ඇඳුමක් පැළඳුමක් ගන්න යන එක අද කාලේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඇතැම් ඒවයේ ගණන් දැක්කම අපේ ඇස් උඩ යනවා. පොඩි තැනකට ගියත් එතැන අපිට ඕනි සයිස් එක නැහැ, කැමති පාට නැහැ, නැතිනම් මිල වැඩියි. ඉතින් ඇඳුමක් පැළඳුමක් ලාබෙට ගන්න අපිට කොහේද යන්න පුළුවන්? සල්ලි තියෙන අය නම් බැංකොක්, මැලේසියා, චෙන්නයි ගිහින් ඇඳුම් ගේනවා. ඒත් අපි ගොඩක් දෙනෙක්ට එහෙම යන්න බැහැනෙ. ඉතින් අපි බලමු ලංකාවෙ කොළඹ ඇඳුමක් පැළඳුමක් ටිකක් අඩුවට ගන්න පුළුවන් තැන් ටිකක් ගැන.
1. ලේඩි ජේ බොරැල්ල
ගාල්ලේ තිබුණා ඉස්සර කොටුවේ කඩේ. ඒ කාලේ ගාල්ලේ කොටුවෙ කඩේ කිව්වම දකුණු පළාතේම ප්‍රසිද්ධ තැනක්. ඒ බිස්නස් එක කරපු කෙනාම කොළඹ බොරැල්ලේ මිනීපෙට්ටි සාප්පුවක් ආසන්නයේම ලස්සන ලොකු ෂොපින් කම්ප්ලෙක්ස් එකක් දැම්මා. ඒක තමයි ලේඩි ජේ එක. ලේඩි ජේ එක කියන්නේ ගෙදරට ඕනි සෑම බඩු බාහිරාදියක්ම එක තැනකින් ගන්න පුළුවන් තැනක්. අලුත් අලුත් දේවල් නිතර එකතු වෙන නිසාත්, ගොඩාක් බඩු භාණ්ඩ ආදිය විවිධ වර්ග වලින් තියෙන නිසාත් බොරැල්ල ලේඩි ජේ එක ජනප්‍රිය වෙලා තියෙනවා. යටම තට්ටුවේ පාකින් තියෙන නිසා තවත් ලේසියි ෂොපින් වැඩේට.
තැන මෙතන –
2. පිටකොටුව දෙවනි හරස්වීදිය
පිටකොටුවේ ඉතින් රෙදි ලාබයි. ඒත් සෙනග සහ කලබලේ තමයි ටිකක් අපහසු. කලබලේ විඳ දරාගෙන ටිකක් වැඩිපුර කෑලි ගාණක් මිලදී ගන්නවා නම් ලාබෙටම ගන්න පුළුවන් තැනක් තමයි පිටකොටුව. දානෙකට, මගුලකට වගේම අවුරුද්දට වගේ එක වර්ගයෙන් අයිටම් කීපයක් ගන්න ඕනිවෙන වෙලාවක පිටකොටුව හරස් වීදි වලින් බඩු ගන්න එක ලාබයි. ගොඩක් කඩවල තියෙන්නේ තොග වෙළඳාම. ඒත් ටිකක් ඇවිද්දොත් හිතේ හැටියට සිල්ලර බඩුත් හොයාගන්න හැකියි. දෙවනි හරස් වීදිය විතරක්ම නෙමෙයි, කුමාර වීදිය, තුන්වන හරස් වීදිය, කේසර් වීදිය වගේ වීදි වලත් රෙදි කඩ වගේම වෙනත් ඇඳුම් පැළඳුම් තියෙන කඩ ගොඩාක් තියෙනවා. පාකින් නම් ටිකක් අමාරුයි. එක්කෝ පැරණි මාලු මාකට් එක තිබුණ තැන පාක් කරල එන්න ඕනි, නැතිනම් පරණ චාමස් ගබඩාව තිබුණ ස්ථානයේ වාහනේ පාක් කරලා එන්න ඕනා.
තැන මෙතන –
3. හවුස් ඔෆ් ෆැෂන්ස්
ඉස්සර වැල්ලවත්ත, ඩුප්ලිකේශන් පාර වගේ තැන් කිහිපයකම තිබුණ හවුස් ඔෆ් ෆැෂන් ප්‍රධාන ශාඛාව දැන් බොරැල්ලට ඇවිත්. බොරැල්ල ඉඳන් බොරැල්ල කනත්තට යන ප්‍රධාන මාවතේම ලොකුවට හවුස් ඔෆ් ෆැෂන් පේන්න තියෙනවා. ලොකු ෂොපින් කම්ප්ලෙක්ස් එකක්. ඒත් තැන සහ පෙනුම ලොකු වුනාට ගණන් නම් ගොඩක්ම වැඩි නැහැ. අපේ අතේ තියෙන ගාණ අනුව ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් ගෙදර දොර දේවල් මිලදී ගන්න පුළුවන්. හවුස් ඔෆ් ෆැෂන් එකේ පාකින් තියෙනවා. ඒ වගේම බොරැල්ලට ළඟපාත නිසා බස් එකේ වුනත් ඇවිත් බැහැලා රෙදි තෝරාගන්න පුළුවන්කම තියෙනවා.
තැන මෙතන –
4. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගොඩ
නුවර පාරේ කොළඹ එන අයට නම් කැළණිය බේස්ලයින් පාර ට්‍රැෆික් හරහා කොළඹට එන්නේ නැතිව රෙදි ගන්න පුළුවන් තැනක් තමයි කිරිබත්ගොඩ තිලකවර්ධන එක. දැන් තිලකවර්ධන එකෙත් සපත්තු වෙනම, ෆෝන් වෙනම ආදී ලෙස කඩ වෙන වෙනම තියෙනවා. තිලකවර්ධන එකට අවුරුදු කාලෙට, නත්තල් කාලෙට නම් කිට්ටුවෙන්න අමාරුයි. සාමාන්‍ය දවසට නම් එච්චරටම තද බදයක් නැහැ. ඩිසයින් ගොඩක් ලාබෙට එකම තැනකින් ගන්න තියෙන නිසා කට්ටිය තිලකවර්ධන එකට ෂොපින් යන්න ආසයි.
තැන මෙතන –
5. කැන්ඩි කඩවත, වත්තල, නුගේගොඩ සහ ලිබර්ටි
කැන්ඩි එකේ අලුත්ම බ්‍රාන්ච් එක අප්ටවුන් කැන්ඩි කියලා කොල්ලුපිටියේ ලිබර්ටි එකේ විවෘත වුනා. එතන නම් එච්චරටම ඇඳුම් පැළඳුම් ලාබ නැහැ. ඒත් උත්සව අවස්ථාවකට හෝ හොඳ ඇඳුමක උවමනාවක් ඔබට තියෙනවා නම් එතනින් මිලදී ගන්න හැකියාව තියෙනවා. කැන්ඩි වත්තල සහ කඩවත ප්ලේස් දෙකත් ජනප්‍රිය තැන් දෙකක්. සාමාන්‍ය ජනයාට පේමන්ට් එකේ මිලට හොඳ ඒසී වටපිටාවකදි රෙදි පෙරෙදි මිලදී ගන්න හැකියාව කැන්ඩි එකේදි ලැබෙනවා.
6. පමුණුව පාන්දර මාකට් එක
ලංකාව කියන්නේ ගාමන්ට් ෆැක්ටරි වලට ජනප්‍රිය රටක්. ඒ ගාමන්ට් ෆීල්ඩ් එක නිසාම ඉතුරුවෙන කැබලි වගේම නූල් බෝල, බොත්තම්, ඉලාස්ටික් වගේ දේවලුත් අපේ වෙළඳපොලට ආවා. ඒ වගේ කට්පීසස් සහ ලාබ ඇඳුම් ගන්න මහරගම පමුණුව උදේ මාකට් එක කියාපු තැනක්. ගෙවල්වලට දාන කර්ටන් එහෙමත් පමුණුවේ විකුණන්න තියෙනවා. පමුණුවේ පේමන්ට් එකේ තියෙන රෙදි නම් සමහර වෙලාවට බාල ඒවා. ඒත් මිල අඩු නිසාම සමහරු කීප වතාවක් ඇන්දත් මොකද කියලා ඒවා අරගෙන යනවා. උදේම යන්න ඕනි මේ මාකට් එක, රෙදි මහන අය අතර සහ අඩුවටම රෙදි හොයන අය අතර ජනප්‍රිය තැනක්.
තැන මෙතන –
7. ලකී ස්ටාර්
ෆැක්ටරි අවුට්ලට් එහෙමත් නැතිනම් ගාමන්ට් වලින් පොඩි පොඩි ඩැමේජ් නිසා අයින් කරන රෙදිපිලි තියෙනවා. එහෙම ෆැක්ටරි අවුට් වෙන ඇඳුම් පිටරට මාකට් එකට මහන නිසා මෙෂමන්ට් සහ රෙදි හොඳ තත්ත්වයෙන් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් වැය කරන්න බැරි තරම් මිල අධික බ්‍රෑන්ඩ්ස් වල නම නැතිව මේ ෆැක්ටරි අවුට්ලට් වලින් ගන්නට පුළුවන්. මේ ෆැක්ටරි අවුට්ලට් වුනත් එක එක විදියේ ඒවා තියෙනවා. ඒ අතර දෙමටගොඩ ලකී ස්ටාර් එක මේ රෙදිපිලි වර්ග විශාල ගණනක් බොහොම ලාබෙට තියෙන තැනක්. ලකී ස්ටාර් එක තියෙන්නේ දෙමටගොඩ ස්ටේශන් එක තියෙන පැත්තේ ස්ටේශන් එකේ සිට කැළණි පාලම දිහාවට මීටර 200ක් විතර දුරින් ගුවන් පාලම පටන් ගන්නම හරියේ.
තැන මෙතන –
රෙදි, ඇඳුම් ටිකක් ලාබෙට ගන්නට හොඳ තැනක් හොයාගන්න මේ තොරතුරු ටික උපකාරි වෙන්නට ඇති. කොළඹ ඒ ඒ මට්ටමේ රෙදිපිලි ලාබෙට ගන්නට තැන් ගොඩාක් තියෙනවා. දැන් දැන් ඉන්දියාවේ ඉඳලා එන පිරිසත් කොළඹ ඇවිත් ෆැෂන් තෝරනවා අපේ ෂොපින් මෝල් වල. ඉතින් මෙතන මගහැරුණු තැනක් දෙකක් තියෙන්නත් පුළුවන්. එහෙම දැක්කොත් කමෙන්ට් එකක් දාලා ඒ තැන් ගැන අනෙක් අයට කියලා යන්නත් අමතක කරන්නට එපා.
Cover Image Source – languages.coatsindustrial.com
Leave a Reply