ඇල්කොහොල් කියන්නේ අපේ රටට ලොකු ගැටළුවක්. අපේ රටේ ඇල්කොහොල් පාවිච්චිය සාපේක්ෂව බොහොම වැඩියි. මේ වැඩිවීම ගැටළු ගොඩක් ඇති කරනවා. මෑතක සිට කාන්තාවන්ගේ ඇල්කොහොල් භාවිතයත් බොහොම වැඩිවෙලා තියෙනවා. කාන්තාවන් පොඩ්ඩක් පානය කළාට කමක් නැහැ කියා අලුත් මතයක් සමාජය තුළ ඇතිවෙමින් යනවා. කාන්තාව මධ්‍යසාරයට යොමු වීම මත්පැන් බොන එක ගැන නිතරම කරුණු කියවන බිරියන්, පෙම්වතියන් සිටින අයට නම් අස්වැසිල්ලක් වෙයි. ඒත් එක්කෙනෙක් බොන එකෙනුත් පවුල් අවුල් වෙද්දි, සෞඛ්‍යය අවුල් වෙද්දි, ගෙදර දෙන්නම බොන්න ගත්තොත් ඒක මැද සහ පහළ පන්තියේ ජනතාවට එතරම් හොඳ නැහැ.
1. අලුත් මීඩියා, සෝෂල් මීඩියා වල පෙළඹවීම
මේක ආකාර දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි, සල්ලි වලට රෙස්ටෝරන්ට් සහ හෝටල ආදිය ප්‍රොමෝට් කරන අය ඒ තැන්වලට යමක් කමක් තියෙන මාදිලියේ ගැහැණු උදවිය ගිහින් මධ්‍යසාර බොන ආකාරය පිංතුර සහ වීඩියෝ මගින් දක්වනවා. එතකොට ඒ රෙස්ටුරන්ට්, හෝටල් වලට තියෙන ජනප්‍රියත්වය වැඩි වෙනවා. ඉන් පස්සේ සාමාන්‍ය නොබොන කාන්තාවකට වුවත් “අඩේ අපිටත් ගිහින් ඒතැන කන්න බොන්න පුළුවන්” කියන හැඟීම එනවා. ඒ වගේම මේ කිසිදු ප්‍රොමෝෂන් කාර්යයකට කෙලින්ම දායක නැති පිරිසක්ද සෝෂල් මීඩියා හරහා තමුන්ගේ මත්වීමේ දර්ශන ආදිය බෙදා හරිනවා. ඒ තුළිනුත් නව කාන්තා පිරිසක් මේ බීමත කෙරේ නැඹුරු වෙනවා.
2. අලුත් ටේස්ට් එකට අලුත් රසයෙන්
ඇල්කොහොල් කියන්නේ ගෑණුන්ට තියා පිරිමින්ටවත් කෙළින්ම බොන්නට අමාරු දෙයක්. ඒ නිසාම එක එක සංස්කෘතීන් වල බීමේ යම් යම් ක්‍රියාපිළිවෙත් තියෙනවා. බියර් සහ අරක්කු බීම සම්බන්ධ අපේ ලාංකික ක්‍රමය වෙන්නේ ඉඳගෙන, බයිට් ටිකක් කමින් හෙමින් හෙමින් බෝතලේ අඩිය දක්වා ගැසීම. ඒත් මේ කටුක රසය නිසා කාන්තාවන්ට ඇල්කොහොල් බේතකටවත් ගන්නට හිතෙන්නෙ නැහැ. ඒ නිසාම දැන් කාන්තාවන්ට වඩාත් මෘදු ලෙස සැකසූ බියර් සහ වයින් වර්ග ඇවිත් තියෙනවා. බියර් වල සැර අඩුයි. ඒත් බියර් බොන්නේ විශාල මග් වලින්. අරක්කු ෂොට් එකක් නොබී බියර් බෝතල්, කෑන් තුන හතරක් බොන අයට අපි බොන්නේ බියර් කියා ගැලවීමක් නැහැ. ඒ අනුව නව බියර් සහ වයින් වර්ග මෘදු රසවලින් හඳුන්වාදීමෙන් සමාගම් කාන්තා වෙළඳපොල ඉලක්ක කරනවා.
3. කොක්ටේල්
කොක්ටේල් කියන්නේ කාන්තාවන්ටම හදාපු බීමක් කියලා හිතෙන තරමට ඇතැම් පිරිස් අතර කොක්ටේල් ජනප්‍රිය වෙලා තියෙනවා. ආදි කාලේ තිබුණු මංගල උත්සව වල පිරිමි පමණක් පසෙකට වී හොරෙන් වගේ මත්පැන් ගත්තා. ඒත් අද වනවිට ඒ තත්ත්වය නැතිවෙලා ගිහින් මංගල උත්සව ආදියේදී කොක්ටේල් වඩාත් ලේසියෙන් ලබාගත හැකි ලෙස බුෆේ ක්‍රමයට නිකුත් කරනවා. මේ හරහා වර්ණයෙන්, රසයෙන් වඩාත් ආකර්ෂණීය කොක්ටේල් හරහා කාන්තාවන් මත්පැනට යොමු වෙනවා.
4. ටී ශර්ට්, කැප්, බෑග්ස්, කුඩ සහ ඇක්සසරීස්
නිකම් ටී ශර්ට්, බෑග්, කුඩ වගේ අමතර දෙයක් තෑගි දෙනවා කිව්වොත් පොඩ්ඩක් නැවතිලා ඉඳලා, ඒ මොකද්ද කියලා හොයලා බලලා අපි ඒවා අරගෙන යන සිරිතක් තියෙනවා. මේ තෑගි භාණ්ඩ වල ඇලවුණු බියර් ලේබල් අපි විටින් විට මගතොටදිත් දකිනවා. මේවා මගින් කෙළින්ම මත්පැන් ප්‍රචාරය නොකෙරුණත්, එමගින් ලාංකික කාන්තාවන්ට සුපිරි වෙළඳසලකින් බියර් එකක්, වයින් එකක් මිලදී ගන්නට ඇති චකිතය අඩු කරනවා. සාමාන්‍ය සමාජයේ ඕනෑම වැඩිහිටියෙකුට මත්පැන් ගැනීමේ තහනමක් නැති මුත් කාන්තාවන් කිසි ගේමක් නැතුව මත්පැන් ගන්නා තත්ත්වයට පත් වීමේ පොඩි අවුලක් තියෙනවා.
5. ජනප්‍රිය සංස්කෘතිය මේ යැයි දැක්වීම
සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක්. තරුණයින් වගේම තරුණියනුත් අලුත් විදිහට මොඩ් වෙන්න, මොඩ් විදිහට හැසිරෙන්න ආසා කරනවා. මනෝ ව්‍යාධි වලට කෙළින්ම බලපාන්න පුළුවන් ගංජා නොහොත් කංසා පිරිසක් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව පහුගිය කාලේ ලංකාවේ ප්‍රොමෝට් කළා. ඒ හරහා යම් කිසි දාර්ශනික, විද්වත්, කලාකාමීන් සිටින ඉසව් වලදී මත් පැන් පානය අවුලක් නැතිය, ඒවා සාමාන්‍යය කියන මතවාදය නිර්මාණය කරන්නට යම් පිරිසක් උත්සාහ ගන්නවා. මේ හරහා අලුත් සංස්කෘතිය මේ යැයි වරදවා වටහාගන්නා යෞවනියන් ඒ තැන්වලින් කලාව, දර්ශනය කෙසේ වෙතත් බියර් කෑන් එක නම් මුලින්ම අතට ගන්නවා. කලාව, දර්ශනය සහ විවිධ චින්තන හැදෑරීම මනස පුළුල් වීමට හේතු වෙනවා. ඒත් ඒ මුවාවෙන් මතට හුරුවුණොත් මනස වෙනස්වීම කෙසේ වෙතත් සෞඛ්‍ය තත්ත්වය නම් ඉක්මනින්ම පිරිහෙන්නට ගනීවි.
6. ෆ්‍රී ඉවෙන්ට්
කාන්තාවන් ගෙන්වාගැනීම ලංකාවේ ඇතැම් පාටි සහ ඉවෙන්ට් ඕගනයිසර්ස්ලට ගැටළුවක්. ඒ නිසා ඔවුන් ඩීජේ සංදර්ශන සහ සහ ක්ලබ් ආදිය කාන්තාවන්ට මිල අඩුව හෝ නොමිලේම ඇතුල්වෙන්නට ඉඩ දෙනවා. ඒ හරහා කාන්තාවන් ඒ තැන්වලට ලාභය නිසාම ඇතුළු වෙනවා. එසේ නටන්නට සහ සමාජ කටයුතු වලට ඒ තැන්වලට කාන්තාවන් ඇතුළු වුණු පසු ඔවුන්ද ලේසියෙන්ම ඒවායේ ඇති උපසංස්කෘතීන් වලට නතුවෙනවා. කලාතුරකින් එසේ නැති මත්පැනින් තොර පාටි යන ගැහැණු අය සිටියත්, බොහෝවිට එසේ යන ගැහැණු බහුතරයක් මත්පැන් වැළඳගන්නවා.
7. ලංකාවේ වැටෙන්න බොන ගැහැණු නැද්ද?
කැරෝකේ ක්ලබ්, සමාජ ශාලා වල සිටින යුවතියන් එන පාරිභෝගිකයින් ලවා මිලදීගෙන මත්පැන් බොනවා. එසේ බී මත්වෙන පිරිස හැර ලංකාවේ හොඳින්ම මත්වී වැටෙන්න ගහන ගැහැණු අඩුයි. ඒත් බොහෝවිට හොඳින්ම බොන පිරිමිත් මුලින්ම පටන් ගන්නේ සුළුවට තමයි. ඉන් පසු එය සතියට දවස දෙක වී අවසානයේ මුදල් තිබෙන හැම විටම සෙට් වීමකට යන්නට ඔවුන් හුරු වෙනවා. මේ තත්ත්වයම කාන්තාවන්ටත් ඇතිවෙන්න අවදානමක් තියෙනවා.
තමුන්ට ඕනි විදිහට කන්න බොන්න හුරුවෙන්න ඕනි කෙනෙක්ට නිදහස තියනවා. ඒත් මත්පැනට හුරුවන කාන්තාවන් වැඩිවුණොත් ඒක සමාජයට සෘජුවම බලාපානවා. දියුණු රටවල තියෙන, දියුණු ලොව මුහුණ දෙන එක් ගැටළුවක් තමයි කාන්තා බීමත්කම. ඉතින් අපි දියුණු වෙලා නැතිවුණත්, අපේ කාන්තාවන් බොන එක අඩු වුණත්, අපි ඉදිරියේදී සැළකිලිමත් නොවුණොත් ටික කාලෙකින් අපිටත් කාන්තාවන් බීමෙන් ඈත්කරගන්න ලොකු වැඩපිළිවෙලක් දියත් කරන්නට වෙනවා. ඒ නිසා කාන්තාවන් ලෙස බීම ඔසවා තැබෙන තැන්වලින් අවබෝධයෙන් යුතුව ඈත් වීම වැදගත් වෙනවා.
Leave a Reply