හැමදාම ලංකාවෙ කෑම කන එකේ ඉඳලා හිටලවත් වෙනසක් වෙන්න එපැයි. ඔන්න අද රෂියන් රෙසිපි ටිකක් ගෙනාවා. රෂියන් කෑම කන්න රෙස්ටුරන්ට් වලටවත් රුසියාවෙවත් යන්න ඕනි නෑ ඔන්න. රසින් වෙනස් එක එක ජාතියෙ කෑම කන්න ආස අයට තමා මේ රෙසිපි ගෙනාවෙ. එහෙනම් ට්‍රයි කරලා බලන්න.
1. රෂියන් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු කපාගත් කැරට් අල 1
- කොටු කපාගත් අලගෙඩි 2
- කපාගත් බෝංචි ස්වල්පයක්
- කපාගත් අන්නාසි කෝප්ප 1/2
- ග්‍රීන්පීස් කෝප්ප 1/2
- මයෝනේස් කෝප්ප 1
- එළවළු ටික උණු වතුරට දාල විනාඩියක් විතර තියලා අරගන්න (බ්ලාන්ච් කරගන්න).
- මේ ටික ඔක්කොම බෝල් එකකට දාලා මයෝනේස් දාලා හොඳට කලවම් කරගන්න.
- ෆ්‍රිජ් එකේ තියලා අවශ්‍ය වෙලාවට කෑමට ගන්න.
2. රෂියන් චීස් පෑන්කේක් (Syrniki – Russian cheese pancake)
අවශ්‍ය ද්‍රව්‍ය
- කොටේජ් චීස් ග්‍රෑම් 500
- බිත්තර 1
- සීනි මේස හැඳි 2
- රුලං ග්‍රෑම් 50
- කොටේජ් චීස් ටික ග්‍රේට් කරගන්න. මේකට බිත්තරය, සීනි හා රුලං ටික දාලා හොඳට කලවම් කරගන්න.
- ඩෝ එකෙන් බෝල හදලා පිටි ඉසගත් ලෑල්ලක දාලා අඟලක වගේ ඝනකමට රවුමට රොටී හදාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ දෙපැත්ත ෆ්‍රයි කරගන්න. සවර් ක්‍රීම් එක්ක කෑමට ගන්න පුළුවන්.
3. චිකන් ස්ට්රොගනොෆ් (Chicken Stroganoff)
අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 250
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- සාදික්කා කුඩු ස්වල්පයක්
- තෙල් තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- කපාගත් මශෲම් කෝප්ප 1
- කෝන්ෆ්ලා තේ හැඳි 2
- විනාකිරි තේ හැඳි 1
- මස්ටඩ් ක්‍රීම් තේ හැඳි 1
- ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1
- චිකන් වලට ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, සාදික්කා කුඩු හා තෙල් දාලා කලවම් කරලා පැයක් මැරිනේට් කරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා මේ ටික ෆ්‍රයි කරගන්න. දැන් චිකන් ටික අයින් කරලා ඒ පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු ටික දාගන්න.
- සුදුළූණු ටික ෆ්‍රයි උනාම ළූණු ටික දාගන්න. ටිකකින් මශෲම් ටික දාගන්න. විනාඩි 2-3ක් ෆ්‍රයි වෙනකොට ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- හොඳට ෆ්‍රයි උනාම කෝන්ෆ්ලා ටික දාලා කලවම් කරගන්න. වතුර කෝප්පයක් දාලා කලවම් කරලා උතුරනකොට චිකන් ටික දාලා කලවම් කරගන්න.
- ටිකකින් විනාකිරි ටික දාගන්න. ඊට පස්සෙ මස්ටඩ් ක්‍රීම් දාලා විනාඩියකින් විතර ෆ්‍රෙෂ් ක්‍රීම් ටික දාලා කලවම් කරගන්න. තවත් විනාඩි 3ක් විතර පිසගෙන ලිපෙන් බාගන්න.
4. රෂියන් චිකන් කට්ලට් (Russian chicken cutlet)
අවශ්‍ය ද්‍රව්‍ය
- අඹරාගත් චිකන් ග්‍රෑම් 500
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් කැරට් අල 1
- චොප්කරගත් බෝංචි කරල් 2
- පාන්පිටි මේස හැඳි 1
- කිරි කෝප්ප 1/4
- ටොමැටෝ පේස්ට් මේස හැඳි 1
- බිස්කට් කුඩු මේස හැඳි 2
- චිකන් වලට ලුණු දාලා පෑන් එකේ තියලා අඩු ගින්දරේ හැඳි ගාමින් පිසගන්න. චිකන් ටික හොඳටම තැම්බුණාට පස්සෙ ඒ ටික අයින් කරලා තෙල් ටිකක් දාගන්න.
- මේකට චොප්කරගත් ළූණු හා අනෙක් එළවළු ටික දාලා පාන්පිටි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.
- උතුරනකොට ලිපෙන් බාලා මේ ටික චිකන් වලට දාගන්න. රස අනුව ගම්මිරිස්කුඩු දාලා ටොමැටෝ පේස්ට් එක දාගන්න.
- හොඳට කලවම් කරන ගමන් බිස්කට් කුඩු එකතු කරන්න. කලවම් කරලා නිවුණම පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියන්න.
- දැන් අතේ ඔයිල් ටිකක් ගාගෙන අතින් කට්ලට් එක හදලා, බිත්තර සාරු වල දවටලා, තෙල් ටිකක් දාගත්තු පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න.
5. ගලබ්සි (Golubtsi)
අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- තරමක ගෝවා ගෙඩි 1
- ග්‍රේට්කරගත් කැරට් අල 2
- අඹරාගත් මස් ග්‍රෑම් 200 (කැමති මසක්)
- ටොමැටෝ පේස්ට් මේස හැඳි 2
- සවර් ක්‍රීම් මේස හැඳි 2
- ගෝවා ගෙඩිය පිටින් සෝදලා තම්බගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාලා බැදෙන්න අරින්න. මේකට කැරට් ටිකත් එකතු කරගන්න. විනාඩි 2කින් විතර ලිපෙන් බාගන්න.
- අඹරාගත් මස් වලට මේ එළවළු වලින් ටිකක් හා පිසගත් බත් ටික දාලා චොප්කරගත් රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. ඉතුරු එළවළු වලට ටොමැටෝ
- පේස්ට් එක දාලා ටිකකින් සවර් ක්‍රීම් දාලා කලවම් කරගන්න. ටිකකින් ලිපෙන් බාගන්න.
- තම්බාගත් ගෝවා ගෙඩියේ යට නටුව කොටස කපලා ගෝවා කොළ ඉරෙන්නෙ නැතිවෙන්න ගලවගන්න. දැන් මේක මැද නාරටිය කොටස කපලා සාදාගත් මස් මිශ්‍රණය මැදට දාලා දෙපැත්තෙන් කොළේ වහලා මැදින් රවුම් කරලා රෝල් එක හදාගන්න.
- දැන් අඩිය ගැඹුරු භාජනයකට මේ ටික අතුරලා උඩින් සාදාගත් තක්කාලි සහ සවර්ක්රීම් පේස්ට් එක දාලා වතුර කෝප්ප 2ක් දාලා විනාඩි 40ක් අඩු ගින්දරේ පිසගන්න.
6. පිරොෂ්කි (Piroshki)
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එකට
- පාන්පිටි කෝප්ප 2
- ලුණු
- යීස්ට් තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- බිත්තර 1
- ලා රස්නෙ කිරි කෝප්ප 1/2
- මෙල්ටඩ් බටර් මේස හැඳි 2
ෆිලින් එකට
- අඹරාගත් මස් ග්‍රෑම් 300 (කැමති මසක්)
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- ටොමැටෝ පේස්ට් තේ හැඳි 1
- චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
- බිත්තර 1
- මෙල්ට් කරගත් බටර් මේස හැඳි 1
- බැදීමට තෙල්
- බෝල් එකකට කිරි ටික දාලා සීනි හා යීස්ට් ටික දාගන්න. දැන් මේක විනාඩි 10ක් පැත්තකින් තියන්න.
- මේකට බිත්තරය හා මෙල්ට් කරගත් බටර් ටික දාලා ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. දැන් මේකට පාන්පිටි දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- අතේ ඇලෙනවනම් තව පිටි ටිකක් දාගන්න. දැන් භාජනයේ හා ඩෝ එකේ තෙල් ගාලා පැය 1 1/2ක් පිපෙන්න දෙන්න.
- ෆිලින් එක හදාගන්න පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. චොප්කරගත් ළූණු ටිකත් දාලා ෆ්‍රයි වෙනකොට අඹරාගත් මස් ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.
- මස් ටික හොඳට තැම්බුණාම මිරිස්කුඩු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. මේකට ටොමැටෝ පේස්ට් එක දාගන්න. කලවම් කරලා විනාඩි 8ක් වගේ පිසගන්න. මේකට චොප්කරගත් පාස්ලි ටික දාලා කලවම් කරගන්න. ටිකකින් ලිපෙන් බාගන්න.
- ඩෝ එකෙන් පොඩි බෝල හදාගන්න. දැන් මේ ටික තව ටිකක් පිපෙන්න තියලා තුනී කරගන්න. ෆිලින් එක මැදින් තියලා වටේ දාරවල වතුර ටිකක් ගාලා ෆිලින් එක දාලා දෙපැත්තෙන් නවාගන්න.
- උඩින් එකතු කරලා නවලා අනික් පැත්තට හරවලා පොඩ්ඩක් තුනීකරගන්න. දැන් මේවා උඩින් එග්බ්රශ් කරලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.
7. බ්ලිනි (Blini)
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 2
- බිත්තර 3
- පාන්පිටි කෝප්ප 1 1/4
- සීනි මේස හැඳි 2
- ලුණු ස්වල්පයක්
- එළවළු තෙල් ස්වල්පයක්
- බටර් ස්වල්පයක්
- බිත්තර වලට සීනි හා ලුණු දාලා විස්ක් කරගන්න. මේකට කිරි ටික දාලා කලවම් කරගන්න.
- ඊළඟට මේකට පාන්පිටි හා තෙල් දාලා ලම්ප්ස් නැති බැටර් එකක් හදාගන්න.
- පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට මේ බැටර් එක දාලා රවුමට පෑන් කේක්ස් වගේ හදාගන්න.
- ස්වීට් හෝ සේවරි ෆිලින් එකක් එක්ක කෑමට ගන්න.
Leave a Reply