ඉස්සර- ඒ කියන්නේ අවුරුදු පහළොවකට විස්සකට කලින්- තිබුණු ඔෆිස් සහ දැන් ඔෆිස් ගැනත් නිකම් හිතලා බලන්න. දැන් ඔය රජයේ ඔෆිස් පවා ඩිජිටලයිස් වෙලා නැද්ද? ඇත්තටම දැන් කාලේ රස්සාවක් කරන කෙනෙක්ට ඩිජිටල් ස්කිල්ස් නැතුව ඉස්සරහට යන්න අමාරු තරමට, හැමදෙයක්ම ඩිජිටල්කරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම, රස්සාවක් හොයන කෙනෙක් වුනත්, පොඩ්ඩක් අද කාලේ තියෙන ඩිජිටල් ස්කිල්ස් ගැන දැනුවත් වෙලා ඉන්න එක, ඒ ඩිජිටල් ස්කිල්ස් වල ප්‍රවීණත්වය ලඟා කරගන්න එක වටිනවා. විශේෂයෙන්ම ඉස්සරහටත් ජොබ් වල ඉස්සරහට යනවා නම්, මේ දේවල් ඉගෙන ගන්න එක සෑහෙන්න වටිනවා. මේ වෙනකොට මේ ඩිජිටල් ස්කිල්ස් නැති එක නිසා ජොබ් එකක ඉස්සරහට යන එක වැළකෙනවා විතරක් නෙවෙයි, සමහර වෙලාවට ජොබ් එකේ පස්සට යන්නත් උදවුවක් වෙන්න පුළුවන්.
1. සෝෂල් මීඩියා
සෝෂල් මීඩියා කිව්වහම ගොඩක් දෙනා දන්නේ ෆේස්බුක්නේ. හැබැයි කාලයක් තිස්සේ ෆේස්බුක් එකවුන්ට් එකක් තිබ්බා කියලා ෆේස්බුක් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්නෙ නෑ. කොහොමටවත් සෝෂල් මීඩියා වල එක්ස්පර්ට් කෙනෙක් නං වෙන්නෙ නෑ. අන්න ඒ නිසා සෝෂල් මීඩියා කිව්වහම ෆේස්බුක් වගේම ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් විතරක් නෙවෙයි ලින්ක්ඩ්ඉන් පවා ඇතුළත් කියන එක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ, ඉගෙන ගන්න ඕන කොහොමද ප්‍රොෆෙෂනල් වැඩකටයුතු වලට මේ සෝෂල් මීඩියා යොදාගන්නේ කියලා. උදාහරණයක් විදියට කිවුවොත්, මොකක් හරි කම්පැණි එකක සෝෂල් මීඩියා පේජ් එකට කොහොමද රීච් හදාගන්නේ, කොහොමද මාකටින් කරන්නේ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. මේවා ඉගෙන ගන්න කියවන්න කරන්න දේවල් ඇත්තටම ගූග්ල් සර්ච් එකකින් පවා හොයාගන්න පුළුවන්!
2. සර්ච්!
ගූග්ල් සර්ච් ගැන කියපු නිසා මේක ගැනත් කියන්න ඕන. ඒ කියන්නේ සර්ච් ඇන්ඩ් රිසර්ච්. මෙතනදී එකක් පැහැදිලිව තේරුම් ගන්න ඕන. අද කාලේ අන්තර්ජාලය කියන්නේ මෙතෙක් නොදුටු විරූ විදියේ සුවිශාල විශ්වකෝෂයක් වගේ. හැබැයි ඉතින් ඒ විශ්වකෝෂයෙන් තමන්ට ඕන දේවල් හොයාගන්නත් ක්‍රම සහ විධි තියෙනවා. අන්න ඒවා ගැන දැනුවත් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, මොකක් හරි ගැන හොයන්න ගූග්ල් එකේ කීවර්ඩ් එක සර්ච් කරලා, එන පළවෙනිම විකිපීඩියා ලින්ක් එකෙන් තොරතුරු ගන්න එක නෙවෙයි මේ සර්ච් ඇන්ඩ් රිසර්ච් කියන්නේ. ඒක කිසිසේත්ම සාර්ථක නෑ. හැබැයි හරි විදියේ ක්‍රම සහ විධි වලින්, සර්ච් ඇන්ඩ් රිසර්ච් කියන එක නිරවද්‍යව සහ ඵලදායකව කරගන්න එක ඉගෙන ගන්න ඕන.
3. ඇනලිටික්ස්
මේ ඇනලිටික්ස් කියන්නේ එක පාරටම බය හිතෙන වචනයක් වුණත්, ඇත්තටම බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි අද ලෝකේ ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක්. දැන් අපි මුලින්ම කතා කළානේ සෝෂල් මීඩියා ගැන. ඔය සෝෂල් මීඩියා, වෙබ් සයිට් වගේ දේවල් ඇතුළුව අපේ හරි අපේ ආයතනයේ හරි ඩිජිටල් ප්‍රසන්ස් එකක් – ඒ කියන්නේ ඩිජිටල් පැවැත්මක්- තියෙනවනේ. දැන් ඕක හරියට කළමනාකරණය කරගන්න ඕන. එහෙම හරියට කළමනාකරණය කරගන්න නම්, ඒක හරියට මැනගන්න පුළුවන් වෙන්න ඕන. ආන්න ඒකට තමයි ඇනලිටික්ස් ඕන වෙන්නේ. සරල උදාහරණයක් ගත්තොත්, අපිට අපේ ෆේස්බුක් පේජ් එකේ ඇනලිටික්ස් වලට ගිහින් බලන්න පුළුවන්, මොන වගේ පෝස්ට්‍ද හොඳට වැඩ කරලා තියෙන්නේ, මොන වෙලාවටද වැඩි රීච් එකක් තියෙන්නේ වගේ දේවල්. අන්න ඒවා බලලා විශ්ලේෂණය කළාට පස්සේ අපිට අනාගත තීන්දු තීරණ වඩාත් ඥාණවන්ත විදියට ගන්න පුළුවන්. අන්න ඒක කොහොමද කරන්නේ කියන එක තමයි ඉගෙන ගන්න ඕන.
4. ඔෆිස්!
මේක නිකං විහිළුයි වගේද? ඔව්, හැබැයි විහිළුවක් නෙවෙයි. ඇයි අපි එහෙම කියන්නේ? හේතුව මේකයි. ගොඩක් දෙනෙක් දන්න ඔෆිස් ඇප් එක තමයි වර්ඩ්. හැබැයි වර්ඩ් වලත් දන්නේ මොනවා හරි ලියුමක් හරි වෙන ඩොකියුමන්ට් එකක් හරි ටයිප් කරගන්න විතරයි. එච්චරයි. හැබැයි ඇත්තටම මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජ් එකේ තියෙන ඇප්ස් වලින් වුණත්, වෙනත් ගූග්ල් ඩොක්ස්, ගූග්ල් ෂීට් වගේ ඔෆිස් වලට සමාන්තරව තියෙන නිදහස් සේවාවන්ගෙන් වුනත් හිතනවාට වඩා සෑහෙන්න දේවල් කරගන්න පුළුවන්.
උදාහරණයක් විදියට කියනවා නම්, එක්සෙල් දැනගන්න එක, එක්සෙල් වලින් කරන්න පුළුවන් වැඩ ඉගෙන ගන්න එක ප්‍රොෆෙෂනල් කෙනෙක්ට අනිවාර්ය දෙයක්. එක්සෙල් ඇප් එකේ අපිට පහසුවෙන් දත්ත කළමනාකරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් දහසකුත් එකක් තියෙනවා විතරක් නෙවෙයි, අපිට ටූල්ස් ඒක ඇතුළේ නිර්මාණය කරගන්නත් පුළුවන්. මේ වගේ දහසකුත් එකක් දේවල් එක්සෙල් වලින් කරන්න පුළුවන්!
5. කොන්ටෙන්ට් ක්‍රියේෂන්
මේකත් නිකම් බර යෙදුමක් වගේ දැනුණට, ඇත්තටම පුරුදු පුහුණු වෙන්න අමාරු දෙයක් නෙවෙයි. දැන් අපි ඩිජිටල් යුගයක අපේ කම්පැණියේ හරි අපේ සර්විස් එකේ හරි වෙබ් අඩවි, සෝෂල් මීඩියා පේජස් එහෙම කරනකොට, ඒවලට විවිධ කන්ටෙන්ට් -ඒ කියන්නේ අන්තර්ගතයන්- නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒකටම වෙන් වුණු ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා එහෙම ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි තමන්ටත් මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන හැකියාව තියෙන එක වාසියක්. උදාහරණ විදියට කිවුවොත් ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර්ස්, එහෙම නැතිනම් වඩාත් පහසුවෙන් Canva වැනි ඔන්ලයින් ටූල්ස් පාවිච්චි කරලා පෝස්ට් එකක්, පෝස්ටර් එකක්, ඉන්ෆොග්‍රැෆික් එකක් එහෙම නිර්මාණය කරන එක ඉගෙන ගන්න ඕන. එතකොට වීඩියෝ එකක්, පොඩ්කාස්ට් එකක් එහෙම නිර්මාණය කරන විදිය, ඒවා එඩිට් කිරීම, අප්ලෝඩ් කිරීම වගේ දේවල් ඉගෙන ගන්න ඕන.
ඒ විතරක් නෙවෙයි, ෆේස්බුක් එකේ හරි ට්විටර් එකේ හරි ස්ටේටස් එකක් හරි ප්‍රොෆෙෂනල් විදියට දාන්න ඉගෙන ගන්න එක, හෑෂ්ටැග්ස් පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක එහෙමත් මේ කොන්ටෙන්ට් ක්‍රියේෂන් යටතට තමයි එන්නේ.
6. ඩිජිටල් කමියුනිකේෂන්ස්!
මෙන්න මේකත් අනිවාර්‍යයෙම ප්‍රවීණත්වය ලබාගන්න ඕන දෙයක්. අද කාලේ විතරක් නෙවෙයි, ඉස්සර වුනත් රැකියාවක් කරනකොට මේ සන්නිවේදනය කියන එක අත්‍යාවශ්‍ය කාරණයක්. හැබැයි ඉස්සර වගේ රාජකාරී ලියුම්, චක්‍රලේඛ එහෙම එක්ක නෙවෙයිනේ ගොඩක් දුරට නවීන වර්ක් ප්ලේස් වල වැඩ කෙරෙන්නේ. ඊට වඩා ඩිජිටල් සන්නිවේදනය තමයි අද තියෙන්නේ. අන්න ඒක හරියට හා කාර්යක්ෂමව කරන ක්‍රම සහ විධි, ඒවල තියෙන ආචාර ධර්ම එහෙම ඉගෙන ගන්න එක අත්‍යාවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත්, හරියට ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා අපි කලින් කියලා තියෙනවා. මීට අමතරව මයික්‍රසොෆ්ට් ටීම්ස්, ස්ලැක් වගේ නොයෙකුත් සන්නිවේදනය සඳහා වෙන ප්ලැට්ෆෝම්ස් නවීන රැකියා ස්ථාන වල පාවිච්චි වෙනවා. මේවා උපරිම කාර්යක්ෂමතාවයෙන් සහ මනා වෘත්තිමය භාවයකින් පාවිච්චි කරන ක්‍රම සහ විධි ඉගෙන ගන්න ඕන.
7. කොන්ටෙන්ට් මාකටින්ග්
අපි උඩ කියලා තියෙනවනේ කොන්ටෙන්ට් නිර්මාණය කිරීම ගැන. අන්න ඒ වගේම තමයි කොන්ටෙන්ට් මාකටින්ග් -ඒ කියන්නේ ඒ විදියට නිර්මාණය කරන අන්තර්ගතයන් හරි හැටි ප්‍රචාරණය, ඒවාට උපරිම සාර්ථකත්වයකින් ප්‍රචාරණය වෙන විදියට නිර්මාණය වගේ දේවල්- ඉගෙන ගන්න වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, SEO optimization කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි නිර්මාණය කරන අන්තර්ගතයන් වඩාත් පහසුවෙන් සර්ච් එන්ජින් වලට අහුවෙන විදියට නිර්මාණය කරන එක. ඒකට ඉතින් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන සර්ච් එන්ජින් වල වඩාත් හොඳින් ට්‍රෙන්ඩ් වෙන කී වර්ඩ්ස් මොනවද වගේ දේවල්. මේවත් ඔන්ලයින් පවා ඉගෙන ගන්න පුළුවන් කාරණා තමයි.
මේ අපි කියලා තියෙන්නේ දේවල් කීපයක් විතරයි. තවත් ඩිජිටල් ලෝකේ ඉස්සරහට යන්න ඉගෙන ගන්න ඕන ඩිජිටල් ස්කිල්ස් තියෙනවා. හැබැයි මේ ඩිජිටල් ස්කිල්ස් වල ප්‍රවීණත්වයක් ලබාගන්නවා කියන්නේ, තරගකාරී රැකියා වෙළෙඳපොලේ ඉස්සරහින්ම ඉන්න ලොකු ගේමක් නැහැයි කියන එක තමයි.
Leave a Reply