අපි ඉගෙන ගන්න එක මැරෙනකල්ම නවතින්නෙ නැහැ කියලා කිව්වොත් ඒකට එකඟ වෙනවද? ඉගෙන ගන්නවා කියන්නේ ඉස්කෝලේ නැතිනම් යුනිවර්සිටි ගිහින් ඉගෙන ගන්න එක විතරයි කියලා හිතන මනුස්සයෙක් නම් ඒකට විරුද්ධ වෙයි. හැබැයි ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ ගුරුවරුන්ගෙන් විතරක් ඉගෙන ගන්න එක නෙවෙයි. තමන්ට තනියම දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ අපි ඉන්න තොරතුරු තාක්ෂණ යුගයේදී ඉන්ටර්නෙට් එකෙන් කොයි තරම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද කියන එකේ සීමාවක් නැති තරම්.
ඉතින් ඇයි අපි එහෙම දේවල් ඉගෙන ගන්න වුවමනා? සරලයි. අපි ඉගෙන ගන්න දේවල් අපේ එදිනෙදා ජීවිතේට, වෘත්තිය ජීවිතේට, සාමාන්‍ය කතාබහකදී වගේ ඕනම තැනකදී ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම දැනුම නිකම්ම පොතට සීමා කරලා තියන්නේ නැති, ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න මනුස්සයෙක්ට එහෙම තමන් හොයාගන්න දැනුම පුදුම විදියට වටිනවා. ආන්න ඒ නිසා අපි හිතුවා, තමන්ට යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවි කීපයක් ගැන සඳහන් කරන්න.
1. Google Arts & Culture
චිත්‍ර ගැන, චිත්‍රත් එක්ක ඉගෙන ගන්න පුළුවන් ලෝකේ සංස්කෘතීන් ගැන විස්තර් දැනකියාගන්න ආසයිද? එහෙමනම් යන්න ඕන හොඳම තැනක් තමයි Google Arts & Culture වෙබ් අඩවිය. මේක ඇප් එකක් විදියටත් ලබාගන්න පුළුවන්. මේ Google Arts & Culture කියන්නේ ඇත්තටම අන්තර්ජාලේ නොමිලේ දේවල් ඉගෙන ගන්න පුළුවන් හොඳම තැනක්. උදාහරණයක් විදියට අප්‍රිකාවේ අතීතයේ තිබුණු ගල් උඩ කරපු රළු සිතුවම් වල ඉඳලා, පසුකාලීනව අප්‍රිකාවෙන් බිහිවුණු සංකීර්ණ චිත්‍ර දක්වා ඉතිහාසය ඉගෙන ගන්න ඕන නම්, ඒ හැමදේම මේ වෙබ් එකේ තියෙනවා. එහෙම නැතිනම් ආජන්ටිනාවේ චිත්‍ර ගැන සහ ආජන්ටිනාවේ ආහාර සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ඕනද? ආන්න ඒ තොරතුරුත් මෙතන තියෙනවා. ඒ අතරේ ලෝකේ විවිධ කෞතුකාගාර ඔස්සේ පවා තොරතුරු ඉගෙන ගන්න අවකාශය Google Arts & Culture වෙබ් අඩවියෙන් ලබාදීලා තියෙනවා.
2. Atlas Obscura
රුසියාවේ දකින්න ලැබෙන උතුරු එළි ගැන දැනගන්න කැමතිද? එහෙම නැතිනම් තුර්ක්මෙනිස්ථානයේ තියෙන අපායේ දොරටුව ගැන දැනගන්න කැමතිද? එතකොට සූඩානයේත් පෞරාණික පිරමිඩ තියෙනවා කියලා දැනගෙන හිටියද? එතකොට මාර්සේල්ස් වල ආහාර සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන කුතුහලයක් එහෙම තියෙනවද? මේ හැම ප්‍රශ්නෙකටම වගේ උත්තරේ “ඔව්” නම්, අනිවාර්යයෙන්ම යන්න ඕන තැන තමයි Atlas Obscura කියන්නේ. ඇත්තටම මේ Atlas Obscura වෙබ් අඩවිය කියන්නේ ලෝකේ තියෙන අපූරු තැන් ගැන, කුතුහලාත්මක දේවල් ගැන තොරතුරු බෙදාහදාගන්න තැනක්. ඒ වගේම ඔය ලෝකේ නවතම අනාවරණයන් ගැන එහෙම තොරතුරුත් කියවන අය එක්ක බෙදාගන්න Atlas Obscura අඩවිය සූදානම්. ඒ ඇරෙන්න ලෝකේ තියෙන අපූරු ඓතිහාසික හෝ වර්තමාන කතන්දර එහෙම කියවන්නත් Atlas Obscura අඩවියට ගිහින් පුළුවන්.
3. Craftsy
දැන් ඔය අපිට විවිධ ඇකඩමික මාතෘකා ඔස්සේ දේවල් ඉගෙන ගන්න, කුසලතාවයන් ඉගෙන ගන්න එහෙම ඔන්ලයින් පාඨමාලා තියෙන වෙබ් අඩවි ගැන අපි කතා කරලා තියෙනවනේ. එතකොට අපිට ඔය මොකක් හරි ජීවිතේට වැදගත් දෑතේ වැඩක් ඉගෙන ගන්නත් ඒ විදියෙම තැන් තියෙනවද? උත්තරේ ඔව්. උදාහරණයක් විදියට ගත්තොත් Craftsy වෙබ් අඩවිය පෙන්නන්න පුළුවන්. වූල් තොප්පි ගොතන්න ඉගෙන ගන්න ආසද? මැෂින් එකේ මහන්න ඉගෙන ගන්න ආසද? ෆැබ්රික් පේන්ටින් ඉගෙන ගන්න ආසද? ක්‍රොෂේ ගෙතුම්? රෙදි පාට දැමීම්? කෑම සඳහා එළවලු කැපීම? දියසායම් වලින් පාට කිරීම්? මේ වගේ ඕනම දෙයක් ගැන ඉගෙන ගන්න පුළුවන් වටින පාඨමාලා Craftsy වෙබ් අඩවියේ තියෙනවා.
ඒ වගේම, යම් යම් දෑතේ වැඩ වලට අදාළ සුවිශේෂී කාරණා පවා Craftsy වෙබ් අඩවියේ සමහර පොඩි පොඩි පාඨමාලා වලින් වෙනම කවර් කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කොහොමද සිපර් එකක් අල්ලන්නේ, කොහොමද බොත්තම් කාස සහ බොත්තම් ලූප් අල්ලන්නේ කියන එක ගැන සම්පූර්ණ දැනුමක් පැය දෙකක් විතර වැය කරලා Craftsy ඔස්සේ ලබාගන්න පුළුවන්.
4. yummly
සමහරු හිතනවා උයන පිහන එක කාන්තාවන්ට අයිති වැඩක් කියලා. එහෙම එකක් නෑ. කාන්තාවන් වගේම පිරිමින් කියන දෙකොටසම උයන්න පිහන්න ඉගෙන ගන්න එක හොඳයි. ඕන නම් ඉතින් ඔය කුකරි ක්ලාස් එකකට යන්නත් පුළුවන්. නැතිනම් අම්මගෙන් තාත්තගෙන් අහගෙන උයන්න ඉගෙන ගන්නත් පුළුවන්. නැතිනම් අපේ අම්මා, අපේ තාත්තා වගේ යූටියුබ් කුකරි චැනල් එකකින් ඉගෙන ගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් yummly.com එකට ගිහින් උයන පිහන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්නත් පුළුවන්. මේ yummly එකේ සිංහල ක්‍රමේට මාළු පිණි හදන විදි නම් නෑ. හැබැයි ඇමරිකන්, ඒෂියන්, ඉතාලියන් ෆ්‍රෙන්ච් වගේ රටවලට ආවේණික කෑම, බාබක්‍යු, සුෂි වගේ විවිධ ආහාර පිසුම් වර්ග වලට අයත් කෑම වගේ සෑහෙන්න කෑම ප්‍රමාණයක් හදන හැටි ඉගෙන ගන්න පුළුවන්. කෙලින්ම දාන්න ඕන ඒවයි, රෙසිපියයි ඔක්කොම තියෙනවා. ඒක බලාගෙන හදන්නයි තියෙන්නේ. එතකොට රෙසිපියේ එහා මෙහා වෙන්න තියෙන දේවල් එහෙම කමෙන්ට්ස් වලින් ගොඩක් දුරට දැනගන්නත් පුළුවන්.
5. Curious
සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ලෝකේ විවිධ දේවල් ගැන ඉගෙන ගන්න, දැනකියා ගන්න ස්වභාවික කුතුහලයක් තියෙනවා. හැබැයි ඉතින් වර්තමාන ලෝකේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඔය කුතුහලයෙන් දේවල් ගැන හොයලා දැනකියාගන්න කාලය වෙන් කරන්න ගොඩක් දෙනෙක්ට අමාරුයි. හැබැයි අපිට විනාඩි පහෙන් දෙයක් ඉගෙන ගන්න බැරිද? අපොයි පුළුවන් කියලා Curious වෙබ් අඩවිය කියනවා. ඇත්තටම අපිට හැමදාම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න වෙන් කරන්න පුළුවන් විනාඩි 5ක් ද, විනාඩි 15ක් ද, විනාඩි 30ක් ද කියලා මුලින්ම අහනවා. ඊට පස්සේ අපි තෝරගන්න වෙලාව අනුව, අපිට විවිධ දේවල් දවස ගාණේ ඉගෙන ගන්න Curious වෙව් අඩවිය ඉඩ සලසලා දෙනවා. ඕන නම් අපේ කැමති දේවල් අනුව අපිටම නිර්මාණය කරපු ඉගෙනුමක් ලබාගන්නත් පුළුවන්.
6. TED-Ed
දැන් TED Talks ගැන අහලා නැති කෙනෙක් නැහැනේ. TED Talks වලිනුත් අපිට විවිධ අයගේ කතා වලට ඇහුම්කන් දීලා දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි TED-Ed ගැන ගොඩක් දෙනෙක් අහලා නැති වෙන්න පුළුවන්. TED-Ed කියන්නේ වඩාත්ම දේවල් ඉගෙන ගන්න පුළුවන් අවකාශයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය දීලා නිර්මාණය කරපු ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. මේක ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට කියලා තමයි වෙන් කරලා තියෙන්නේ. කලාවන්, සාහිත්‍ය වගේ දේවල් වල ඉඳලා ආර්ථික විද්‍යාව, ගණිතය වගේ විෂයන් දක්වාත්, සමාජ අධ්‍යයනයන්ගේ ඉඳලා තනියෙන් සිතීම සහ ඉගෙන ගැනීම දක්වාත් බොහොම පුළුල් පරාසයක විෂයයන් ගණනාවක් ඔස්සේ දේවල් මේ TED-Ed වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ බලලා දේවල් ඉගෙන ගැනීමක් තමයි තියෙන්නේ!
7. Zooniverse
කාලගුණය ගැන, අපේ ලෝකයේ දේශගුණය වෙනස් වීම් ගැන උනන්දුද? එතකොට එතනින් එහාට ගියහම අභ්‍යවකාශය ගැන, තාරකා විද්‍යාව ගැන උනන්දුද? ජෛව විද්‍යාව ගැන? ඉතිහාසය නැතිනම් සාහිත්‍යය ගැන උනන්දුද? ඒ මාතෘකා ඔස්සේ සීරියස් විදියට රිසර්ච් එහෙම කියවලා දෙයක් ඉගෙන ගන්න උනන්දුද? ආන්න එහෙනම් යන්න ඕන හොඳම තැනක් තමයි Zooniverse කියන්නේ. ප්‍රජා පර්යේෂණ ඔස්සේ දැනුම ලබාදෙන ලෝකේ ලොකුම ප්ලැට්ෆෝම් එකත් Zooniverse කියලා තමයි ඒ අය කියන්නේ. ඒ වගේම Zooniverse විශ්වය ඇතුළේ ඕනම මනුස්සයෙක්ට පර්යේෂකයෙක් වෙන්න පුළුවන් කියලත් ඒ අය කියනවා. ඒ කියන්නේ, දවසෙන් පැය බාගයක් වෙන් කරලා අඟහරු ගැන කරුණු කාරණා ඉගෙන ගන්නවා වගේම, අවශ්‍ය නම් තමන්ටම පර්යේෂණයක් කරලා ලියෝ ටෝල්ස්ටෝයි ගැන රිසර්ච් එකක් ඔස්සේ අනික් අය එක්ක දැනුම බෙදාගන්නත් Zooniverse ඉඩ සලසනවා.
මේ වෙබ් අඩවි වගේම, උදේම නැගිටලා රටේ ලෝකේ තොරතුරු ආරංචි ගැන දැනුවත් වෙන්න යන්න පුළුවන් වෙබ් අඩවි ගැනත් අපි කලින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කෙනෙක්ට අලුතින් දෙයක් ඉගෙන ගන්න නම් යන්න පුළුවන් වෙබ් අඩවි ගැනත් අපි කලින් සඳහන් කරලා තියෙනවා. ඒවත් අමතක කරන්න එපා!
Leave a Reply