රුසියානු විප්ලවය ඇති වීමට පෙර ලෝකයේ සිටි බලවත්ම පුද්ගලයා වූයේ රුසියාවේ සාර්වරයායි. ඔහුගේ වචනය රටේ උත්තරීතර නීතිය බවට පත්වුණා. අපි මේ වෙනකොට සාර්වරුන්ගේ සමය පිළිබඳව ආටිකල් කීපයක්ම ඔබ වෙත ගෙන ඇවිල්ලා තියනවා. අපි අද කතා කරන්න යන්නේ සර්වරු සම්බන්ධ රස කතා කීපයක් පිළිබඳවයි.
1. මහා කැතරින්ගේ කෝපි බීම
ජර්මානු රජ කුමරියක් විදිහට ඉපදිලා විවාහය සඳහා රුසියාවට ආපු ඇය අවසානයේ දී තමන්ගේ සැමියාව බලයෙන් පහ කරලා රුසියාවේ උත්තරීතර පාලිකාව බවට පත්වුණා. මේ කාලයේදී කෝපි පානය සැලකුණේ පිරිමින්ටම පමණක් වෙන්වුණු පානයක් විදියට. සාමාන්‍ය කිසිම පිරිමියකුට නොදෙවෙනි බව පෙන්වන්න උත්සාහ කරපු මහා කැතරින් අධිරාජිනිය තම සෑම උදෑසනක්ම ආරම්භ කරේ කුඩා කෝපි කෝප්ප දෙකක් බීමෙන් අනතුරුවයි. නමුත් මෙම සෑම කෝප්පයක් සඳහාම කෝපි හැඳි හයක් පමණ යෙදීමට සේවකයන්ට ඇය විසින් අණ ලබාදී තිබුණා. එකල පැතිර ගිය කතාවකට අනුව එක්තරා රාජ්‍ය නිලධාරියෙකුට ඇය තම කෝපි කෝප්පයක් ලබාදී ඇති අතර එය බීමෙන් පසුව ඔහුගේ හදවත ගැහීමේ වෙිගය ඉහළ යෑම නිසා වෛද්‍යවරයෙකු කැඳවීමට පවා සිද්ධ වී තිබෙනවා.
2. දෙවැනි නිකොලොස්ගේ ආභරණ පිස්සුව
රුසියාවේ අවසාන සාර් වරයා වූ දෙවැනි නිකලස් ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට ප්‍රිය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධයි .දිනකට සිගරට් 25 ක් පමණ පානය කළ ඔහු බිරිඳට රහසින් තම දියණියන්ටත් සිගරට් බීමට කියා දුන් බව කියවෙනවා. කෙසේවෙතත් මේ පුරුදුවලට අමතරව ඔහුහට තව අපූරු පුරුද්දක් තිබී තිබෙනවා. ඒ ඔහුට ලැබෙන ආභරණ සියල්ල පිළිබඳව සටහන් පොතක සටහන් තබා ගැනීමයි. මේ පුරුද්ද පළවෙනි ලෝක යුද්ධය පැවැත්වෙන කාලය තුළ දී පවා ඔහුගෙන් ගිලිහී ගොස් තිබී නෑ.
3. පළමු නිකලොස්ගේ අච්චාරු පිස්සුව
රුසියානු සාර් වරුන් අතරින් දුම්පානය නොකළ එකම සාර්වරයා ලෙස සැලකෙන්නේ පළමු නිකොලොසුයි. නමුත් ඔහුගේ ආහාර රටාව නම් එතරම් සෞඛ්‍යසම්පන්න වුණේ නැහැ. රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කළ ඔහු හවස් කාලය තුළ පිපිඤ්ඤා වලින් සාදන ලද අච්චාරු වල ඉස්ම හැඳි කීපයක් පානය කිරීමට පුරුදුව සිටියා. එසේම උදේ ආහාරය ලෙස ඔහු ලබා ගත්තේ තේ, පාන් සහ අච්චාරු වර්ග පහක්.
4. තුන්වෙනි පීටර්ගේ බෝනික්කෝ
තුන්වෙනි පීටර් අධිරාජයාගේ ළමා කාලය අතිශය දරදඬු නීති රීතිරීති යටතේ පාලනය වුණු ළමා කාලයක් වුණා. මෙම කාලය තුළ සෙල්ලම් කිරීම ඔහුට තහනම් වූ අතර අනාගත සොල්දාදුවෙකු බවට පත්වීමට කුඩා කාලයේ පටන්ම ඔහුව පුරුදු පුහුණු කරනු ලැබුවා. මේ නිසාම වැඩිවියට පත් වී ස්වාධීනත්වයට පැමිණීමෙන් පසුව පවා ඔහු තමාට මග ඇරුණු ළමා කාලය වෙත යෑමට ප්‍රිය කළා. එහි ප්‍රතිඵලය වූයේ බෝනික්කන් සහ රූකඩ සමඟ සෙල්ලම් කිරීමට ඔහු ප්‍රිය කිරීමයි. ඔහුව බලයෙන් පහකොට රාජ්‍ය බලයට පත් මහා මහා කැතරින් අධිරාජිනිය විසින් පසුව හෙළි කර ඇති පරිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ තනි වූ රාත්‍රී වලදී පීටර් උදෑසන වනතුරු සිදුකොට ඇත්තේ බෝනික්කන් සමග සෙල්ලම් කිරීමයි.
5. දෙවැනි ඇලෙක්සැන්ඩර්ගේ හුකා ප්‍රේමය
සිගරැට් පානයට අමතරව දෙවැනි ඇලෙක්සැන්ඩර් අධිරාජයා එවකට අරාබි ජාතිකයන් අතර ජනප්‍රිය වෙමින් පැවතුණු හුකාවක් ආධාරයෙන් දුම් පානය කිරීමට පුරුදුව සිටියා. එලෙස දුම් පානය කිරීම මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය වඩාත් ක්‍රමවත් වන බව තමන්ට දැනීම එයට හේතුව බව ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් ඒ ආකාරයෙන් ඔහු දුම්පානය කරන අවස්ථාවල එය දැකබලා ගැනීමේ අවස්ථාව සියළු දෙනාටම ලැබුණේ නැහැ. ඔහු ඉදිරියේ තිරයක් අදිනු ලැබූ අතර ඔහුගේ සමීපතමයන්ට පමණක් එම අවස්ථාවේ ඔහු සමඟ රැඳී සිටීමට අවස්ථාව ලැබුණා.
6. එළිසබෙත්ගේ යටිපතුල හිරීම
අද වන විට යටිපතුල සඳහා සත්කාර කිරීම කාන්තාවන්ගේ රූපලාවණ්‍ය සමග බැඳුණු කර්තව්‍යයක්. අතීතයේ දී රුසියාවේ ගැමි ගොවි ලියන් අතර පමණක් පැවති මේ පුරුද්ද ඒ වන විට තාම ඥාති සහෝදරියකගේ අණ මත එළිමහන් රැඳවුම් භාරයේ සිටි එළිසබෙත් කුමරියගේ සිත් ගත්තා. පසුව ඇය රුසියාවේ අධිරාජිනිය බවට පත්වීමෙන් පසුව රාත්‍රියේ නිදා ගැනීමට පෙර තමන්ගේ පාද සත්කාර කිරීමේ වගකීම පරිවාර සේවිකාවන් පවරනු ලැබුවා. මෙම පරිවාර සේවිකාවන් රුසියාවේ ඉහළ පෙළේ වංශවත් පවුල් වලට අයත් වූවන් වූ අතර මෙම පුරුද්ද පහළ පන්තියේ පුරුද්දක් ලෙස මුල් අවස්ථාවේ ඔවුන් සැලකුවත්, පසුව එය ඔවුන් අතරත් ජනප්‍රිය වුණා.
7. මහා පීටර්ගේ සිවිලිම් බය
එතෙක් කලක් ආසියානු රටකට සමාන ජීවිතයක් තිබූ රුසියාවේ ජනජීවිතය උඩුයටිකුරු කරමින් යුරෝපා ක්‍රමයට සකස් කිරීමේ ගෞරවය හිමිවන්නේ මහා පීටර් අධිරාජයාටයි. ඔහු කුඩා කාලයේ ජීවත්ව ඇත්තේ කුඩා මාළිගාවක වන අතර එහි සිවිලිං පහළ මට්ටමේ තිබී ඇති බව කියවෙනවා. මේ නිසාම පසු කලෙක ඔහු අධිරාජයා වීමෙන් පසුව වුවත් ඉහළ සිවිලිං තිබෙන කාමර වලට ප්‍රිය කොට නෑ. මේ නිසා ඔහුගේ නිලධාරීන් අධිරාජයා නවාතැන් ගන්න මාළිගාවල වහලවල් වලට රෙදි ඇදීම මගින් සිවිලිම පහත තත්ත්වයේ පවතින ලෙස පෙනෙන අයුරින් සකස් කොට තිබෙනවා.
මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply