ළමයාගේ උපන්දිනයට වැඩිහිටි පිරිසක් වටවෙලා පාටියක් දාලා ආතල් එකක් ගන්නවාට වඩා දෙමවුපියන් දෙදෙනා ළමයා එක්ක සතුටෙන් කාලය ගෙවන එක ළමයෙකුට වටිනවා. ඒ නිසා බැට්මෑන් රතුද සුදුද කියා නොතේරෙන දරුවකුට බැට්මෑන් තීම් එකේ බර්ත්ඩේ පාටි එකක් ඕගනයිස් කරනවාට වඩා දෙයක් දෙමවුපියන්ට කරන්න පුළුවන්. ඒ අනාගතේ තමන්ගේ දරුවාට තමන් කළ දේ මහමෙරක් තරම් වටිනාකමක් දැනෙන සහ ඔබ පිළිබඳ ආඩම්බරයක් දැනෙන විදියටයි. අපි කියන මේ කතාව ගැන හිතලම බලන්න.
1. ලියුමක්

Source – dadtography.com
හැම කෙනාටම ලියන්න බෑ කියල හිතෙන්න පුළුවන්. නමුත් හැම කෙනෙකුටම හිතෙන එක වළක්වන්න බෑ, තමුන්ගේ දරුවා ගැන අවුරුද්දක් තිස්සෙ හිතුණු දේ ලියන්න කොලයක. තවත් අවුරුදු ගාණකට පස්සෙ ඒ ලියුම දිගඇරලා බලන තමන්ගේ දරුවාට තමන් රටට හොඳ මිනිසෙක් විය යුතුයි යන හැඟීම ඇති වෙන විදියෙ ලියුමක් ලියන්න. දැනට එය සඟවා තබන්න. ඔබේ දරුවාට අවුරුදු දහඅටක් සපිරුණු කාලයක ලියුම් 18 ඔහු හෝ ඇය අත තබන්න. ඔබේ කැපකිරීම් මතින් ඇයට ගොඩනැගෙන්නට ඉඩ සලස්වන්න.
2. විත් ද බිල්

Source – today.com / tnq.com
ඔබේ දරුවාගේ සෑම උපන්දිනයකට ඔබ තෑගි බොහෝමයක් මිලදීගන්නවා ඇති. නමුත් ඒවා කොතරම් කල් පැවතුනාද? දරුවෙකුට තෑග්ගක් දී එය ඉබි යතුරු දමා ආරක්ෂා කර පළක් නෑ. මේ කතාව ඔබේ දරුවා පුදුම කරවන්නක් වේවි. ඔබේ සෑම තෑග්ගක්ම ඔබේ දරුවාගේ උපන්දිනයේදීම මිලට ගෙන ඒ සමග ඔබේ දරුවා සිටින ඡායාරූපයක් අරගන්න. ඉන්පසු එය සමග උපන්දින තෑග්ගේ බිලද අමුණා ෆයිල් කවරයක් සාදන්න. දරුවා දැනුම් තේරුම් ඇති වයසට ආ පසු ඔබ ලබා දුන් තෑගි සිහිපත් වෙනවා වගේම දශකයක පමණ කාලයක් තුළ මුදලේ වටිනාකම් ඉහළ යෑමත් ඔවුන්ට වැටහේවි. එය නිශ්චිතවම ඔවුන්ගේ උපන්දිනය වැනි දිනයක ලද බිල්පතක් නිසා ඒ සතුට සහ පුදුමය වැඩි වේවි.
3. පියවරෙන් පියවර පොතක්

Source – bellasbookshelves.com
ඔබේ දරුවාගේ පළමු හෝ දෙවැනි උපන්දිනයට ඔබ ලබාගන්නේ රූප පොතක් විය හැකියි. ඉන්පසු එය සරල වාක්‍යයක්, කවි පෙළක්, සරළ ළමා කතාවක්, තරමක් සංකීර්ණ ළමාකතාවක්, යොවුන් නවකතාවක් ලෙසින් ඉදිරියට ඒවි. මේ ලෙස ඔබේ දරුවාගේ වයසට ගැලපෙන පොතක් තෑග්ගක් ලෙසින් පිළිගන්වන්න. එසේම එය ඔබේ මැදිහත් වීමෙන් කල්ගත වන තුරු පරිස්සම් කරවන්න.
4. එකම මගක ෆොටෝ

Source – Imgur.com
ඔබේ නිවසේ හෝ වඩා වෙනසක් සහිතව සිහිපත් වන වටපිටාවකට යන්න. එම ස්ථානය පසුබිම් කර දරුවාගේ පින්තූරයක් ලබාගන්න. මෙය සෑම වසරකම ලබාගැනීම් ඔබේ පදිංචිය වෙනස් වීම හෝ විවිධ වූ කාරණා මත අසීරු වුවත් එය එසේ කිරීම කලකට පසු දරුවාට වෙනස් අත්දැකීමක් වේවි. දරුවාගේ පෙනුමේ පරිවර්තනය, අවට පරිසරයේ වෙනස් වීම, කැමරාවල රූප ගුණාත්මක බවේ වර්ධනය යන සියළු දේ ඔවුන්ට දැනේවි.
5. තමන් හැදූ තෑග්ගක්

Source – Pintarest.com
අන්තර්ජාලයේ උවමනා තරම් සරල තෑගි තමුන් අතින්ම සැකසීමේ ක්‍රම අන්තර්ගතය. Do It Yourself (DIY)වැඩ ගොන්න අතරින් ඔබට පහසු යමක් ඔබේ දරුවාගේ උපන්දිනය වෙනුවෙන් සකසා එය රැස් කරන්න. වසරක් පාසා තමන්ගේ දෙමවුපියන් තමන් වෙනුවෙන් සැකසූ ඒ තෑග්ග ඔවුන් විශ්මයට පත් කරාවි. ඒ තුළ ඔවුන්ගේ දෙමවුපියන්ගේ ආදරය රැඳී තිබෙනවා. ඒ තුළ ඔවුන්ගේ දෙමාපියන්ටම අයිති අභිමානයක් ගැබ්වෙනවා. ඒ තුළ ඇති නිර්මාණශීලීත්වය ඔවුන් වෙනුවෙන්ම බිහිවූවක් බව ඔවුන් දන්නවා.
6. අවුරුද්දක වැදගත් අවස්ථා

Source – pintarest.com
ඔබේ දරුවා වසරක් පුරා ගෙවූ වැදගත් අවස්ථා එක් කර ඡායාරූප එකතුවක් හෝ වීඩියෝවක් සකසන්නටත් ඔබට හැකියි. මෙය දරුවාට දරුවාගේ අතීතය පිළිබඳ රසවත් සිදුවීම් සිහිපත් කරවන්නක් වනු ඇති. තාක්ෂණයත් දියූණු වී ස්මාට්ෆෝන් කරලියට පැමිණ ඇති නිසා ඔබට මේ කාර්යය පහසු වේවි. ගෙවුණු වසරේ දරුවා සම්බන්ධ රසබර සිදුවීම් අලලා ඡායාරූප හෝ විඩියෝ එකතුවක් සකසන්න.
7. තවත් ළමුන් පිරිවරා

Source – blogger.com
තමුන්ගේ උපන්දිනයවත් නොදන්නා නැති බැරි ළමුන් මැද උදම් අනමින් කේක් කන උපන්දිනයක් නොව තමන්ගේ දරුවාට උස්මිටිකම් නැති ලෝකයකට පිවිසිය හැකි දොරටු පෙන්වන්න. දරුවා අතින් ළමා නිවාසයක ළමුන්ට තෑගි බෙදා දී බෙදා හදා ගැනීම හුරුකරවන්න. සෑම මිනිසෙකුම මිතුරෙකු කරගන්නට උගන්වන්න.
Cover Image Source – thepruse.com
Leave a Reply