් සිය රට තුළ පවතින වර්ණභේදවාදී අසාමාන්‍යතා ප්‍රතිපත්තියට විරෝධය පළ කරනු ලැබුවා.

 

5. 1972 මියුනික් ඔලිම්පික් උළෙල

එතෙක් මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ සිදුවුණු කම්පනීයම දේශපාලනික මැදිහත් වීම වන්නේ මෙයයි. බ්ලැක් සෙප්ටෙම්බර් ලෙස හඳුන්වනු ලැබූ පලස්තීන ත්‍රස්තවාදී සංවිධානයක් විසින් ඊශ්‍රායල් ක්‍රිඩකයන් පිරිසක් පැහැර ගැනීමට සමත් වුණා. අවසානයේදී ඔවුන් අතින් එම ක්‍රීඩකයන් එකොළොස් දෙනාම ඝාතනයට ලක් වුණා.

 

 

6. 2016 රියෝද ජැනයිරෝ ඔලිම්පික් උලෙළ

ලොවපුරා රටවල් රැසකට බලපා තිබෙන සරණාගත අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර මතයක් ඇති කිරීම සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සරණාගතයන්ගේ ක්‍රීඩා කණ්ඩායමක් පළමුවරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා එක් කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව සිරියාව, දකුණු සුඩානය, ඉතියෝපියාව වැනි රටවල උපත ලැබූ දැනට සරණාගත තත්ත්වයේ පසු වන ක්‍රීඩකයන් දහ දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ඔලිම්පික් ධජය යටතේ රියෝද ජනයිරෝ උළෙල සඳහා එකතු වුණා.

 

 

7. නොපැවතුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල්

ග්‍රීසියේ පැවති පැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එක් විශේෂත්වයක් වූයේ යුද්ධයක් පවතින කාල සීමාවකදී වුවත් සතුරු රාජ්‍යය මැදින් ඔලිම්පික් ක්‍රීඩකයන්ට අදාළ ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමයි. නමුත් නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙස බලනවිට ලෝක යුද්ධ හේතුවෙන් 1916, 1940, 1944 යන වසරවල ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් අවලංගු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක්.

 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.