වැඩි දෙනෙක් නොදන්නා PCOS කියන කාන්තා රෝගය ගැන දැනගනිමු

මේක ටිකක් වෙනස් කතාවක්. හැමදාම කතා කරන දේශපාලන, ක්‍රීඩා, ආගිය තොරතුරු වගේ මාතෘකා වලින් ටිකක් එහාට ගිහිල්ල අපි හිතුවා අද කාලෙ බොහොම සුලභ, හැබැයි හුඟක් දෙනෙක් වැඩි විස්තරයක් නොදන්න රෝගයක් ගැන කතා කරන්න. අපි ඉස්සර අහල තියෙනවට වඩා මෑත ඉතිහාසයේ කාන්තා රෝග කියන්නේ හුඟක් අහන්න දකින්න ලැබෙන දෙයක්. කොහොමටත් දැන් දැන් තියෙන්නෙ අම්ම මුත්තා කාලෙවත් නාහපු අමුතු අමුතු ලෙඩ රෝගනෙ ඉතින්. කාන්තා රෝග කිව්වමත් කට්ටිය උඩ බිම බලනවනෙ “ඒ මොකක්ද අප්පේ ඒ හරුපේ?” කියල. කාන්තා රෝග කියල අපි විශේෂයෙන්ම හඳුන්වන්නෙ කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝග. ඒ කිව්වේ කාන්තාවන්ගෙ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හැදෙන ලෙඩරෝග. උදාහරණ විදිහට ගර්භාෂගත ගෙඩි, ගැබ්ගෙල පිළිකා වගේ දේවල්. ඒ අතරිනුත් මේ කාලෙ බොහොම සුලභ රෝගයක් තමයි මේ PCOS එහෙම නැත්තම් PCOD කියන්නෙ. ඉතින් කියවල බලල දැනුවත් වෙලා තවත් නොදන්න අයවත් දැනුවත් කරමුකො මේ රෝගය ගැන.

 

 

1. PCOS/ PCOD

මේ නම් දෙකෙන්ම හැඳින්වෙන්නෙ එකම රෝගය. Polycystic Ovarian Syndrome (PCOS) එහෙම නැත්තම් Polycystic Ovarian Disease (PCOD). භාවිතා කරන්න ලේසි වෙන්න අනිත් හුඟක් ලෙඩ රෝග වගේම වෛද්‍ය විද්‍යාත්මක නාමය කෙටි කරලයි අකුරු හතරකින් කියන්නෙ. නම් දෙකක් තිබුණට බොහෝවිට අහන්න ලැබෙන ප්‍රසිද්ධම නම තමයි PCOS කියන්නෙ.

 

 

2. මොකක්ද ඇත්තටම මේ රෝගය?

අපි කලිනුත් කිව්ව වගේ මේක කාන්තාවන්ට වැළඳෙන රෝගයක්. කාන්තාවන්ට කිව්වට උපතේ ඉඳන් සියලුම කාන්තාවන්ට නම් නෙමෙයි. ප්‍රජනක වයසේ ඉන්න, ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 12 ඉඳන් අවුරුදු 51 වගේ කාල සීමාව ඇතුළත ඉන්න කාන්තාවන්ට බලපාන රෝගයක්. ඒ කිව්වෙ රෝගයේ බලපෑම බහුලවම තියෙන්නෙ මේ කාලසීමාව ඇතුළත කියන එකයි. 

සාමාන්‍ය ගණනය කිරීම් වලට අනුව ලෝකයේ ප්‍රජනක වයසේ කාන්තා ජනගහණයෙන් 2.2% ඉඳන් 26.7% අයට මේ රෝගය වැළඳිලා තියෙනවා කියල තමයි කියන්නෙ. 

මේ රෝගයෙන් මූලිකවම බලපෑම ඇතිවෙන්නෙ කාන්තාවන්ගේ හෝර්මෝන මට්ටමට. PCOS තත්ත්වය තියෙන කාන්තාවක් සාමාන්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා පිරිමි හෝර්මෝන නිෂ්පාදනය කරනවා. PCOS කියන තත්ත්වය ඇතිවෙන්නෙ කාන්තාවගේ ගර්භාශයේ ඩිම්බකෝෂ ඇතුළත. කාන්තාවකගේ ශරීරයේ තියෙන හෝර්මෝන වර්ග දෙකකින් බීජයක් අන්තර්ගතවෙන කුඩා කෝශයක් නිපදවීමත්, ඒ බීජය මෝරලා නිකුත් කිරීමත් සිදු කෙරෙනවා. මේ ක්‍රියාවලියට ඒ කිව්වේ ඩිම්බනීහරණයට බාධා කරන එක තමයි අපි මේ කතා කරන රෝගයෙන් සිදුවෙන්නෙ. 

PCOS රෝගය තියෙන කාන්තාවකගේ ඩිම්බකෝෂයේ වතුර බිබිලි වගේ පුංචි කෝෂ ගණනාවක් හැදිලා තියෙනවා. විශාල කෝෂ ප්‍රමාණයක් “Many Cysts” කියන අදහසින් තමයි Polycystic කියන්නෙ. මේ කෝෂ ඇතුළේ ඩිම්බ හටගැනීම නිසා ඒ ඩිම්බ මේරීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ප්‍රජනන ක්‍රියාවලියට අවශ්‍ය විදිහට මෝරපු ඩිම්බ නිකුත් වීමක් වෙන්නෙත් නැහැ. එහෙම ඩිම්බ නිකුත් නොවෙන නිසා කාන්තා ශරීරයක නිපදවෙන සාමාන්‍ය හෝර්මෝන වෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝර්මෝන නිෂ්පාදනය අඩුවෙනවා වගේම සාමාන්‍යයෙන් කාන්තා ශරීරයක ඉතා සුළු වශයෙන් නිෂ්පාදනය වෙන ඇන්ඩ්රෝජන් කියන පිරිමි හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිෂ්පාදනය වෙනවා. මේ වැඩිපුර නිපදවෙන පිරිමි හෝර්මෝන නිසා කාන්තාවගේ සාමාන්‍ය ඔසප් චක්‍රයට බාධා ඇතිවෙනවා. 

 

 

3. මොකක්ද මේ රෝගය හැදෙන්න හේතුව?

මේ රෝගය හැදෙන්න නිවැරදිම හේතුව මේකයි කියන්නනම් තාමත් හොයාගෙන නැහැ වෛද්‍යවරුන්. නමුත් හුඟක් දෙනෙක් මත පළ කරන විදිහට පිරිමි හෝර්මෝන ශරීරයේ වැඩිපුර නිෂ්පාදනය වීම නිසා සාමාන්‍ය ගැහැණු හෝර්මෝන නිෂ්පාදනයට බාධා ඇතිවෙනවා වගේම ඩිම්බ මේරීමට බාධා ඇතිකරන බව තමා කියන්නේ. 

ජානමය බලපෑම් වගේම ශරීරයේ ස්කන්ධ දර්ශකය, ඒ කියන්නේ BMI  එක, තවත් සරලව කිව්වොත් උසට සරිලන බර නිසියාකාරව පවත්වා නොගැනීම නිසා මූලිකවම මේ හෝමෝන අසමතුලිතතාවයන් ඇතිවෙන බව තමයි කියන්නේ. 

 

 

4. රෝග ලක්ෂණ

මේ රෝගය ගැන හුඟ දෙනෙක් නොදන්න බව අපි කලිනුත් කිව්වනේ. වෛද්‍යවරු විශ්වාස කරන විදිහට මේ PCOS තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගෙන් 70%ක්ම තමන්ට ඒ තත්ත්වය තියෙන බවට දැනුවත් වෙලා නැහැ.

කොහොම උනත් මේ රෝගය නිසා මූලිකව වෙනදේ, නැත්තම් බහුලම රෝග ලක්ෂණය තමයි ඔසප් චක්‍රය ක්‍රමවත් නොවීම. සාමාන්‍ය දින 28ක ඔසප් චක්‍රය වෙනුවට දින 40 වගේ ඉක්මවපු ඔසප් චක්‍රයක් පැවතීම වගේම මාස ගණන් ඔසප් නොවී තිබීමත් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ පහළ කියන රෝග ලක්ෂණත් පෙන්වන්න පුළුවන්. 

  • ඔසප් දින වලදී අධික රුධිර වහනය
  • ඔසප් දින වලදී අධික වේදනාව
  • සිරුරේ වැඩිපුර රෝම ඇතිවීම. මුහුණේ, පියයුරු අවට වැනි තැන්වල රෝම ඇතිවීම සහ රහස් ප්‍රදේශයන්ගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රෝම දක්නට ලැබීම. 
  • අධික කුරුලෑ
  • අධික ශරීර ස්කන්ධය/ ස්ථුලභාවය
  • හිසකෙස් තුනී වීම සහ හැලීයාම
  • බෙල්ල අවට, පියයුරු යට ආදී ස්ථාන අසාමාන්‍ය ලෙස කළු පහ ගැනීම
  • හිසරදය

  

 

5. PCOS හි අතුරු ප්‍රතිඵල 

 PCOS රෝගය නිසා මූලිකවම වෙන්න පුළුවන් දේ තමයි මද සරු භාවය ඇතිවීම. ඒ කියන්නේ සංසේචනය වෙන්න අවශ්‍ය මේරූ ඩිම්බ නිකුත් නොවෙන නිසා දරුඵල ලබාගන්න ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම හෝර්මෝන අසමතුලිතතාවය නිසා ශරීරයේ බර පාලනය කරගන්න අපහසු මට්ටමට ඉහළ යන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට, ඒ කියන්නෙ ශරීරයේ තියෙන අනික් තත්ත්වයන් එක්ක PCOS තත්ත්වය සම්බන්ධ වෙලා දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු වෙන දියවැඩියාව සහ හෘද රෝග ඇතිවෙන්නත් පුළුවන්.

 

 

6. රෝගය සුව කරන්න පුළුවන්ද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් කියන්නේ ශරීරයේ ජානමය තත්ත්වයක් නිසා මේ රෝගය 100%ක් හොඳ කරන්නනම් බැහැ, හැබැයි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න, සාමාන්‍ය විදිහට දරුඵල ලබාගන්න පුළුවන් මට්ටමට රෝගය පාලනය කරලා තියාගන්න පුළුවන් බවයි.

හැබැයි මෑතක හුඟක් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් නම් මේ රෝගය දේශීය ආයුර්වේද ප්‍රතිකාර වලින් 100%ක්ම සුව කරන්න පුළුවන් බවට සහතික වෙනවා. හැබැයි ඒ කතාවේ ඇත්ත නැත්තනම් අපි හරියටම දන්නෙ නැහැ. 

 

 

7. ප්‍රතිකාර

කලින් කියපු විදිහට රෝගය සුව කරන්න ප්‍රතිකාර නැහැ. පාලනය පමණයි කරන්න පුළුවන්. ප්‍රධානම හේතුව වෙන බර පාලනය කරගැනීමෙන් මේක ඉතා සාර්ථකව පාලනය කරන්න පුළුවන්. අධික ස්ථුලතාවය පාලනය මඟින් ශරීරයේ හෝර්මෝන මට්ටම නිවැරදි ප්‍රමාණයට ඇවිල්ල රෝගය පාලනය වෙනවා. ඒකට ව්‍යායාම සහ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම හරිම වැදගත්.

ඒ වගේම මේ රෝගයෙන් පෙළෙන ගර්භණී වීමට බලාපොරොත්තුවෙන අයටත් බර පාලනයට අමතරව ඩිම්බ මේරීම සඳහා ප්‍රතිකාර වලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *