බ්‍රිතාන්‍ය රජ පවුලේ රස කතා

බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ ලෝකයේ ජනප්‍රියම රජ පවුල වගේම අංක එකේ පුවත් මවන පවුල විදිහටත් හඳුන්වන්න පුළුවන්. අපේ මේ සටහන බ්‍රිතාන්‍ය රජ පවුලේ රස කතා ගැන. මේ කතා හුදු කට කතා වලට සීමා නොකර, පදනමක් සහිත සහ මූලාශ්‍රයක් සහිත කතා ඔබ වෙතට ගේන්න අපි උත්සාහ කරනවා.

 

 

1. පුතා ඉදිරියේ දණ නවපු අම්මා

පස්වැනි ජෝර්ජ් රජුගේ බිරිඳ වුණු ටේක් හී මේරි බිසව සෑම විටම තමන්ගේ රට වෙනුවෙන් තමන්ට පැවරිලා තිබ්බ රාජකාරිය මහ ඉහළින් සලකපු කෙනෙක්. තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත රට වෙනුවෙන් කළ යුතු යුතුකම් පැහැර හැරීම ඇය දැක්කේ දේශ ද්‍රෝහී ක්‍රියාවක් විදිහට. පස්වැනි ජෝර්ජ් රජුගේ අවසාන කාලයේ දී ඊළඟට සිංහාසනයට උරුමකම් කියන්න නියමිත වෙලා හිටිය එඩ්වඩ් කුමාරයගෙ කෙළිලොල් ජීවිතය රජපවුලට ප්‍රශ්නයක් වෙමින් තිබ්බේ. ඔහු විසින් දික්කසාද වුණු වොලිස් සිම්ප්සන් නම් කාන්තාවක් විවාහ කර ගැනීමට උත්සාහ කිරීම මේ තත්ත්වය තවත් දරුණු කළා. මේ අතරතුරේ දී පස්වැනි ජෝර්ජ් රජු මිය ගියා. රජතුමා මරණාසන්න අවස්ථාවේ දී ඔහු ගාව නොසෙල්වී හිටපු මේරි බිසව රජතුමා මිය ගිය වහාම ඒ ඇඳ ගාවින් නැගිට හඬමින් සිටි තමා වැඩිමල් පුතා වෙත ගියා. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යය තුළ කාන්තාවන් රජුට අර්ධ වශයෙන් දණ නමා ආචාර කළ යුතු වෙනවා. තම පුත්‍රයාගේ අත් සිපගත් ඇය සිය පුතාට දණ නමා ආචාර කරමින් “මහ රජු දිගුකල් දිනේවා” (Long Live the King) යැයි පැවසුවා. මෙයින් ඇය බලාපොරොත්තු වුනේ තම පුතාට පැවරී ඇති වගකීම පිළිබඳ ව යමක් කියා දීමයි. නමුත් ඊට වසරක් ගත වීමටත් පෙර එඩ්වර්ඩ් සිය සිහසුන අත්හැර වොලිස් සිම්ප්සන්ව සරණපාවා ගත්තා.

 

2. අපි යන්නේ නැහැ

දෙවැනි ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවේදී බ්‍රිතාන්‍යය දැඩි ලෙස බෝම්බ ප්‍රහාරයට ලක් වුණා. ඒ අතරතුර කාලයේ දී ජර්මනිය සිය ගුවන් හමුදාව මගින් සෙබළුන් ගෙන ඒමෙන් බ්‍රිතාන්‍යයේ ගොඩබිම ආක්‍රමණයක් සිදු කරනු ඇතැයි බියක් බ්‍රිතාන්‍ය තුළ පැවතුණා. ඒ අවස්ථාවේ දී කිරුළ හිමි එළිසබෙත් කුමරිය (වර්තමාන දෙවෙනි එළිසබත් රැජින) සහ ඇගේ නැගණිය වුණු මාග්‍රට් කුමරිය ආරක්ෂාව සඳහා කැනඩාව වෙත යැවිය යුතුයි යන මතයක් ආරක්ෂක අංශ වලින් ඉදිරිපත් වුණා. එහි දී හයවැනි ජෝර්ජ් රජුගේ බිරිඳ සහ දෙවැනි එළිසබත් රැජනගේ මව වුණු එළිසබෙත් බිසව (ඇගේ නමත් එළිසබත්) මෙසේ ප්‍රකාශ කළා. “කුමාරිකාවන් මා නොමැතිව නොයයි, මා රජු නොමැතිව නොයයි, රජු රට හැරදා නොයයි”.

 

3.එළිසබෙත් රැජිනගේ හෑන්ඩ්බෑග් එක

එළිසබත් රැජින සහභාගි වන සෑම උත්සව අවස්ථාවකදීම හෑන්ඩ් බෑග් එකක් රැගෙන යනවා. සාමාන්‍යයෙන් හෑන්ඩ් බෑග් එකක් රැගෙන යන්න බොහෝ කාන්තාවෝ පුරුදු වෙලා ඉන්නවා. හැබැයි එළිසබත් රැජිනගේ මේ හෑන්ඩ් බෑග් එක විශේෂයි. හේතුව තමයි මේ හෑන්ඩ් බෑග් එක මගින් ඇගේ ආරක්ෂක නිලධාරීන්ට සහ ඇගේ පරිවාර සේවකයන්ට ඇය විවිධ සංඥා නිකුත් කරනවා.මේ සංඥා මොන වගේද කියන එක ගැන අන්තර්ජාලයේ විවිධ කයි කතන්දර තිබ්බත් ඔවුන් ඒ ලබා දෙන තොරතුරු නිවැරදියි කියන්න මූලාශ්‍රයක් නෑ. ඒ නිසා ඒ සංඥා ගැන නම් අපි කතා කරන්න යන්නේ නැහැ. සමහරු කියන විදිහට මේ හෑන්ඩ් බෑග් එක ඇතුළේ රජ පවුලේ සාමාජිකයන්ගේ පින්තූර තියෙනවලු. කොහොම වුණත් මේ බෑග් එකේ ඇත්තටම මොනවද තියෙන්නෙ කියලා හා බෑගය මගින් ඇය ලබාදෙන සංඥා සියයට සියයක් නිවැරදිව දන්නේ එළිසබත් රැජින සහ එයාගෙ පරිවාර සේවකයන් විතරයි.

 

4. අප්‍රිකාව සහ රජ පවුල

බ්‍රිතාන්‍ය රජ පවුලට අප්‍රිකාවත් එක්ක ආත්මීය සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය පටන් ගන්නේ එළිසබත් රැජිනගෙන්. රැජිනගේ පියා වන හයවෙනි ජෝර්ජ් රජතුමා මිය යන විට ඇය සිටියේ කෙන්යාවේ වන සතුන් නරඹමින් අට්ටාලයක. මේ නිසා ඇය රැජින බවට පත් වෙද්දී හිටියේ කෙන්යාවේ. විලියම් කුමාරයා කේට් කුමරියට තමන්ගේ ආදරය ප්‍රකාශ කරමින් තමාව විවාහ කරගන්නා ලෙස ඉල්ලා සිටියේ කෙන්යාවේදී. හැරී කුමාරයා සහ මේගන් කුමරිය පෙම්වතුන් බවට පත් වෙන්නෙ බොස්ට්වානාවේ සිදු කරමින් හිටිය සංචාරයක් අතරතුරදී.

 

5. Game of Thrones

GOT නරඹලා තියෙන අයගේ ඒක හීනයක් තමයි කවදහරි Iron Throne එකේ ඉඳගැනීම. මෙම නාට්‍ය මාලාවේ නිෂ්පාදකයන්ට තමන්ගේ දර්ශන පසුතල නරඹන්න දෙවැනි එළිසබත් රැජින ගේ පැමිණීම විශාල ගෞරවයක් වුණා. ඔවුන් බලාපොරොත්තු වුනේ දෙවැනි එළිසබත් රැජින Iron Throne එක මත ඉඳ ගනියි කියලා. නමුත් එළිසබත් රැජින එම ඉල්ලීම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව වුණේ ඇයට රැජින විදිහට තම සිංහාසනයේ ඇරුනම වෙනත් සිංහාසනයක ඉඳගැනීම නොකළ හැකි වීම.

 

6. එක මගක නොයන උරුමක්කාරයෝ

මේ සම්ප්‍රදාය අද වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ. ඒ තමයි සාමාන්‍යයෙන් රජ පවුලේ සිරිතක් තමයි යම් කිසි සංචාරයක නිරත වෙද්දී ඒ සඳහා රජකමට උරුමකම් කියන දෙදෙනෙක් සහභාගී නොවීම. උදාහරණයක් විදිහට දෙවැනි එළිසබත් රැජින කිසිම අවස්ථාවක චාල්ස් කුමාරයා කුඩා කාලයේදී ඔහුව ඇය සමග විදේශ සංචාරවලට රැගෙන ගියේ නැහැ. හදිසි ගුවන් අනතුරකදී රජපවුලට ඉන් සිදුවිය හැකි අවදානම මගහරවා ගැනීම මෙම සම්ප්‍රදායේ අරමුණ බවට පත්වී තිබුණා. නමුත් චාල්ස් කුමාරයා සහ ඩයනා කුමරිය මේ සම්ප්‍රදාය වෙනස් කළා. ඔවුන් සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයක් සඳහා විලියම් කුමාරයව එක්කර ගත්තා. නමුත් ඒ සඳහා දෙවැනි එළිසබත් රැජනගේ ලිඛිත අවසරය අවශ්‍ය වුණා. ඉන් පසුව මෑත කාලයේ දී විලියම් කුමාරයාත් සිය පුත්‍රයා වූ ජෝර්ජ් කුමාරයාව විදේශ සංචාරයක් සඳහා රැගෙන ගියත් ඒ සඳහාත් එළිසබත් රැජිනගේ අවසරය ලබා ගත්තා.

 

7. ලිලිබට්

දෙවැනි එළිසබත් රැජින බොහෝ ලිපි ලේඛන වලට ලේඛන වලට අත්සන් තබන්නේ Elizabeth R වශයෙන්. R යන්නෙන් Regina (ලතින්) භාෂාවෙන් රැජින යන්න අදහස් කෙරෙනවා. නමුත් ඇගේ මව සහ පියා කුඩා කාලයේ ඇයට හුරතලයට කියපු නම තමයි ලිලිබට්. මේ නිසාම ඇය තමන්ගේ ලඟ පවුලේ සාමාජිකයන් සමඟ කරන ලියුම් ගනුදෙනු වලදී, විශේෂයෙන් ම නත්තල් කාඩ් වල දී ඇය අත්සන් තබන්නේ ලිලිබට් වශයෙන්.

 

ඉතින් වෙනදා වගේම ඔබගේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *