වාහනයක් තියෙන හැම කෙනෙක්ටම ටිකක් කරදර වැඩක් තමයි වාහන හේදිල්ල. ගොඩක් අය ලේසියට වාහන හෝදන තැනකට දාලා වාහනේ හෝදගන්නවා. සමහර අය ටිකක් කරදර වුණත් කමක් නෑ කියලා ගෙදරදීම වාහනේ හෝදගන්නවා. වාහන හෝදන තැන් වල නම් ඕන කරන හැමදේම තියෙනවා වුණත් ගෙදරක වාහනයක් හෝදන්න ඕන කරන උපකරණ හැමදේම නැතිවෙන්න පුළුවන්. ඒ වගේම වාහනයක් හෝදනවා නම් ටිකක් පරෙස්සමෙන් ඒ වැඩේ කරන්නත් ඕනේ. මොකද වාහන කියන්නෙ මැෂින් නේ . ඉතින් වාහනයේ කොටස් වලට හානියක් නැති වෙන්න තමයි වාහනයක් හෝදන්න ඕනේ. අනිත් එක හැමදේම ගණන් මේ කාලේ තමන්ටම කරගන්න පුළුවන් දෙයක් මුදල් ගෙවල කරගන්න ගොඩක් අය කැමති නෑනේ. ඉතින් ඔයත් ඔයාගේ වාහනේ ගෙදරදී හෝදන්න හිතනවා නම් මේ දේවල් ඔයාට වැදගත් වෙයි.
1. කාල වේලාව
වාහනයක් හෝදන එක ලේසි වැඩක් වගේ හිතුනට කරද්දී නම් ටිකක් විතර අමාරු වැඩක්. ඉතින් වාහනයක් හෝදන්න කලින් වාහනය සේදීමට සූදානම් කරගන්න එක ගොඩක් වැදගත්. විශේෂයෙන් වාහනය හෝදන්න ගන්න වෙලාව ගැන අවධානය යොමු කරන එක වැදගත්. පුළුවන් නම් ටිකක් උදෙන් හරි හවස 4 පස්සේ හරි වාහනය හෝදන්න යොදාගන්න. එහෙම නැත්නම් කරන්න පුළුවන් දේ තමයි කෙලින්ම හිරු එළිය වැටෙන්නේ නැති තැනක් වාහනය හෝදන්න තෝරාගන්න එක. හැබැයි ඉතින් දැන් කාලේ ගෙවල්වල මිදුලේ ඉඩ නැති නිසා ඉර එළිය වැටෙන්නේ නැති තැන් හොයා හොයා ඉන්න අමාරුයි. ඒ නිසා කලින් කිව්වා වගේ උදෙන්ම හරි හවස හරි මේ වැඩේට යොදාගන්නවා නම් හොඳයි. මොකද ඉර එළිය වැටුනම වාහනේ ඉක්මනට වතුර වේලෙන්න ගන්නවා. එතකොට වාහනේ මතුපිට පැල්ලම් හිටින්න පුළුවන්. එතකොට හේදීමෙන් ඵලක් නැති වෙනවා.
2. ඕන කරන හැමදේම කලින් ලං කරගන්න
අපි දැකල තියෙනවා ගොඩක් අය වාහන හෝදන්න පටන් ගන්නේ වතුර හෝස් එක විතරක් ලං කරගෙන. ඊට පස්සේ පටන් ගත්තු වෙලාවේ ඉඳන් ගෙදර මිනිස්සුන්ට වදේ ඕන කරන දේවල් ලඟට ගෙනත් දීලම. ඉතින් ඒ නිසා අවශ්‍ය කරන හැම දේම ලං කරගෙන ඉන්න වැඩේ පටන් ගන්න කලින්. ලිස්ට් එකක් විදිහට කියාගෙන ගියොත්,බකට් එකක්, හෝස් එක, ස්පොන්ජ්, බ්‍රෂ්, ටවල්, ෂැම්පු. ඉතින් ඔය ටික ලං කරගෙනම වැඩේ පටන් ගත්තොත් ගෙදර කාටවත් ඇණයක් වෙන්න ඕනේ නෑ. ඒ වගේම වාහනයේ ටයර් පිරිසිදු කරන්න බ්‍රෂ් එකක් වෙනම තියාගන්න එක හොඳයි.
3. සේදීම
හෝස් එකකින් හෝදනවා නම් ලොකු ප්‍රෙෂර් එකකින් වතුර එල්ල කරන්න එපා වාහනයට. ඒ වගේම පුළුවන් නම් වඩා හොඳයි ඉස්සෙල්ලම රෝද මුලින්ම හෝදන එක. මොකද වාහනයේ ගොඩක්ම අපිරිසිදු වෙන්නේ මේ කොටස්. ඒ නිසා ගොඩක් කුණු රැඳෙන්නෙත් රෝද වල. ඉතින් මේ කොටස් ඉස්සෙල්ලා පිරිසිදු කලාම වාහනයේ අනිත් කොටස් වලට විසිවෙන්නේ නෑ රෝද වල කුණු. ඒ වගේම සේදීමේදී ඉස්සෙල්ලම වාහනයේ ඉහළ සිට පටන් ගන්න හෝදන්න. ගොඩක් අපිරිසිදු තත්ත්වයේ තියෙන වාහනයක් නම් ෂැම්පු යොදා කිහිප වරක් සේදීම වඩා සුදුසුයි. ඊට අමතරව මතුපිට කුණු ස්පොන්ජ් එකකින් ඉවත් කරද්දී නිතර වතුරෙන් පිරිසිදු කරමින් සෝදන්න වග බලාගන්න. ඒ සඳහා මයික්‍රෝ ෆයිබර් රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි.
4. වාහනයේ යට සේදීම
වාහනයක යට කොටස සෝදන්න නම් සේවා ස්ථාන වල Hoisters සවි කරලා තියෙනවා. ඒත් ගෙවල් වල ඒ වගේ පහසුකම් බොහෝ දෙනෙක්ට නෑ. ඒ වගේම ගොඩක් ගෙදර වාහන හෝදන්න පුරුදු වුණ අය මග අරින කොටසක් තමයි වාහනයේ යට සේදීම. අනික වාහනයක යට කොටසේ නිරන්තරයෙන් මඩ සහ දූවිල්ල එකතු වෙනවා. ඉතින් ඒ විදිහට කාලයක් තිස්සේ සිද්ධ වුණාම ඒ කොටස් මළ කෑම සහ දිරා යාම සිද්ධ වෙනවා. ඒ නිසා වාහනය හෝදන හැමවිටම වාහනයේ යට සේදීමත් කරන්න. ඒකට වාහනය උස්සන්න ඕනේ නම් ඉතින් වාහනයේ තියෙන ජැක් එක වුණත් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පුළුවන්.
5. සේදිය යුතු වාර ගණන
සාමාන්‍යයෙන් වාහනයක් මෙච්චර කාලයකින් සෝදන්න ඕනේ කියල නිර්ණායකයක් නෑ. නමුත් ඔබ වාහනය පාවිච්චි කරන විදිහ සහ කාලගුණික තත්ත්වයන් උඩ ඔයාටම ඒක තීරණය කරන්න පුළුවන්. සමහර වාහන නවත්තන්නෙම ගස් යට. ඒ වගේම ධාවනය කරන්නේ අධික දුවිලි සහිත පාරවල් වල. සමහර වාහන නිතර මුහුද ආසන්නයේ පාරවල් වල වැඩිපුර ධාවනය වෙනවා. ඉතින් ඒ වගේ විශේෂ තත්ත්වයන් යටතේ පාවිච්චි වෙන වාහනයක් නම් අඩුම ගාණේ සතියකට පාරක් වත් හෝදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සති දෙකකට හෝ තුනකට පාරක් හේදුවම ප්‍රමාණවත්.
6. වැක්ස් කිරීම
වාහනය හොඳින් සේදීමෙන් පස්සේ වාහනය හොඳින් වේලාගන්න ඕනේ. ඉන් පස්සේ තමයි වැක්ස් කරන්න සුදුසු. වැක්ස් අලේප කරන්නේ හේතු කිහිපයක් නිසා. එකක් වාහනයට හොඳ දිස්නයක් ලබාගන්න. අනික වාහනයේ පේන්ට් එක හිරු එළියෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේම UV කිරණ වලින් වාහනය ආරක්ෂා කරගන්නත් වැක්ස් කිරීම උදව් වෙනවා. ඉතින් වැක්ස් කරන්න කලින් හොඳ වැක්ස් එකක් තෝරාගන්න එක වැදගත්. වැක්ස් වර්ග නම් කිහිපයක් වෙළෙඳපොලේ තියෙනවා. ඉතින් සමහර වැක්ස් පේස්ට් එකක් විදිහට තියෙනවා. සමහර වැක්ස් දියර විදිහට තියෙනවා. ඊට අමතරව ස්ප්‍රේ කරන වැක්ස් වුණත් වෙළෙඳ පොලේ තියෙනවා. ඉතින් තමන්ගේ කැමැත්ත අනුව වැක්ස් එකක් තෝරාගන්න. ඒ වගේම වැක්ස් අලේප කරන්න මයික්‍රෝ ෆයිබර් රෙදි පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අන්තර්ජාලය හරහා හොයාගන්න පුළුවන්.
7. ඇතුළත පිරිසිදු කිරීම
වාහනයේ පිටත වගේම වාහනයේ ඇතුළත පිරිසිදු කිරීමත් වාහනය හේදීම කියන එකේම කොටසක් විදිහට තමයි සළකන්නේ. ඒ නිසා වාහනය හෝදන හැම විටම වාහනයේ ඇතුළත පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඇතුළත පිරිසිදු කිරීමේදී වැදගත් කොටසක් තමයි ඩෑෂ් බෝර්ඩ් එක කියන්නෙ. ඉතින් ඩෑෂ් බෝර්ඩ් එක පිරිසිදු කරන්නම නිපදවපු දියර වර්ග වෙළෙඳ පොලේ ගොඩක් තියෙනවා. ඒවායින් හොඳ වර්ගයක් තෝරාගෙන මයික්‍රෝ ෆයිබර් රෙදි කැබැල්ලකින් හොඳින් පිරිසිඳු කරගන්න. ඒ වගේම පුළුවන් නම් කුඩා වැකූම් ක්ලීනර් එකක් පාවිච්චි කරලා වාහනයේ ඇතුළත සම්පුර්ණයෙන් පිරිසිදු කරගන්න.
Leave a Reply